Colombo Today Local News

ස්ත්‍රී දූෂණ චෝදනා ලැබ සිටින ඉන්දීය පූජකවරයෙක් රනිල්ගෙන් දේශපාලන රැකවරණ ඉල්ලයි

ඉන්දීය පූජකවරයෙකු බව කියා ගන්නා ස්ත්‍රී දූෂණ චෝදනා ලැබ සිටින නිත්‍යානන්ද ශ්‍රී ලංකාවේ දේශපාලන රැකවරණ පතමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

සෞඛ්‍ය තත්ත්වයේ පිරිහීමක් සඳහන් කරමින් ඔහු අගෝස්තු 7 වන දා මෙරට ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇති අතර එහි ඔහුට හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බව සඳහන් කර තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ඔහු විසින් ම පිහිටුවන ලද සහ නම් කරන ලද දූපතක් වන ශ්‍රීකයිලාස ස්වෛරී රාජ්‍යයේ වෛද්‍ය යටිතල පහසුකම්වල හිඟකම ලිපියේ සඳහන් කර ඇති බව ය.

ස්ත්‍රී දූෂණ චූදිත නිත්‍යානන්ද අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව ත් ඔහුට ප්‍රතිකාර අවශ්‍ය බව ත් ලිපියේ සඳහන් වූ බව ශ්‍රී ලංකා රජයේ ඉහළ පෙළේ මූලාශ්‍රයක් India Today වෙත තහවුරු කර ඇත.

India Today සඳහන් කළේ, අදාළ ලිපිය තමන් ද පරිශීලනය කළ බව ය.

ශ්‍රීකයිලාස විදේශ කටයුතු අමාත්‍යවරයා යැයි කියා ගන්නා, නිත්‍යප්‍රේමත්මා ආනන්ද ස්වාමි විසින් ලියන ලද අදාළ ලිපියේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ මෙසේ ය.

“හින්දු ආගමේ උත්තරීතර පූජක (SPH) අතිඋතුම් ශ්‍රී නිත්‍යානන්ද පරමශිවම් හිමිපාණන්ට බරපතළ රෝගී තත්ත්වයක් සඳහා හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වේ. දැනට කයිලාසයේ පවතින වෛද්‍ය පහසුකම් සියල්ල යොදා ගනිමින් උත්සහ කළ ද වෛද්‍යවරුන්ට තවමත් ඔහුගේ රෝගී තත්ත්වය හඳුනා ගැනීමට නොහැකි වී තිබේ. නිත්‍යානන්ද දැනට ශ්‍රීකයිලාස ස්වෛරී දේශයේ සිටින අතර, මේ අවස්ථාවේ එහි ඉතා ඉක්මනින් අවශ්‍ය වෛද්‍ය යටිතල පහසුකම් නොමැත.”

නිත්‍යානන්ද අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බව ත් ප්‍රතිකාර අවශ්‍ය බව ත්, එබැවින් ඔහුගේ අනුගාමිකයින් දේශපාලන රැකවරණ පතනවා පමණක් නොව ශ්‍රී ලංකාවෙන් වෛද්‍ය ආධාර පතා සිටින බව ත් මෙම ලිපියේ සඳහන් කර ඇතැයි India Today වාර්තා කළේ ය.

එම ලිපියෙන් ශ්‍රීකයිලාස අමාත්‍යවරයා තවදුරටත් ඉල්ලා ඇත්තේ,

“නිත්‍යානන්දගේ සෞඛ්‍ය තත්ත්වය සිහි තබා ගනිමින්, ඔහු වෙත ආපසු හැරවිය නොහැකි දේශපාලන රැකවරණ ලබා දෙන ලෙස අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු, එවිට ඔහුව ගුවන් යානයක් මගින් එවා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආරක්ෂිතව වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත හැකියි.

ඊට අමතරව, නිත්‍යානන්දගේ ජීවිතය පීඩාකාරී බලවේගවලින් අනතුරට ලක්ව ඇති හෙයින්, ඔහුගේ ආරක්ෂාව සහතික කිරීමට හොඳ ම ක්‍රමය, ඔහු රාජ්‍ය නායකයෙකු ලෙස සලකා ගමන් කිරීම බව අපි විශ්වාස කරමු,” යනුවෙනි.

සිය රට සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කරන ලෙස අමාත්‍යවරයා ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබේ.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ, වෛද්‍ය ප්‍රතිකාර සහ උපකරණවල වියදම් ද ශ්‍රීකයිලාසා විසින් දරනු ඇති බව ය.

2018 නොවැම්බරයේදී නිත්‍යානන්ද ඉන්දියාවෙන් පළා ගියේ, ගුජරාට් පොලිසිය පැහැර ගැනීමේ චෝදනාව මත ඔහුගේ ගෝලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසුව India Today වාර්තා කර ඇත.

පරිත්‍යාග ආකර්ෂණය කර ගැනීම සඳහා දරුවන්ගේ මුහුණු භාවිත කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇති අතර ඔහුට එරෙහිව කර්නාටක ප්‍රාන්තයේ ස්ත්‍රී දූෂණ චෝදනා ද එල්ල වී තිබේ.

නිත්‍යානන්දට එරෙහිව ස්ත්‍රී දූෂණ චෝදනා ගොනු කරනු ලැබුවේ, 2010 වසරේදී ඔහුගේ හිටපු රියැදුරු ලෙනින් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව වන අතර ඔහු අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැරුණු බව India Today වාර්තා කර ඇත.

නිත්‍යානන්ද තමිල් නාඩු ප්‍රාන්තයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුගේ සැබෑ නම රාජසේකරන් බව පැවසේ.

Related posts

“යුද සමයේ ද්‍රවිඩයන්ට හිංසා සිදුවෙලා.. ශ්‍රී ලංකාවට දඬුවම් කරමු” – බ්‍රිතාන්‍ය විපක්ෂ නායකයා කියයි

colombotoday

ගිනිඅවි 06ක් සමග සැකකරුවන් 04ක් අත්අඩංගුවේ

colombotoday

ආණ්ඩුව කරලා තියෙන්නේ සීනි බෝල වෙනස්කම් – මංගල සමරවීර කියයි

colombotoday

කෑමට නුසුදුසු මිරිස් කන්ටේනර් 40ක් හරවා යවයි…

Admin

රිල්වාන්ට පුපුරණ ද්‍රව්‍ය සැපයු රාසික් රාසා TID යට

colombotoday

සීනි බද්ද අඩු කිරීමෙන් රජයට පාඩුවක් වී නැහැ – මුදල් අමාතයංශ ලේකම්

colombotoday