Colombo Today Local News

චීන නැව හම්බන්තොටට වේගවත් ගමනක.. – ශ්‍රී ලංකා මුහුදේ විද්‍යාත්මක පර්යේෂණ තහනම්

චීන විද්‍යාත්මක පර්යේෂණ යුවාන් වැන්ග් 5 නෞකාවට අගෝ. 16 වන දා හම්බන්තොට වරායට ඇතුළු වීමට රාජ්‍යතාන්ත්‍රික අවසරය හිමි වී තිබේ.

ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපය තුළදී ස්වයංක්‍රිය හඳුනා ගැනීමේ පද්ධතිය (AIS) ක්‍රියාත්මක කර තබා ගැනීම සහ ශ්‍රී ලංකා මුහුදේ කිසිදු විද්‍යාත්මක පර්යේෂණ සිදු නොකළ යුතු බවට ආරක්‍ෂක අමාත්‍යංශය විසින් අවධාරණය කරන ලද කොන්දේසි මත මෙම අවසරය ලබා දී ඇත.

ජූනි මස 22 වන දින චීන විද්‍යාත්මක පර්යේෂණ නෞකාවක් වූ යුවාන් වැන්ග් 5 නෞකාවට නැවත පිරවීමේ කටයුතු සඳහා 2022 අගෝස්තු 11 සිට 17 දිනවලදී හම්බන්තොට වරායට පැමිණීමට නියමිත බව මහජන චීන සමූහාණ්ඩුවේ කොළඹ තානාපති කාර්යාලය රාජ්‍යතාන්ත්‍රික සටහනක් මගින් විදේශ කටයුතු අමාත්‍යංශයට දන්වා සිටියේ ය. එමෙන් ම වරායට පැමිණීම අතරතුර කාර්ය මණ්ඩලයේ වටමාරු කිරීමක් සිදු නොවන බවත් ඒ සඳහා අවශ්‍ය සහය ලබාදෙන ලෙසත් මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ ඉල්ලීම පිළිබඳව ධනාත්මක අන්දමින් සලකා බලන ලෙසත් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේ ය.

ඒ අනුව, රාජ්‍යතාන්ත්‍රික නිෂ්කාශනය සඳහා කරන එවැනි ඉල්ලීම් අදාළ පිළිගත් පටිපාටියට අනුව විදේශ කටයුතු අමාත්‍යංශය මගින් අදාළ පාර්ශ්වකරුවන් වූ ආරක්‍ෂක අමාත්‍යංශය, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව අතර බෙදා හැර ඇත.

නියමිත කාල සීමාව තුළ නැවත පිරවීමේ කටයුතු සඳහා ආරක්‍ෂක අමාත්‍යංශයෙන් ආරක්‍ෂක නිෂ්කාශනය ඉකුත් ජූලි මස 7 වන දා ලැබී තිබේ. එමෙන් ම අනාරක්‍ෂිත පදනමට යටත්ව සංඛ්‍යාත සහ සන්නිවේදන උපකරණ භාවිතය සඳහා ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව වෙතින් විරෝධතා නොමැති බවට දැනුම් දීමෙන් අනතුරුව එම නෞකාවට නැවත පිරවීමේ කටයුතු සඳහා හම්බන්තොට වරායට පැමිණීමට විදේශ කටයුතු අමාත්‍යංශය විසින් ජූලි මස 12 වන දා මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලය වෙත රාජ්‍යතාන්ත්‍රික අවසරය ලබා දෙනු ලැබ ඇත.

ඉන් අනතුරුව අමාත්‍යංශය සමග මතුවූ ඇතැම් ගැටලු සැලකිල්ලට ගනිමින් යුවාන් වැන්ග් 5 නෞකාවට හම්බන්තොට වරායට පැමිණිම කල් තබන ලෙස ඉකුත් අගෝස්තු 5 වන දා ශ්‍රී ලංකා රජය රාජ්‍යතාන්ත්‍රික සටහනක් මගින් මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයෙන් ඉල්ලා සිටි බව විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ. ඒ අනුව, සියලු පාර්ශවයන්ගේ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් රාජ්‍යයන්ගේ ස්වෛරී සමානාත්මක භාවයේ මූලධර්මයට අනුකූලව මිත්‍රත්වයෙන්, අනේ‍යාන්‍ය විශ්වාසයකින් සහ නිර්මාණාත්මක සංවාදයක් තුළින් මේ ගැටලුව විසඳා ගැනීමට ශ්‍රී ලංකා රජය රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ සියලු පාර්ශව සමග ඉහළ මට්ටමින් පුළුල් උපදේශනවල නිරතවූ බවද අමාත්‍යංශය සඳහන් කර ඇත.

ඒ අනුව, මෙම නෞකාව 2022 අගෝස්තු 16 වන දින හම්බන්තොට වරායට පැමිණීමට නියමිත බවත් 2022 අගෝස්තු 16 – 22 දිනවලදී නැවත පිරවීමේ අරමුණු සඳහා නිෂ්කාශනය සඳහා ඉල්ලුම් කරන බව අගෝස්තු මස 12 වන දා මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලය රාජ්‍යතාන්ත්‍රික සටහනකින් විදේශ කටයුතු අමාත්‍යංශයට දන්වා සිටි බවත් සියලු කාරණා සලකා බැලීමෙන් පසු කල් දමන ලද නෞකාවේ පැමිණීම අගෝස්තු 13 වන දින මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලය වෙත නිෂ්කාශනය දන්වා යැවූ බවත් විදේශ කටයුතු අමාත්‍යංශය අවධාරණය කළේය.

සියලු ම රටවල් සමග සහයෝගිතාව සහ මිත්‍රත්වය පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය පිළිබඳව යළි අවධාරණය කිරීමට අපේක්‍ෂා කරන බව කියන විදේශ කටයුතු අමාත්‍යංශය අසල්වැසි ප්‍රදේශයේ ආරක්‍ෂාව සහ සහයෝගිතාව අතිශයින් ප්‍රමුඛ කරුණක් බව ද කියයි.

සිය ජාත්‍යන්තර බැඳීම්වලට අනුකූලව සියලු රටවල නීත්‍යනුකූල අවශ්‍යතා ආරක්‍ෂා කිරීම ශ්‍රී ලංකාවේ අභිප්‍රාය බවත් විශේෂයෙන් ම ශ්‍රී ලාංකේය ජනතාවගේ සුබසාධනය සහතික කිරීම සඳහා රට දැඩි ආර්ථික අභියෝගවලට මුහුණ දෙමින් දේශීය ක්‍රියාවලීන් ගණනාවක නිරත වෙමින් සිටින වත්මන් මොහොතේදී සියලු රටවල සහයෝගය සහයෝගිතාව සහ අවබෝධය අමාත්‍යංශය මහත් සේ අගය කරන බව ද දන්වා සිටී.

Related posts

චීන පොහොර සමාගමට වන්දි ගෙවීමට රජය තීරණය කරයි

colombotoday

හෝටලයක වැසිකිලිවලේ කාන්තාවකගේ මළසිරුරක්

colombotoday

බස්නාහිරින් පිටවීමේ තහනම ඉවතට | සීමාවන්ට යටත්ව බස් සහ දුම්රිය ධාවනය යළිත්..

colombotoday

මංගල සුරා ගැසට් පත්‍රය අකුලාගනී !

colombotoday

Starship මංගල ගමනේදීම පුපුරා යයි

Admin

මීලග “නබි නායක උපන්දිනය” ජාතික උත්සවයක් ලෙස විල්පත්තු, මුසලි ප්‍රදේශයේදී සමරනවා – අගමැති රනිල්

colombotoday