Colombo Today Local News

රට පාලනය කරගන්න බැරිව ඇන ගත්තට මම පළිද? – හිටපු ජනපති මහින්ද අසයි

“එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහත්තයා එක්සත් ජාතික පක්ෂයෙන් එළියට ආවෙ ආයෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යූ.එන්.පී. එකට මුක්කුවක් ගහන්න නෙවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නෙ ඩාලි පාරෙ පක්ෂ කාර්යාලයේ තියෙන බෝඩ් ලෑල්ලට නෙවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තියෙන්නෙ පක්ෂ ප්‍රතිපත්ති තියෙන ශ්‍රී ලංකාකාරයන් ළඟ යැයි” හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය 05දා අගලවත්තේදී කීවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතාගේ දේශපාලන දිවියට වසර 35ක් පිරීම නිමිත්තෙන් එය සැමරීම සඳහා අගලවත්ත නගර මධ්‍යයේ පසුගිය 05දා හවස පැවැති උත්සවය අමතා හිටපු ජනාධිපතිවරයා මෙසේද කීවේය.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෝඩ් ලෑල්ල ගහගත්තට සැබෑ ශ්‍රීලංකාකාරයන් බලහත්කාරයෙන් තියාගන්න බැහැ. අපි මේ පක්ෂය රැකගැනීම සඳහා දිවි හිමියෙන් කටයුතු කළා. අපිට නොයෙකුත් තර්ජන ගර්ජන බලපෑම් ආවා. නමුත් කුමාර වෙල්ගමල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දාල ගියේ නැහැ.

අද මේ ආණ්ඩුව හිතන්නෙ එෆ්.සී.අයි.ඩී. එකයි පොලිසියයි, උසාවියයි, රහස් පොලිසියයි තිබුණාම රටක් පාලනය කරන්න පුළුවන් කියල. ආණ්ඩුව ඇතුළෙ මැති ඇමැතිවරුන්වත් බය කරල, තර්ජනය කරලයි තියාගෙන ඉන්නෙ. රාජ්‍ය දේපළ අවභාවිතය, අපහරණය මේ සමහර වචනවත් නීති පොත්වල නැහැ. ලලිත් වීරතුංග මහතාගේ නඩුව වෙනස් කරල වෙනත් චෝදනා එකතු කරනවා. නඩු දානවා කියල මාස ගණන් තියාගන්නවා. හිර ගෙවල්වල තියාගන්නවා. මෙයාලට තියෙන්නෙ පළිගැනීම, වෛරය, කේ‍රා්ධය නෙමෙයිද. අද මේ අයට රට පාලනය කරගත නොහැකිව අනාගත්තම මම පළිද? ජනතාව පළිද? ජනතාවගෙන් පළිගන්න හදනවා. අද ලුණු පොල්කටුවෙ ඉඳල හැමදේම අහස උසට මිල ඉහළ ගිහිල්ල, ජනතාව දැඩි ලෙස පීඩනයට, පීඩාවට පත්වෙලා තියෙනවා.

අද පොල් ගෙඩිය රුපියල් 80යි. දැන් අපිටත් සිදුවෙන්නෙ බෑය 40යි කියල කෑගහන්න. මිරිස් ටික, හාල් ටික මේ හැම දේම අහස උසට ඉහළ ගිහිල්ලා. මේ ළඟදි වැලිමඩ ගිය වෙලාවෙදි ගොවියකු මට කිව්වෙ ගෝවා ගෝනියක් විකුණලත් හාල් කිලෝවක් ගන්න බැහැ කියලයි. ඒ ගොවිය කිව්වෙ ගෝවා කිලෝව රුපියල් පහකටවත් දෙන්න බැහැ කියලයි.

තුන් වේල බත් කාපු මේ රටේ ජනතාව අද එදා වේල හොයාගන්න බැරි තත්ත්වයකට වැටිල තියෙනවා. මහජන ආධාරයෙනුත් රුපියල් 200ක් කපා ගන්නවා. හිඟන්නගෙ පාත්තරෙත් උදුරගන්නව වගේ වැඩ අද මේ ආණ්ඩුව කරනවා. පන්සලේ පොඩි හාමුදුරුවන්ට අපි දීපු ආධාර මුදල අයින් කරලා. රටේ ජනතාවට අපි දීපු සහන කපලා. බදු ගහල ජනතාව පීඩාවට, පීඩනයට පත්කර තිබෙනවා.

ඉස්සර කාලෙ කිව්වෙ රිමාන්ඩ් එකට ගියාම තමයි ආරක්ෂාව තියෙන්නෙ කියල මිනිස්සු අතර ජනප්‍රවාදයක් තිබුණා. එහෙත් අද රිමාන්ඩ් එකට, උසාවියට ගිහිල්ලත් වෙඩි තියල මරනවා. මේ ආණ්ඩුවේ උදවියට මේවා ගැන හොයන්න, රටේ ජනතාව විඳින ප්‍රශ්න, ගැටලු විසඳන්න කිසිම වුවමනාවක් නැහැ. ඒ අයට තියෙන්නෙ වෙන වෙන වුවමනාවන්.
බුලත් කොළයෙන් ඡන්දය අරගෙන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකට යන්න මේ අයට කිසිම ජනවරමක් දීල නැහැ. මේක ඊනියා ජාතික ආණ්ඩුවක්. ජාතික ආණ්ඩුවක් නම් සියලු පක්ෂ නියෝජිතයෝ ඉන්න ඕනා. නමුත් එහෙම එකක් මේ ආණ්ඩුවේ නැහැ. දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිතුමාල දන්නව මේ ආණ්ඩුව කෙටුම්පත් කරල තියෙන ව්‍යවස්ථාවේ බුද්ධාගමට ලබාදීල තියෙන තැන. මේ අයට ව්‍යවස්ථාවක් හදන්න බලයක් දීල නැහැ. බුද්ධාගමට තියෙන තැන නැති කරන ව්‍යවස්ථාවකට අපට අත උස්සන්න බැහැ. කුමාර වෙල්ගම කියන්නෙ නියම මහත්මයෙක්. බය නැතිව කෙළින් වැඩකරන, කරන දේ කියන කෙනෙක්. කුමාර වෙල්ගම වගේ අය ඉන්නවා නම් බය නැතිව ඉදිරියට යන්න පුළුවන්. වෙල්ගම ගෙනාපු ලංගම බස් ටිකටයි, කෝච්චි ටිකටයි පින් සිද්ධවෙන්න අදටත් ප්‍රවාහනේ දුවන්නෙ. හැබැයි ඕකටත් එතුමාට එෆ්.සී.අයි.ඩී. යන්න වෙලා තියෙනවා. අපි හදපු කෝච්චි පාර තවම මෙයාලත් කරනවා. අපේ බස් ටික දුවන්නෙ. පාරවලුත් එහෙමයි. අපි කරපු දේම මෙයාලගෙ වගේ කරනවා. විවෘත කරන්නෙත් අපි හදපු ඒවමයි.

රැකියා දස ලක්ෂ ගණනක් දෙනවා කිව්වා. තරුණ තරුණියෝ රැකියා නැතිව අනාථ වෙලා ඉන්නවා. උපාධිධාරීන්ට අද රැකියා නැහැ. කවුරු මොනව කිව්වත් අපේ පාලන කාලයේ මිනිස්සුන්ගේ සාක්කුවල සල්ලි තිබුණා. පොඩි මිනිහටත්, ලොකු මිනිහටත් අතමිට සල්ලි තිබුණා. අද හැම දෙනාම අසරණයි. හැම කෙනාම අසහනයෙන්, පීඩනයෙන් යුතුව ජීවත් වෙන තත්ත්වයක් උදා වෙලා තියෙනවා.

Related posts

හරීන් ඇමති ධුරයෙන් ඉවත් වෙයි

Admin

ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහබැංකු අධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි !

colombotoday

“LTTE තමන්ගේම මිනිස්සුන්ට වෙඩි තිබ්බා, ඒක මගේ ඇස් දෙකෙන් දැක්කා” – හිටපු කොටි සාමාජිකයාගේ හෙළිදරව්ව

colombotoday

ධීවරයින් පිරිසක් විසුරුවා හරින්න අහසට වෙඩි

Admin

තෙල් සංස්ථාවේ නීති කැඩූ ඉන්ධන පිරවුම්හල් 4 ක සැපයුම අත්හිටුවයි

colombotoday

Link Engineering සහ Blue ocean සමූහයේ සභාපති සිවරාජා තුමිලන්ගෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට කෝටි ගණනක පොල්ලක්..

colombotoday