Colombo Today Local News

“කොටි සටනින් ඔබ්බට” දොරට වැඩුම මාර්තු 08

මාධ්‍යවේදිනී ප්‍රියංකා කුරුගල සිය අත්දැකුම් ඔස්සේ සොයා ගිය ගවේෂණය  ̔කොටි සටනෙන් ඔබ්බට ̓̓ ලෙස මෙසේ ඉදිරිපත් කර ඇත. දශක තුනක් පුරා පැවැති ත්‍රස්තවාදී හිංසනයෙන් අනතුරුව හිස ඔසවන්නට වැර දරණ මෙරට බහුතර පොදු මහජනතාව මුහුණ දෙන සමාජීය අර්බුද පිළිබඳ සියුම් දැක්මක් ඔස්සේ සිතන්නට හරවත් යමක් ඉදිරිපත් කරන්නට මෙහි කතුවරිය තියුණු උත්සාහ දරා ඇත. මෙහිලා ඇය පවසන්නට උත්සාහ දරා ඇත්තේ බහුතරය ඍජුව පවසන්නට බෙහෙවින් මැළිකම් දක්වන ජාතිකත්ත්වය ඇතිකර ගැනීමෙහිලා  මෙරට සිංහල බුදුනුවන් මුහුණ දෙන අප්‍රසන්න වාතාවරණය පිළිබඳ කතාවෙන් බිඳකි. එලෙස ම දුගී දුප්පත් භාවය කරණ කොට සිය සංස්කෘතික අනන්‍යතාවයෙන් පන්නා දැමීමට නියමු වූ හින්දූන්ගේ අසරණකම පිළිබඳ කතාවෙන් අංශුවකි.  වාර්ගික චින්තනයට නොපිවිස අන්‍යන්ගේ නිදහසට අංශු මාත්‍ර බාධාවක් නොකොට ජීවිතය ජිවත් කරවන මුස්ලිම් කතෝලික ඈ අනෙකුත් වාර්ගිකයන්ගේ ජීවිත හමුවේ එල්ලවන අසාධාරණ බලපෑම් පිළිබඳ විවේචනයකි.

මේ පණිවිඩය ඉදිරිපත් කිරීම සඳහා ප්‍රියංකා කුරුගල සිය දෙස් – විදෙස් අත්දැකුම් හා පොත පතින් කරන ලද හැදෑරීම් මහෝපකාරී කරගෙන තිබේ. වෙසෙසින් ඒකීය රටක විසීම බෙහෙවින් ගරු කරන එමෙන් ම අපේක්ෂා කරන දෙමළ හින්දූන් කේන්ද්‍ර කර ගනිමින් යුරෝපයේ දී කරුණු සොයා බැලීමට ඇය ලද අවස්ථාව මෙවන් ගවේෂණයක් කරා මෙහෙයවා තිබේ.

යුරෝපය මෙයට දශක තුනකට එපිට පැවතියාට වඩා වෙනස් ස්වරූපයක් ගැන්වීමට ශ්‍රී ලාංකික හින්දූන් ගේ සංක්‍රමණ ද බෙහෙවින් හේතුවී ඇත. මෙසේ සංක්‍රමණය වූ මිනිසුන් අතරින් තම මව් රටේ ඒකීය භාවය වෙනුවෙන් දිවි පරදුවට තබා කටයුතු කරන තර්මලිංගම් ලෝගේෂ්වරන් වැන්නවුන් ගේ උඩුගංබලා පිහිනීම වැනි ක්‍රියා ඔවුන් සිංහලයන් පිළිබඳ දක්වන අව්‍යාජ මිත්‍රත්ත්වය හා නිර්භේදී බව මොනවට පෙන්වයි. මෙවන් මිනිසුන් සතු උදාරත්ත්වය මැනවින් හුවා දැක්වීම මෙහිලා වැඳගත් ය.

ගත වූ යුගයේ සිදු කරන්නට ගිය කුමණ අන්දමේ හෝ බෙදීම්වලට එරෙහිව හඬ අවදි කළ විද්වතුන්, සංවිධාන නායකයන් හා ඇතැම් දෙශපාලන නායකයන් සමඟ සාකච්ඡා කරමින් කතුවරිය සිය නිබන්ධයට පර්යේෂණාත්මක බවක් එක්කොට ඇත. අවස්ථාවෝචිතව සුදුසු බස්වහර යොදා ගනිමින් සිය අත්දැකීම් හා සංවාද මැනවින් ඉදිරිපත් කිරීමට ඇය සමත්ව ඇති බව කිව යුතු ය.  

කොළඹ-07, ජාතික පුස්තකාල සේවා හා ප්‍රෙල්ඛණ මණ්ඩලයේ දී මාර්තු මස 08 දින සවස 3.00 මේ පොත එළිදැක්වේ.

මෙහි මූලාසනය ගරුතර පූජ්‍ය ඇල්ලේ ගුණවංස ස්වාමීන් වහන්සේගේ විසින් හොඹවන අතර ජනාධිපති නීතීඥ මනොහර ආර් ද සිල්වා මහතා විසින් මුඛය දේශනය පවත්වන අතර කැලණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ මහාචාර්ය ගරුතර පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් හා සූරිච් හි හින්දු බෞද්ධ සංගමයේ සභාපති ටී. ලෝගේශ්වරන් මහතා විසින් අනෙකුත් දේශන පවත්වනු ඇත.

 

Related posts

කිලිනොච්චියේ ගිනිදැල් ඇවිලේ – ප්‍රදේශයම නොසන්සුන් – පොලිසියටත් ප්‍රහාර

colombotoday

ලංකා රාජ්‍යය දුර්වල කිරීමේ බටහිර කුමන්ත්‍රණයේ ඒජන්තයා කවුද ? – ගම්මන්පිල හෙළිකරයි

colombotoday

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

Admin

අයථා ලෙස කෝටි ගණනින් මුදල් ඉපැයූ රාජ්‍ය නිලධාරීන් 18ක්

colombotoday

අදටත් නිදැල්ලේ වෙසෙන ඇමරිකානු යුද අපරාධකරුවො !

colombotoday

සෝදිසි මෙහෙයුම දැක ජාවාරම් කරුවන් ගංජා දමා පලා යයි

Admin