Colombo Today Local News

රනිල් මෛත‍්‍රී ආණ්ඩුව ජනතාවට කොලේ වහලා ගහනවා.. සිංගප්පූරු ගිවිසුමෙන් මුළු ආර්ථිකයම සෝදාපාළු වෙනවා…

රනිල් – මෛත‍්‍රී ආණ්ඩුව ජනතාවට කොලේ වහලා ගෙනාව සිංගප්පූරු ගිවිසුමෙන් මුළු ආර්ථිකයම සෝදාපාළුවට ලක්වන බව ජනතා විමුක්ති පරෙමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ “සිංගප්පූරු වෙළඳ ගිවිසුම සහ ආර්ථිකයේ හෙට දවස” මැයෙන් ජාතික විද්වත් සංවිධානය ඊයේ (14) කොළඹදී සංවිධානය කර තිබූ සම්මන්ත‍්‍රණයේ ප්‍රධාන දේශනය පවත්වමිණි.

එම අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය අනිල් ජයන්ත මහතා සහ වරලත් වාස්තු විද්‍යාඥ, නාලක ජයවීර මහතාද දේශන පැවැත්වූ අතර එම අවස්ථාවට ව්‍යාපාරික කළමනාකරු එස්.එම්.ඩී. සූරිය කුමාර් මහතා ඇතුළු පිරිසක්ද එක්වී සිටියහ.

එම සම්මන්ත්‍රණය ඇමතූ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා…

“සිංගප්පූරු ගිවිසුම කියන්නේ රටේ මූලික නීතියටත් ව්‍යවස්ථාවටත් පටහැණිව අත්සන් කරපු එකක්. රටක වෙළඳ ගිවිසුම් අත්සන් කිරීමේදී මුදල් රෙගුලාසිවලට යටත් විය යුතු වෙනවා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට යටත්විය යුතු වෙනවා. නමුත් සියල්ලට පටහැණිව සම්මත කරපු වෙළඳ ගිවිසුමක් තමයි සිංගප්පූරු ගිවිසුම කියන්නේ. මෙම ගිවිසුම අත්සන් කළේ මාසයක් ඇතුළත. කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා, නීතිපතිට යවලා නැවත කැබින්ට් මණ්ඩලයේ අනුමැතියකින් තොරවයි අත්සන් කළේ. ඇතැම් ඇමතිවරුන් ඉල්ලීමක් කරල තිබුණා මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා. නමුත් ඒ කිසිවක් නොකර තමයි අත්සන් කර ගත්තේ.

මේ ගිවිසුම අත්සන් කිරීමේ අරමුණ මොකක්ද, රනිල්-මෛත‍්‍රී හවුල් ආණ්ඩුවට මෙවැනි ගිවිසුමක අවශ්‍යතාවය මොකක්ද? ආණ්ඩුව නව වෙළඳ ප‍්‍රතිපත්තිය කියල එකක් හඳුන්වල දුන්නා. ඒක ගැනත් කිසිදු සාකච්ඡාවක් නැහැ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නැහැ. අපි පාර්ලිමේන්තුවට යන කොට මේසෙ උඩ නව වෙළඳ ප‍්‍රතිපත්තිය කියල එකක් හදල තිබුණා. ඒ ගැන මාධ්‍ය සාකච්ඡාවක් වුණාද. ජාතික වාණිජ මණ්ඩලයවත් ව්‍යාපාරිකයින්, කර්මාන්ත කරුවන්වත් මේ ගැන කථා කළාද, ඒ කිසිවක් නැතිව තමයි රටේ වෙළඳ ප‍්‍රතිපත්තිය හදලා තියෙන්නේ. එහි මූලික හරය වෙන්නේ අපේ රටේ වෙළඳාම නිදහස් වෙළඳ ගිවිසුම් මගින් ලිහිල්කරණය කිරීමයි. ඒ අනුව තමන් සිංගප්පූරු වෙළඳ ගිවිසුම අත්සන් කරන්නේ. මේ ගිවිසුම මගින් මුළු ශ්‍රී ලංකාවම වෙළඳපොළක් බවට පත්කරනවා. කලාපයේ සියලුම දෙනාට ඇවිත් ලගින්න පුළුවන් වෙළඳපොළක් බවට පත්වෙනවා.

මෙම ගිවිසුමට සිංගප්පූරු නමක් ගාවගෙන තිබුණට මේක හරියට ලෝක වෙළඳ සංවිධානයත් සමග අත්සන් කරපු ගිවිසුමක්. මොකද ලෝක වෙළඳ සංවිධානයේ වුවමනාවන්ට හා එහි කොන්දේසිවලට අනුව තමයි මේ ගිවිසුම අත්සන් කරල තියෙන්නේ. මේකට ඉන්දියාව වගේ රටක් ගාවගත්තා නම් වෙනත් දේශපාලන බලපෑම් තිබිය හැකියි කියලා විශාල ජනතා විරෝධයක් එන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා තමයි සිංගප්පූරුව වැනි නිදහස් ආර්ථිකයත් තිබෙන වෙළඳපොළක් වැනි රටක් මේ ගිවිසුමට ඈඳාගෙන තිබෙන්නේ. ඒ වගේම මංගල සමරවීර පහුගිය අය-වැය ඉදිරිපත් කරන වෙලාවෙ කිව්වා ඔවුන්ගේ ආර්ථික ප‍්‍රතිපත්තිය වූ විවෘත ආර්ථික ප‍්‍රතිපත්තිය හරියට කි‍්‍රයාත්මක කරගන්න බැරි වුණා කියලා. එම විවෘත ආර්ථිකය උපරිම ආකාරයෙන් ක්‍රියාත්මක කර ගන්න තමයි මෙම ගිවිසුම ගෙනාවේ. එය ලෝක වෙළඳ සංවිධානයේ බලපෑම මත කරපු එකක්. ලෝක වෙළඳ සංවිධානයට බොහෝ රටවල්වල විශාල ජනතා විරෝධයක් එල්ල වෙලා තිබෙනවා. අඩුම තරමේ ඔවුන්ට රැස්වෙන්න ස්ථානයක් නැහැ. ඒ නිසා තමයි විවිධ රටවල් පාවිච්චි කරලා ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුම අත්සන් කරන්නේ.

මෙම ගිවිසුමේ පූර්විකාවේ සඳහන් වෙනවා මෙම ගිවිසුම අදාළ වන පාර්ශ්වයන් සම්බන්ධයෙන්. එනම් ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුවට අමතරව තවත් පාර්ශ්වයන් සඳහා මෙම ගිවිසුම අදාළ වන බව එයින් පැහැදිලි වෙනවා.

මංගල සමරවීර ඇමතිවරයා කියපු ආකාරයට අපේ රටේ විවෘත ආර්ථික ප‍්‍රතිපත්ති ඔවුන්ට ඕන ආකාරයට ක්‍රියාත්මක කර ගන්න බැරිවුණේ ඇයි. එදා ඉඳලම අපේ රටේ ජනතාව වෘත්තීය සමිති, ජවිපෙ වැනි දේශපාලන පක්ෂ එවැනි හානිකර ප‍්‍රතිපත්තිවලට, ගිවිසුම්වලට එරෙහිව කටයුතු කළා. ඒ නිසා ඔවුන්ට ඒවාක්‍රියාත්මක කරගන්න බැරි වුණා. ඒ නිසා තමයි මෙම සිංගප්පූරු වෙළඳ ගිවිසුම අත්සන් කරන්න කලින් පාර්ලිමේන්තුවට ගෙනාවේ නැත්තේ. මේක සම්පූර්ණයෙන්ම වහල ගහපු ගිවිසුමක්. පාර්ලිමේන්තුවේ විවාදයක් කළා, ගිවිසුම නැතිව. හරියට මනමාලි නැති මඟුල් ගෙයක් වගේ.

සාමාන්‍යයෙන් නිවසක බල්ලෙක් ඇති කළොත් උගෙ අසූචි දාන්නේ නිවසෙන් පිටතට. සමහරවිට තමන්ගේ ගෙවත්තේ සීමාවෙනුත් එළියට තමයි ඒවා බැහැර කරන්නේ. නමුත් මෙම සිංගප්පූරු ගිවිසුම මගින් ලෝකය පුරා තිබෙන අසූචි අපේ රට ඇතුළට ගෙනත් දාගන්න කැමැත්ත පළ කර තියෙනවා. අපේ රටේ වාණිජ මණ්ඩලයට, ව්‍යාපාරිකයින්ට, කර්මාන්තකරුවන්ට මේකෙන් බලපෑමක් නැද්ද? අපි හිතන්නේ ඔවුන්ගේ කටවල් වහලයි තිබෙන්නේ. මෙම ගිවිසුමෙන් දේශපාලන පක්ෂයක් ලෙස අපිට ලොකු බලපෑමක් ඇති වෙන්නේ නැහැ. මොකද මේ ගිවිසුම අනුව පිටරටකින් දේශපාලන පක්ෂයක් ඇවිත් අපේ රටේ ඡන්දය ඉල්ලන්නේ නැහැ. නමුත් මෙයින් රටේ ආර්ථිකයටත් ජනතාවටත් විශාල බලපෑමක් එල්ල වෙනවා. ඒනිසයි අපි ඊට එරෙහිව පෙනී ඉන්නේ. අපේ රටේ සපත්තු කර්මාන්තය, සෙරමික් කර්මාන්තය, තීන්ත කර්මාන්තය වැනි කර්මාන්තවලට සියයට සියයක් අපේ අවශ්‍යතා සපුරන්න පුළුවන්. එමගින් විශාල රැකියා ප‍්‍රමාණයක් බිහිවෙනවා. නමුත් මෙම ගිවිසුම මගින් මෙම සියලුම කර්මාන්ත අහෝසි කර දමනවා. මොකද මේ ගිවිසුම මගින් භාණ්ඩ වර්ග 7000කට පමණ බදු බිංදුව වෙනවා. එවිට එම සියලුම භාණ්ඩ ආනයනය කිරීමේ හැකියාව ලැබෙනවා. එමගින් අපේ කර්මාන්ත සොදා පාළුවට ලක්වෙනවා. ඒ විතරක් නොවෙයි අපේ රටට ආනයන භාණ්ඩවලින් ලැබෙන සියලුම රේගු ගාස්තු, බදු ආදායම් අහිමි වෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ සමාජයක් ලෙස මෙයට විරුද්ධ විය යුතුයි කියලා.

පහුගිය කාලේ උපාධිධාරීන් 57,000ක් රැකියා ඉල්ලුම්පත් දාල තිබුණා. ඒකෙන් රැකියා ලැබුණේ 4100කට පමණයි. වාර්ෂිකය උසස් පෙළ සමත් විශාල පිරිසක් රැකියා අහිමි ගොඩට වැටෙනවා. අපේ රටේ 49,3,000ක් පමණ වසරකට රැකියා අහිමි වූවන්ගේ ගොඩට එකතු වෙනවා. එසේ තිබියදී සේවා ක්ෂේත‍්‍රව විවෘත කළාම මොකද වෙන්නේ. චීන රෙස්ටෝරන්ට් වලට සියලුම සේවකයින් චීනෙන්ම එනවා. සංචාරකයින් සමග විදේශීය මඟ පෙන්වන්නන්ටද අපේ රටට එන්න අවස්ථාව ලැබෙනවා. ඒවගේම නීති උපදේශක සමාගම්වලට අපේ රටේ දොර විවෘත වෙනවා. මේ ආකාරයෙන් සියලුම සේවාවන්වලට විදේශීය කම්කරුවන්ට, වෘත්තිකයන්ට එන්න අවස්ථාව ලැබෙනවා. එනිසා මෙම සිංගප්පූරු ගිවිසුම මුළු රටටම මුළු ආර්ථිකයටම රටේ අනාගතයටම බලපාන ගිවිසුමක්. අපි මේව කියන කොට ආණ්ඩුව කියන්නේ බිල්ලෝ මවනවා කියලයි. මේ ගිවිසුම අත්සන් කළාට රටේ අනිකුත් නීති රිතිවලින් මේ ගිවිසුම ආවරණය වෙනවා කියලා රනිල්-මෛත්‍රී-මලික් ආණ්ඩුව කියනවා. සිංගප්පූරු ගිවිසුම වැනි ගිවිසුමක් අත්සන් කරපු ආණ්ඩුවට අනික් නීති රීති වෙනස් කරන එක කජ්ජක්ද කියල අපි අහනවා.

එදා ජේ.ආර්. ජයවර්ධන ලංකාව සිංගප්පූරුවක් කරනවා කියල විවෘත ආර්ථිකය ගෙනාවා. අද වර්තමාන ආණ්ඩුව ලංකාව සිංගප්පූරුවේ වෙළඳපොළක් බවට පත්කර තිබෙනවා. චන්ද්‍රිකා විවෘත ආර්ථිකයට මානෂික මුහුණුවරක් කියල ඇවිල්ලා රාජ්‍ය ආයතන ටික විකුණල දැම්මා. අද මේ ආණ්ඩුව ඉතුරු ටිකත් විකුණල දානවා. මුළු ආර්ථිකයම එකවර සෝදා පාළුවට ලක්කරන්න තමයි මේ ගිවිසුම අත්සන් කරල තිබෙන්නේ. මේ වන විටත් ලංකාවට සංචාරක වීසාවලින් පැමිණි විදේශිකයින් විවිධ තැන්වල කම්කරුවන් ලෙස වැඩකරනවා. අපි කෝප් කමිටුවේදී සාකච්ඡා කළා සංචාරක වීසාවලින් පැමිණි විදේශිකයින්ට ලංකාව තුළ වැටුප් ගෙවීම නොකළ යුතුයි කියලා. නමුත් රනිල් වික‍්‍රමසිංහලාගේ කුස්සි කැබිනට් එක සංචාරක වීසාවලින් එන විදේශිකයන්ට ඩොලර්වලින්ම වැටුප් ගෙවන්න තීරණයක් අරගෙන තිබෙනවා. මෙම කරුණු සම්බන්ධයෙන් ජාතික වාණිජ මණ්ඩලය, ව්‍යාපාරිකයන් වගේම මාධ්‍යයත් නිහඬයි. මෙවැනි වැදගත් සාකච්ඡාවක් තිබියදී මාධ්‍ය එක එක්කෙනාගේ කුණු ගොඩවල් අවුස්සන එකයි කරන්නේ. ඒක ඉතාම කනගාටුදායක තත්වයක්. ශ්‍රී ලංකාවේ වැදගත් පිහිටිම නිසයි ලෝක වෙළඳ සංවිධානයටත් අපේ රට ගැන විශේෂ අවධානයක් තිබෙන්නේ. අපේ රටේ සම්පත් සදාහරිත වනාන්තර, ජාන මේ වටිනා  සියල්ලම ආර්ථික ගිවිසුම් හරහා කළමනාකරණය කරන්නයි ඔවුන් උත්සාහ දරමින් තිබෙන්නේ. එනිසා මෙම ක්‍රියාමාර්ගවලට එරෙහිව ශ්‍රී ලාංකිකයින් ලෙස අපි නැගී සිටිය යුතුයි. නව අධිරාජ්‍ය විරෝධී අරගලයක් ලෙස මේ සටන දියත් කළ යුතුව තිබෙනවා. නමුත් අපේ රටේ උගතුන්ගේ බුද්ධිමතුන්ගේ මැදිහත්වීම පිළිබඳව සැහීමකට පත්වෙන්න බැහැ. ඒ සියලු දෙනාටම අපි මේ සටන වෙනුවෙන් ආරාධනා කරනවා.”

Related posts

රියදුරු බලපත්‍ර කාර්යාලයෙන් එක්දින සේවයෙන් රියදුරු බලපත්‍ර 50ක් පමණයි.

Admin

ශ්‍රීලනිපය දෙකඩයි.. වගකීම මෛත්‍රී භාරගත යුතුයි – හිටපු ජනපතිගෙන් නිවේදනයක්

colombotoday

මුහුදු මහා විහාරයේ සාමනේර හිමිට මුස්ලිම් ජාතිකයකු පහරදීලා

colombotoday

පෞද්ගලික රෝහල් කොරෝනා රෝගීන්ව හුරගෙන කයි – මුජිබර්ගෙන් ජනපතිට පැමිණිල්ලක්

colombotoday

ජනපතිගේ තීරණයෙන් 60කට පැන්ෂන් අහිමිවෙයි… කෝටි ගණනක් රටට ඉතිරියි !

colombotoday

ගෝඨාගේ පුරවැසිභාවය ස්ථිරයි. ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට බාදාවක් නෑ. – අධිකරණය තීන්දු කරයි

colombotoday