Colombo Today Local News

“ක්‍රීඩකයන්ට නෙවෙයි ක්‍රිකට් වනසන පරිපාලනයට හූ කියන්න.. ව්‍යසනය නිමා කරන්න කාලය හරි” – අර්ජුනගෙන් ලිපියක් (Video)

නීතිය සහ යුක්තිය ඉටු කිරීම සඳහා මහජනතාව ලබා දුන් ජනවරම දූෂ්‍ය නොකර ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් ව්‍යවසනය නිමා කිරීමට කාලය එළැඹ ඇතැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට ලිපියකින් දන්වා සිටී.

නීති විරෝධී, දූෂිත හා අදූරදර්ශී වත්මන් ක්‍රිකට් පරිපාලනය වෙනස් කර ඒ සඳහා කොමිසමක් හෝ කමිටුවක් පත් කළ යුතු බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සිය ලිපියෙන් යෝජනා කර සිටී.

“ක්‍රීඩා අමාත්‍යාංශය පැවැත්වූ ක්‍රිකට් නිළවරණයේදී ‍සභාපති ධුරයට තරග කිරීම සඳහා බහුතරයක් ඉල්ලීම් කරන අවස්ථාවේදී නීතියට ගරු කරමින් උප සභාපති ධුරයට පමණක් ඉදිරිපත් වීමට මා නාම යෝජනා ඉදිරිපත් කළේ ක්‍රිකට් ක්‍රීඩාව පත්වෙමින් තිබෙන විනාශයෙන් මුදවා ගැනීමටය. එහෙත් එදා ක්‍රීඩා අමාත්‍යාංශයේ බලධාරින් ක්‍රිකට් නිලවරණය පවත්වනු ලැබූයේ 1973 අංක 25 දරණ ක්‍රීඩා පණතේ ක්‍රීඩා සංගම් නියෝග, නියාමයන් පමණක් නොව ක්‍රිකට් ව්‍යවස්ථාවද අමු අමුවේ උල්ලංඝණය කරමිනි. ක්‍රීඩා නීතිය අනුව ක්‍රීඩා ආම්පන්න වෙළදාමට, මාධ්‍ය ආයතනයවලට සහ සූදු ක්‍රීඩාවලට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ අයවලුන්හට ජාතික සංගම්වල නිළතල දැරීමට නීතියෙන් බාධාවක්ව පවතී. අප කවුරුත් දන්නා පරිදි සුමතිපාල මහතාගේ පවුලේ අයවලුන් රේස් බුකි පවත්වාගෙන යාම ප්‍රසිද්ධ රහසකි. එබැවින් හිටපු ක්‍රීඩා ඇමතිවරුන් තිදෙනෙකුම සුමතිපාල මහතා ක්‍රිකට් සභාපති ධුරය දරන අවස්ථාවලදී ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැර අතුරු කමිටු පත් කර ඇත. එසේ තිබියදීත් පසුගිය ක්‍රිකට් නිලවරණයේදී ක්‍රීඩා නීතිය ප්‍රකාරව ඔහුව ප්‍රතික්ෂේප කිරීමට වර්තමාන ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු නිලධාරින් කටයුතු නොකිරීම බලවත් වරදකි. ඒ ගැන සියලු බලධාරින් දැනුවත් කර ඵලක් නොවූ හෙයින් අවසානයේ මානව හිමිකම් කොමිසමේ නීති සහාය පැතීමටද මාහට සිදු විය. මේ තත්ත්වය හමුවේ ක්‍රීඩාවේ නීතියේ ස්වාධිපත්‍ය ඇති කිරීම සඳහාත් ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය උදෙසාත් කඩිනම් ක්‍රියාමාර්ගයකට එළැඹීමට අප සැමගේ යුතුකම හා වගකීම බව ඔබතුමන්ට සහ ගරු අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ රජයට නැවත නැවතත් කාරුණිකව මතක් කර සිටිමි…..” යනුවෙන්ද එම ලිපියේ දැක්වේ. එම ලිපිය අද (28) මාධ්‍ය වෙත ලබා දෙමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේ ඊයේ පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී වූ සිදුවීම් තවදුරටත් වීමට ඉඩ නොතැබිය යුතු බවයි.

“මේ රටේ ඉන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන පිරිසක්. ඔවුන්ට තරග පරදින කොට දුක හිතෙන්න පුළුවන්. නමුත් අපේ ක්‍රීඩකයින් කරන්නේ ලොකු කැපවීමක්. ජාත්‍යන්තරය නියෝජනය කරන ඔවුන්ට බොහෝ දේ අතහරින්න සිදු වෙනවා. බොහෝ දේ කැපවීම් කරන්න වෙනවා. අපි දන්නවා ක්‍රීඩකයින් උදේ ඉඳන් හැන්දෑ වෙනකම් පුහුණුවීම් කටයුතු කරනවා. තමන්ගේ පවුල් සමඟ සිටින්නට වෙලාවක් නැහැ. දරුවෝ එක්ක ඉන්න වෙලාවක් නැහැ. නමුත් වත්මන් පරිපාලනයේ දුර්වලතා නිසා මෙවැනි කැපවීම් කරන අයගේ මානසිකත්වය අද හොඳටම බැහැලා. පහුගිය කාලේ අපේ ක්‍රීඩකයින් කිහිපදෙනෙකු එෆ්.සි.අයි.ඩී. එකට ගෙනිච්චා. මෙවැනි අනවශ්‍ය කාරණා ගොඩාක් සිද්ධ වුණා.

අද ඉන්නේ ක්‍රීඩකයින් පරිපාලනය කරන්නේ කොහොමද කියලා නොදන්න පරිපාලනයක්. ක්‍රීඩකයින්ට මනස කෙළින් තියාගෙන පිට්ටනියට යන ක්‍රමවේදයක් මේ පරිපාලකයින් හදලා නැහැ. මේ තත්ත්වය අපි තේරුම් ගත යුතුයි. ඒ නිසා මම මේ රටේ ක්‍රීඩා ලෝලීන්ගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා ඒ වගේ නරක තත්ත්වයකට යන්න එපා. ඉන්දියාවේ ප්‍රේක්ෂකයෝ ගාණට යන්න එපා. අපේ රටේ ක්‍රිකට් සංස්කෘතියක් තියෙනවා. ඉතිහාසයක් තියෙනවා. තරග පරාජය වුණත්, ජයග්‍රහණය කළත් අපි හිනාවෙලා ගෙදර ගිය කට්ටියක්. ක්‍රීඩකයින්ගේ දක්ෂතාවල අඩුවක් තියෙන්න පුළුවන්. නමුත් මේ පරිපාලනය රටේ නැති පිස්සු වැඩ කරන කොට කැපවීම් කරන්න කියලා අපි කොහොමද ක්‍රීඩකයින්ට කියන්නේ ? මේ වගේ ජරා පරිපාලනයක් තියෙන කොට ක්‍රීඩකයින්ට කැප වෙන්න කියලා අපිට කියන්න පුළුවන්ද ? ඒනිසා මම ප්‍රේක්ෂකයින්ගෙන් ආදරයෙන් ඉල්ලා සිටින්නේ ක්‍රීඩකයින්ට හූ කියන්න එපා. හොඳම දෙය පරිපාලකයින්ට හූ කියන්න. පරිපාලකයින් ශීත කාමරවල ඉඳන් තීරණ ගන්නේ. ඔවුන් ඉන්නෙත් ශීත කාමරවල. ඔවුන් තමයි ක්‍රිකට් ක්‍රීඩාවේ මේ වැටීමට ඍජුවම වගකියන්න ඕන. ක්‍රීඩකයින්ට නොව ඔවුන්ට හූ කියන්න. ඒ කාලේ හැම ක්‍රීඩකයකුටම අනගාතය ගැන ස්ථාවර බවක් තිබුණා. නමුත් අද ක්‍රීඩකයෙක් පිට්ටනියට යන්නේ ඊළඟ තරගය ලැබෙයිද කියලා දන්නේ නැතිව.

මම අනන්තවත් කිව්වා, මේ රටේ හොඳම ක්‍රීඩකයින් දෙදෙනා තිරිමාන්න සහ දිනේෂ් චන්දිමාල් කියලා. නමුත් ඒක ඇහුවේ නැහැ. ක්‍රිකට් ක්‍රීඩාවේ දක්ෂතාව යටගහලා තියන්න බැහැ. වතුර යට තියෙන ටෙනිස් බෝලයක් වගේ කොයි වෙලාවක හරි උඩට එනවා. ඒක දන්නේ නැති පරිපාලනයක් අද ඉන්නේ. පසුගිය කාලේ ක්‍රීඩකයෝ 50- 40ක් විතර ජාතික කණ්ඩායමට ගෙනාවා. තමන්ගේ ක්‍රීඩා සමාජවල ඉන්න අය තමයි මේ විදියට කණ්ඩායමට ගෙනාවේ. තමන්ගේ ක්‍රීඩාවට ක්‍රීඩා කළොත් ජාතික කණ්ඩායමට තෝරා ගන්නවා කියන අදහස මේ අය පතුරවමින් ඉන්නවා. අපේ ක්‍රිකට් ක්‍රීඩාවට දේශපාලනය ගාව ගන්න ඕනේ නැහැ. නමුත් දේශපාලනඥයින් ක්‍රිකට් ක්‍රීඩාවට ඇවිල්ලා බොහෝ හොඳ දේ කළ අය ඉන්නවා. ගාමිණී දිසානායක, ටිරෝන් ප්‍රනාන්දු මැතිතුමන්ලා ඊට හොඳ උදාහරණ. නමුත් ව්‍යාපාරිකයෝ ඇවිල්ලා මොනවද කළේ ? ප්‍රජාතන්ත්‍රවාදය තමයි නිලවරණය. නමුත් ක්‍රිකට් නිලවරණයේදී මොකද වෙන්නේ ? ක්‍රීඩා අමැතිවරයාත් නොදන්නා එකම දෙයත් එය. ඇත්තටම අපි තාමත් නරකම තත්ත්වයට ගිහින් නෑ. ඒක නිසා තමයි මම කියන්නේ දැන්වත් අපි වෙනසක් ඇති කළ යුතුයි කියලා. ඒ ගැන මම යන්න පුළුවන් ලොකුම තැනට ගිහිල්ලා කියලා තියෙනවා. මගේ වගකීම මම ඉෂ්ඨ කරලා තියෙනවා…..” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

[fbvideo link=”https://www.facebook.com/784915228356505/videos/825511910963503/” width=”580″ height=”400″ onlyvideo=”1″]

Related posts

රවීට ඇමතිකමක් දෙන්න.. නීතිපති නිර්දේශ කර එවූ ලිපිය රනිල් හංගලා…!

colombotoday

වැලි ප්‍රවාහන බලපත් ඉවත් කිරීමෙන් රට පුරා ගං ඉවුරු වනසමින් වැලි හාරති.. පරිසර සංවිධානයන්ගේ දැඩි විරෝධය

colombotoday

වෙබ් එක “හැක්“ කල සිසුවාට ජනපති තෑග්ගක් දෙයි !

colombotoday

පොලිස් නිලධාරින් 19 කට ස්ථාන මාරුවීම්

colombotoday

එන සතියේ මං ආණ්ඩුවේ – රාජිත

colombotoday

දුරකථනය ගන්න දුම්රියේ ගිය චීන කතට පොල්ලකින් ගහලා

Admin