Colombo Today Local News

සම්මුතිය නිමයි..! ආණ්ඩුවෙන් එළියට බහින ශ්‍රීලනිප ප්‍රබලයන් මෙන්න..

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් 18 දෙනකු සැප්තැම්බර් මාසයේ ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයේ අසුන් ගැනීමට ගෙන ඇති තීරණය වෙනස් කිරීම සලකා බැලීමට එම කණ්ඩායම ජනාධිපතිවරයා වෙත කොන්දේසි දෙකක් ඉදිරිපත් කිරීමට යයි.

ආණ්ඩුවෙන් ඉවත් වීමට යන එම කණ්ඩායමේ මුල්පෙළ සිටින පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රි සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතාගෙන් මේ පිළිබඳව ඉරිදා ‘මව්බිම’ කළ විමසුමකට පිළිතුරු දෙමින් කීවේ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය තනතුරෙන් ඉවත් කළ යුතු බවත් එසේ නොකරන්නේ නම් තම කණ්ඩායමට විපක්ෂයේ අසුන් ගැනීමට ජනාධිපතිවරයා අවසරය ලබාදිය යුතු බවයි. කොන්දේසි වශයෙන් ඉදිරිපත් කරන මේ ඉල්ලීම් දෙක ඉටු නොවන්නේ නම් ස්ථීර වශයෙන්ම මේ කණ්ඩායම සැප්තැම්බර් මාසය අවසන් වීමට පෙර විපක්ෂයේ අසුන් ගන්නා බව අරුන්දික ප්‍රනාන්දු මහතා සහතික කෙළේය.

මේ තීරණය ගැනීමට පෙර තම කණ්ඩායමේ නියෝජිත පිරිසක් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලා සිටින බවත් එම සාකච්ඡාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගි කරවන ලෙසට ජනාධිපතිවරයාට දැනුම් දීමක් කරන බවත් නියෝජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා පැවැසීය.

පසුගිය බදාදා (12දා) ජනාධිපතිවරයා සමඟ ශ්‍රී ලනිප ඇමැතිවරුන් ඇතුළු පිරිස හමු වී කළ සාකච්ඡාවේදී තම කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයේ අසුන් ගන්නා බවට කළ දැනුම්දීමේදී දෙසැම්බර් මාසය දක්වා එය කල් දමන ලෙසට ඉල්ලීමක් කළත් ඒතරම් කාලයක් ආණ්ඩුවේ රැඳී සිටීමට අපේක්ෂාවක් නැති බව පැවැසූ නියෝජ්‍ය ඇමැතිවරයා ජනාධිපති හා අගමැති සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට අවස්ථාවක් ලබාදුන්නොත් ඊළඟ තීන්දු ගැන සලකා බැලීමට හැකිවනු ඇතැයි කීවේය.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කරන්නැයි ඔබලා කියනවා නම් එයට විකල්පය කුමක්දැයි ඇසූ විට කීවේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති වශයෙන් පත් කිරීමට තම කණ්ඩායම මෙන්ම රටේ බහුතර ජනතාවද කැමැති බවයි.

ආණ්ඩුවෙන් ඉවත් වන්නට යන්නේ කවුරුන් දැයි නම් වශයෙන් සඳහන් කළ හැකි දැයි නියෝජ්‍ය ඇමැතිවරයාගෙන් ඉරිදා ‘මව්බිම’ ඇසූ විට කීවේ, එහෙනම් මගේ නම ඉස්සෙල්ලාම ලියාගන්නැයි කියමින් ‘අරුන්දික ප්‍රනාන්දු’ යනුවෙන් නම සඳහන් කරමින් සෙසු අයගේ නම් සඳහන් කරමින් ටී.බී. ඒකනායක, නිමල් ලාන්සා, ඩුලිප් විජේසේකර, සුමේධා ජයසේන, සුසන්ත පුංචිනිලමේ, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, තාරානාත් බස්නායක, ඉන්දික බණ්ඩාරනායක, නිශාන්ත මුතුහෙට්ටිගම, පියංකර ජයරත්න, සුසිල් ප්‍රේමජයන්ත්, ඩබ්ලිව්. ඩී.ජේ. සෙනවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, ඒ.එල්.එම්. හිස්බුල්ලාහ් ආණ්ඩුවෙන් ස්ථිර වශයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව කීය.

මේ පිරිස සංඛ්‍යාත්මක වශයෙන් 14ක් වන බව ඉරිදා ‘මව්බිම’ පෙන්වාදුන් විට නියෝජ්‍ය ඇමැතිවරයා කීවේ, ඔව්, තවත් අය ඉන්නවා. ඒ අයගේ නම් ටිකත් මම කියන්නම් යැයි පවසමින් කෑගල්ල, මධ්‍යම හා උෟව පළාත් වල මන්ත්‍රිවරුන් තිදෙනකුගේද නම් සඳහන් කරමින් රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රිවරයකුත්, නැඟෙනහිර පළාත නියෝජනය කරන මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රිවරයකුත් විපක්ෂයේ අසුන් ගැනීමට කැමැත්ත පළකර තිබෙන බවද කීවේය.

මෙයට අමතරව ශ්‍රී ලනිපය නියෝජනය කරන පසුපෙළ මන්ත්‍රිවරුන් කීප දෙනකුද එජාපය නියෝජනය කරන මන්ත්‍රිවරුන් කීපදෙනකු මේ කණ්ඩායම සමඟ සාකච්ඡා කරමින් සිටින බව නියෝජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කෙළේය.

– මව්බිම

Related posts

මුහුද රළුයි, සුළං සැරයි… ධීවරයන්ට අනතුරු ඇගවීමක් !

colombotoday

ලිංගික චෝදනා එල්ල වූ මැටරඹ කපුවා අත්අඩංගුවෙන් බේරෙන්න කෝටි 10ක අල්ලසක් දෙන්න හදලා

colombotoday

අගමැතිට සුබ පතන්න විශේෂ පාර්ලිමේන්තු සැසියක් !

colombotoday

ජීව උණ්ඩ සමග අමෙරිකානුවෙක් කටුනායකදී අත්අඩංගුවට

Admin

පොල් වගාකිරීමේ මණ්ඩලයේ කෝටි 2 ක මුදලක් වංචාව. පරීක්‍ෂණ වාර්තාව අමාත්‍යංශ ලේකම් අතට

colombotoday

රට කළඹන නව රැල්ලක් ! අපේ නායකයා ගෝඨා.. 2019 ජනපතිවරණය දිනනවා නිසැකයි – විමල් කියන කතාව මෙන්න

colombotoday