Colombo Today Local News

මාතර-බෙලිඅත්ත දුම්රිය මාර්ගය ඉදිකිරීම හොරු රැළක් යටතට !

යෝජිත මාතර – කතරගම දුම්රිය මාර්ගයේ පළමු අදියරට අයත් ‘මාතර – බෙලිඅත්ත’ කොටසෙහි ඉදිකිරීම් ව්‍යාපෘතිය තුළ දූෂණ රැසක් සිදු වන බවත් ඉදිකිරීම් ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් ලබාගෙන ඇති සමාගම එවැනි කටයුත්තක් සඳහා අවශ්‍ය අවම පරිසාධිත මට්ටමක නොමැති වීම හේතුවෙන් නියමිත කාලයට ව්‍යාපෘතියේ කටයුතු අවසන් කිරීමට ද නොහැකි වී ඇති බව පෙන්වා දෙමින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණිලි රැසක් ලැබී ඇති බව වාර්තා වෙයි.

ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මේ වන විට කොන්ත්‍රාත්කාර සමාගමේ අක්‍රමිකතාවන්ට එරෙහිව කටයුතු කළ අදාළ ව්‍යාපෘතියේ උපදේශක වගකීම දැරූ ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ (සී.ඊ.සී.බී.) කණ්ඩායම් නායකයා වූ ජ්‍යේෂ්ඨ ඉංජිනේරු එම්.එම්. අක්‍රම් මහතාව ව්‍යාපෘතියේ කටයුතුවලින් ඉවත් කිරීම සඳහා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගේ සහය ලබා ගැනීමට කොන්ත්‍රාත්කාර සමාගම කටයුතු කරමින් සිටින බවත් ඒ මත මේ වන විට සී.ඊ.සී.බී. ආයතනයේ සභාපතිවරයා අක්‍රම් මහතා ව්‍යාපෘතියෙන් ඉවත් කරන්නට අවසර දෙන ලෙස සිවිල් හා ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇති බවත් එම පැමිණිලිවල සඳහන්ව ඇත.

මේ පිළිබඳ වැඩිදුරටත් අප වෙත වාර්තා වන ආකාරයට මෙම ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කර ඇත්තේ 2013 අගෝස්තු 13 වනදා වන අතර ඒ චීන රජයේ ණය ආධාර යටතේය. ඒ අනුව පළමු අදියරේ ඉදිකිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව ඇමරිකන් ඩොලර් මිලියන 278.2ක් (රුපියල් මිලියන 41,730ක්) වී ඇති අතර එවකට පැවති ආණ්ඩුව මෙම ඉදිකිරීම් ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්කරු වශයෙන් තෝරාගෙන ඇත්තේ චයිනා නැෂනල් මැෂිනරි ඉම්පෝර්ට් ඇන්ඞ් එක්ස්පෝර්ට් කෝපරේෂන් (සී.එම්.සී.) සමාගමය. අනතුරුව චීන එක්සිම් බැංකුව අදාළ ණය මුදල අනුමත කර ඇත්තේ චයිනා නැෂනල් මැෂිනරි ඉම්පෝර්ට් ඇන්ඞ් එක්ස්පෝර්ට් කෝපරේෂන් (සී.එම්.සී.) සහ චයිනා රේල්වේ නම්බර් 5 ඉංජිනියරින් කෝපරේෂන් (සී.ආර්. 5) ආයතනය සමඟ එක්ව පිහිටවූ හවුල් සමාගමක් ලෙස මෙම ඉදිකිරීමේ කොන්ත්‍රාත්කරු ලෙස ඉදිරිපත් වීමෙන් පසුවය. එසේම ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කිරීමේදීම කොන්ත්‍රාත් සමාගමට ඇමරිකන් ඩොලර් මිලියන 86.4ක මුදලක් අත්තිකාරම් වශයෙන් ලබා දී ඇති අතර මූලික ගිවිසුමට අනුව මාතර – කතරගම දුම්රිය මාර්ගයේ පළමු අදියරට අයත් ‘මාතර – බෙලිඅත්ත’ ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතව තිබී ඇත්තේ 2016 ජූලි 31 වනදාය.

මෙම ව්‍යාපෘතියේ උපදේශක වගකීම දැරූ ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය සී.ඊ.සී.බී. විසින් දරා ඇති අතර ඒ එම ආයතනය සහ ප්‍රවාහන අමාත්‍යාංශය අතර ඇති කරගත් ගිවිසුමකට අනුවය. එහෙත් පසුව කොන්ත්‍රාත්කාර සමාගමට මෙවැනි ඉදිකිරීමක් සිදුකර අත්දැකීම් නොතිබීම, ප්‍රමාණවත් සහ වෘත්තීය සුදුසුකම් සහිත සේවකයන් නොමැති වීම, ප්‍රමාණවත් තරම් යන්ත්‍රෝපකරණ හා ඉදිකිරීම් ද්‍රව්‍ය නොමැති වීම, සැලසුම්සහගත නොවීම, ඉදිකිරීම් කටයුතුවල ප්‍රමිතිය බාල කිරීමට දැනුවත්ව ක්‍රියා කිරීම, ඉංජිනේරුවන් නොමඟ යැවීම සහ ඔවුන්ට තර්ජනය කිරීම ආදී හේතු මත කොන්ත්‍රාත්කාර සමාගම සහ උපදේශන ආයතනයේ කණ්ඩායම් අතර මතභේද මතුව ඇත.

සංජය ලියනගේ

Related posts

සිංහල මව්වරුන් වඳ කළ මුස්ලිම් දොස්තර ඇමති රිෂාඩ්ගේ ගෝලයෙක් කියන බව ඇත්තක්ද?

colombotoday

ශ්‍රී ලංකා ධජය සහිත පාපිස්නා ගැන චීනයේ ප්‍රතිචාරය

colombotoday

රන් බිස්කට් 4ක් අධෝමාර්ගයේ සගවාගෙන ආ ඇමති ලේකම් ගුවන්තොටේදී මාට්ටු

colombotoday

ඊළාම් උවමනාව දෙමළ ජනතාවගේද? ඇන්ග්ලිකන්, ඇමරිකන් මිෂනාරීන්ගේද ?

colombotoday

ඒකාබද්ධය ඇතුළු පාර්ලිමේන්තුවම මර නින්දට යවා රණවිරුවන් කොටු කරන මර උගුල ඇටවෙයි !

colombotoday

මෙරට පාසල් විවෘත කිරීමට ලෝක සංවිධාන තුනක අනුමැතිය

colombotoday