ArticlesColombo Today Local News

ඊළාම් උවමනාව දෙමළ ජනතාවගේද? ඇන්ග්ලිකන්, ඇමරිකන් මිෂනාරීන්ගේද ?

ඉංග්‍රීසීන් යටත් කරගත් පසු 20 වැනි සියවස ඇරඹෙද්දී වෙනස්‌කම් රැසකට රට භාජන වී තිබුණි. භාෂාව සිංහල නොව ඉංග්‍රීසි විය. පොදු ජනයා සිංහල සහ දෙමළ භාෂාවන් කතාකළද, පාලන භාෂාව ඉංග්‍රීසි විය. සංස්‌කෘතික වශයෙන් ද ඇඳුම් පැළඳුම් අතින් ද ආර්ථික ක්‍රමෝපාය අතින්ද වෙළෙඳාම අතින්ද සම්පූර්ණ වෙනසක්‌ ඇති වී තිබුණි. මේ සියලු දේ මැද බුදු දහම රැකගනිමින් එය ආරක්‌ෂා කිරීමට 1850 ට පසුව ඇති වූ ජාතික ව්‍යාපාරය අනගාරික ධර්මපාලතුමා, කර්නල් ඕල්කට්‌ වැනි අය සම්බන්ධ වීම නිසා ධෛර්ය සම්පන්න විය. පරිපාලනය ව්‍යවස්‌ථාදායක සභාවට නියෝජිතයන් පත් කිරීමේ ක්‍රමය වෙනුවට ඡන්දයෙන් තෝරා ගැනීමේ ක්‍රමයට මාරු විය. එය සමග ඡන්ද ගොඩවල් වෙන්කර ගැනීම සඳහා ජාතිවාදය හොඳම අවියක්‌ විය. සුළු ජාතීන්ට අසාධාරණයක්‌ වේ යෑයි යන හඬ උතුරේ නායකයන් විසින් පවත්වාගෙන යන ලදී. ඊට හේතු වූයේ සුළු ජාතික නියෝජිත සංඛ්‍යාව තවදුරටත් මහා ජාතීන් සමඟ 50 ට 50 ලෙස පවත්වාගෙන යැමට ජී.ජී. පොන්නම්බලම් මහතා යෝජනා කළ අතර ඩොනමෝර් කොමිසම එය පිළි නොගැනීමයි. එයින් දෙමළ ජනයාට අසාධාරණයක්‌ වූයේ යෑයි හඬක්‌ මතු විය. අසාධාරණයක්‌ වූවා නම් එය සිදුවූයේ ඉංග්‍රීසීන් ගෙනි. සරළ ගණිතය අනුව බලන විට මෙම නියෝජිතයන් පත්කිරීම අසාධාරණයක්‌ ලෙස නොපෙනේ. නියෝජිතයන් පත් කිරීම ජන අනුපාතය අනුව සිදු වීම සාමාන්‍ය පිළිවෙතයි.

භාෂා ප්‍රශ්නය ගැන බලන විට රාජ්‍ය මන්ත්‍රණ සභාව විසින් ඊට විසඳුම් ලබා දී තිබුණි. රාජ්‍ය මන්ත්‍රණ සභාවට 1932 ජුලි 05 වැනි දින යෝජනාවක්‌ ඉදිරිපත් කළ ජී.කේ.ඩබ්ලිව්. පෙරේරා මහතා පරිපාලන කටයුතුවලට පත්කරන අයට ද, පොලිස්‌ උසාවිවල නීතිඥවරුන්ටද සිංහල සහ දෙමළ භාෂාවන් හි ප්‍රවීණතාවක්‌ තිබිය යුතු බව ඔහු කියා සිටියේය. පිලිප් ගුණවර්ධන මහතා පොලිස්‌ උසාවිවල කටයුතු ස්‌වභාෂාවන්ගෙන් ක්‍රියාත්මක විය යුතු බවට යෝජනාවක්‌ 1937 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කළේය. 1943 ජුනි 22 වැනි දින රාජ්‍ය මන්ත්‍රණ සභාවට අනු කොටස්‌ 05කින් යුතු යෝජනාවක්‌ ඡේ.ආර්. ජයවර්ධන මහතා විසින් ඉදිරිපත් කළ අතර එයින් කියෑවුණේ පාලන කටයුතු ඉංග්‍රීසියෙන් සිංහලට පරිවර්තනය කළ යුතු බවයි. 1944 මැයි 24 වැනි දින මෙම යෝජනාව සාකච්ඡාවට භාජන කළ අතර මුල් යෝජනාවේ සිංහල යන වචනය වෙනුවට, සිංහල සහ දෙමළ, යෙදීම මගින් සංශෝධනය විය යුතු බව අතුරු යෝජනාවක්‌ ගෙන ආ අතර ඊට ඡන්ද 27 ක්‌ පක්‌ෂවද, ඡන්ද 02 ක්‌ විපක්‌ෂව ද ලැබුණි. සිංහල පමණක්‌ යෝජනා කර ඡේ. ආර්. ජයවර්ධන මහතා ද ඊට පක්‌ෂව ඡන්දය ලබා දී තිබුණි. මේ යෝජනාව අනුව අනුකමිටුවක්‌ පත්කර ඒ වාර්තාව 1946 දී ලබාගන්නා ලදී. එම වාර්තාව 1946 අංක 22 දරන සැසි වාර්තාව ලෙස හැඳින් විය. එහි 42 වැනි පිටුවේ 13 වැනි පරිච්ඡේදයේ මෙසේ සඳහන් වේ. දැනට රටේ පාලන භාෂාව වශයෙන් පවතින ඉංග්‍රීසි භාෂාව හා 1957 ජනවාරි 1 දින සිට ඒ තත්ත්වයෙන් ඉවත් කළ යුතුය. සිංහල සහ දෙමළ ඒ තත්ත්වයට පත් කළ යුතුය, එසේ වුවද එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට සිංහල හෝ දෙමළ දේශපාලනඥයන්ට හෝ නිලධාරීන්ට වුවමනාවක්‌ නොතිබිණි. විශේෂයෙන් රජයේ නිලධාරීන්ට තමන් ඉංග්‍රීසි උගත්කමෙන් සමාජයේ ලබාගෙන තිබූ විශේෂත්වය අහිමි කර ගැනීමට වුවමනාවක්‌ නොතිබිණි. මෙය දෙමළ සිංහල බේදයකින් තොරව නිලධාරීන්ගේ ස්‌වභාවය විය. එම නිසා මෙම අනුකමිටුවේ නිර්දේශ හමස්‌ පෙට්‌ටියට ගියහ. ජාති වාදයකින් තොරව ලබා දී තිබූ විසඳුම ක්‍රියාත්මක නොකිරීම නිසා අද තිබෙන ගැටලුවට පදනම වැටුණි.

මේ අතරවාරයේ භාෂාවට අමතරව දෙමළ ඊළාම් දේශය පිළිබඳ ප්‍රශ්නයක්‌ද කරළියට පැමිණියහ. 1940 දශකයේදී පළමුවෙන්ම දෙමළ නිජ භූමිය පිළිබඳ අදහස්‌ පළකරන ලද්දේ සී.සූන්දරලිංගම් මහතාය. ඉන් අනතුරුව 1949 දෙසැම්බර් 19 වැනි දින චෙල්වනායගම් මහතා ප්‍රකාශ කර ඇත්තේ වීර පරාක්‍රම දෙමළ රජවරුන් විසින් දෙමළ ඊළාම් රාජ්‍යය පාලනය කළ බවයි. තවදුරටත් අදහස්‌ දක්‌වමින්, දෙවියන් වහන්සේ දෙමළ ජනයා දෙමළ දේශයක්‌ කරා රැගෙන යැමට අපව තෝරාගෙන ඇත, එම රැස්‌වීමට සහභාගී වූ ලක්‌ෂ්මන් වික්‍රමසිංහ දේවගැතිතුමා ප්‍රකාශ කර ඇත්තේ, චෙල්වනායගම් මහතා දෙමළ ජනයා පොරොන්දු දේශය කරා ගෙන යන මෝසස්‌ බවයි. මෙම දේවගැතිවරයා රනිල් වික්‍රමසිංහ මහතාගේ පියාගේ එකකුස උපන් සහෝදරයාය.

මේ සිද්ධියෙන් අපට වටහාගත හැක්‌කේ ඊළම දෙමළ ජනයාගේ උවමනාවක්‌ නොව ඇන්ග්ලිකන් හා ඇමරිකානු මිෂනාරිවරුන්ගේ උවමනාවක්‌ බවයි. දෙමළ ස්‌වාධීන රාජ්‍යයක්‌ තිබී 1619 දී පෘතුගීසීන් එය යටත් කරගෙන අනතුරුව ලන්දේසීන් අතට ද ඔවුන්ගෙන් ඉංග්‍රීසීන් අතට ද පත්වී 1815 සිට එකට පාලනය කර 1948 නිදහස ලබා දීමේදී ඒකීය රාජ්‍යයක්‌ බවට පත්කළ බවයි. මා මීට පෙර ලිවූ ලිපිවල පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි යුග වල ඊළමක්‌ තිබුණාය යන අදහස බොරුවක්‌ බව තහවුරු කර ඇත. කෙසේ වුවද සිංහල ජනතාව තුළ මේ වංචනික අදහස නිසා වේදනාත්මක සැකයක්‌ ජනිත විය.

රදගුරු ලක්ෂ්මන් වික්‍රමසිංහ (අගමැති රනිල් වික්‍රමසිංහගේ පියාගේ සොයුරා)

1948 න් පසු තමන්ට නැතිවී ගිය හිමිකම් නැවත ලබාගැනීමට ප්‍රාර්ථනා කරමින් සිටි සිංහල ජනයාට දෙමළ දේශපාලනඥයන්ගේ මෙම ව්‍යාජ අදහස්‌ ඉතා අහිතකර ලෙස බලපෑවේය. මේ අතරවාරයේ බණ්‌ඩාරනායක මහතා රජයෙන් ඉවත් වි විරුද්ධ පක්‌ෂයට පැමිණ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය පිහිටු වමින් සිංහල රාජ්‍ය භාෂාව කළ යුතුයි යන මතයට නායකත්වය දුනි. මේ අතර පෙඩරල් පක්‌ෂය බිහිකිරීමට ආසන්නතම හේතුව වූයේ පුරවැසි පනත මගින් වතු ජනතාවගේ ඡන්ද බලය අහිමි කිරීමයි. දෙමළ දේශපාලනඥයන් ඉදිරිපත් කළ ඊළාම් මතවාදය හදිස්‌සියේ පැන නැඟුණක්‌ නොව 1878 සිටම ඇමරිකානු මිෂනාරි ආගම අදහන දෙමළ උගතුන් විසින් ගොඩනැඟුණු ව්‍යාජ මතවාදයකි. එහි පියා එස්‌.ජෝන් නමැති ඇමරිකානු මිෂනාරි ආගමේ ෆාස්‌ටර් වරයෙකි. අනතුරුව 1879 දී යාල්පාන වයිපව මාලය, සී. බ්‍රිටෝ ඇන්ග්ලිකන් ආගම අදහන පෙරකදෝරුවකු විසින් පළකරන ලදී. යාපනයේ සියලුම ක්‍රිස්‌තියානි පල්ලි මේ මත වාදයට අනුබල දෙති. සෙසු ප්‍රදේශවල අප තුළ සංහිඳියාව ඇති කිරීමට ඔවුන් ක්‍රියාකරති. අද රටේ පවතින දේශපාලන මොඩලය පල්ලියේ හැසිරීමේ මොඩලයයි. උතුරේ දේශපාලනඥයන් ජාති වාදය පතුරති. ඊට බාධාවක්‌ නැත. නමුත් සෙසු ප්‍රදේශවල අයට දඬුවම් කිරීමට කටයුතු යොදති. අපට ඇත්තේ කලින් කී මොඩලයට අනුව පල්ලියේ හැසිරීමට අනුව ජීවත් වීමට බව රජයේ ප්‍රකාශන වලින් වැටහේ.

1956 බණ්‌ඩාරනායක මහතා බලයට පත්වීමෙන් පසු පැය 24 න් රාජ්‍ය භාෂාව සිංහල කිරීමේ උත්සාහය ක්‍රියාත්මක කරන ලදී. ඊට ආ විරෝධය බණ්‌ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම මගින් සමනය කිරීමට උත්සහ කරන ලදී. ශ්‍රී විරෝධය සිංහල දෙමළ කෝලාහලයක්‌ දක්‌වා වර්ධනය විය. මේ යුගයේ සියරට පත්තරයේ පළවූ ජාතිවාදී අදහස්‌ මේ ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක්‌ විය. ජාතිවාදය ඇවිස්‌සුවේ කවුද යන්න අවබෝධ කර ගැනීමට 1956 න් පසු සියරට පත්තරය බලන්නකුට ඉඩකඩ ඇත. කෙසේ වුවද නුවරට පයින් ගමන අසාර්ථක විය. එහෙත් 1960 මාර්තු හා ජුලි මැතිවරණවල ප්‍රධාන තේමාව වූයේ රට සභාව මගින් රට පාවා දෙන බවට බණ්‌ඩාරනායකට චෝදනා කිරීමයි. මේ වන විට පක්‌ෂයේ නායකත්වය සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය අතට පත්වී තිබුණි. 1962 සිදුවු රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය අසාර්ථක විය. එහෙත් මෙම සිද්ධිය ශ්‍රී්‍රs ලංකාවේ දේශපාලනයේ හැරවුම් ලක්‌ෂ්‍යය බවට පත්විය. කුමන්ත්‍රණකරුවන් මෙරට අධිකරණයේ වැරදිකරුවන් වුවද එංගලන්තයේ ප්‍රිවි කවුන්සලයේ නිදහස්‌ විය. මේ අතරවාරයේ වාමාංශික එක්‌සත් පෙරමුණ නමින් වමේ සමගි සන්ධාන පෙරමුණක්‌ ඇති වී 1964 දී වාර්තාගත මැයි පෙළපාලියක්‌ ද පවත්වන ලදී. එසේ වුවද එම ගිවිසුම කඩමින් සම සමාජ පක්‌ෂය රජයට එකතු වීම නිසා සභාග ආණ්‌ඩුවක්‌ ඇති විය. වම දෙදරා ගිය අතර සම සමාජ තරුණ නායකයෝ විවිධ කණ්‌ඩායම්වලට විසුරුණි. 1965 දී පොළොන්නරුවේ සී.පී.ද සිල්වා විරුද්ධ පක්‌ෂයට යැමෙන් සභාග ආණ්‌ඩුව බිඳ වැටුණි. ඒ ප්‍රතිඵලයක්‌ ලෙස ඊළ`ග මැතිවරණයේදී එජාපයට වැඩි ආසන ලැබුණත් ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට ෆෙඩරල් පක්‌ෂය ඇතුළු පුරා පක්‌ෂ 07ක හවුලෙන් එජාපය ප්‍රමුඛ පළමු ජාතික ආණ්‌ඩුව ඇති විය. මෙම ආණ්‌ඩුවට කේ. එම්. පී රාජරත්න මහතා එකතු වීම නිසා ඔහුගේ දේශපාලන ගමන ද කෙළවර විය. එහි ඩඩ්ලි චෙල්වනායගම් ගිවිසුමක්‌ද ඇති විණි. මේ යුගයේ නිදහස්‌ වූ කුමන්ත්‍රණකරුවෝ රාජ්‍ය නොවන ආයතන මඟින් වන්නි ප්‍රදේශවල දෙමළ ජනයා පදිංචි කිරීමේ ව්‍යාපාර දිගටම කරගෙන ගියහ. එය එල්.ටී.ටී සංවිධානයට යටිතල පහසුකම් සැපයීමක්‌ විය. ජනතා විමුක්‌ති පෙරමුණ 1965 න් පසුව ඇතිවී ඉන්දියානු ව්‍යාප්තවාදය නමැති දේශනය මගින් තරුණයන් අතර ජාතිවාදී හැඟීම් ඇති කරන ලදී. මෙය ෂන්මුගදාසන්ගේ වීන පිළේ මතයකි. දැන් ඔවුන් ඒ පිළිබඳව නිහඬ පිළිවෙතක්‌ අනුගමනය කරයි.

මේ සිද්ධීන් ගැන බලන විට පසුගිය ලිපිවල පළවූ අදහස්‌ වලින් පහත දේ නිර්මාණය කරමි. 1215 දී පොළොන්නරුව කාලිංග මාඝ විසින් යටත් කරන ලදී. ඉන් අවුරුදු 200කට පසු 1415 දී 6 වන පරාක්‍රමබාහු නැවත රට එක්‌සත් කිරීමට කටයුතු කරන ලදී. 1215 සිට වසර 600 කට පසු 1815 දී උඩරට රාජ්‍යය ඉංග්‍රීසීන්ට යටත් විය. වර්ෂ 1965 දී එනම් 1215 සිට වසර 750කට පසු පොළොන්නරුවේ සී.පී. ද සිල්වා පැවති රජය පෙරළා පළමු ජාතික රජය බිහිකරන ලදී. 1215 සිට වසර 800 කට පසු පොළොන්නරුවේ මෛත්‍රීපාල සිරිසේන මහතා මහින්ද රාජපක්‌ෂ රජය පෙරළා දෙවැනි ජාතික ආණ්‌ඩුව ඇති කරන ලදී. දැන් අප ගමන් කරන්නේ ඇමරිකානු මිෂනාරීන් හැදූ රේල් පීලි දිගේ බව ඔබට වැටෙහෙනවා ඇත. ඉන්දියාවද අපට උපදෙස්‌ දෙන්නේ එම පීල්ලේ යැමටයි.

ලංකාව දේශපාලනය තුළ ප්‍රථම ජාතීවාදී දේශපාලන පක්‌ෂය කේ. එම්. පී. රාජරත්නගේ ජාතික විමුක්‌ති පෙරමුණ ෆෙඩරල් පක්‌ෂය ඇතුළු ජාතික රජයට එකතු වීමෙන් තම දේශපාලනයේ ඉදිරි ගමන කෙළවර කර ගත්තේය. ජනතා විමුක්‌ති පෙරමුණ 1971 කැරැල්ල මගින් 1977 එජාපයට 5/6 ක බලයකට මග සලසන ලදී. මේ කටයුතු අතර දෙමළ තරුණයන් සන්නද්ධ අරගලයකට යොමු විය. එයට බටහිර සහයෝගය හැම අතින්ම ලැබුණි. මේ ආරම්භයේ ඉන්දියානු උපකාරය ලබාගත්තත් ප්‍රභාකරන් බටහිර ගැත්තකු නිසා රජීව් ගාන්ධිගේ ජීවිතයේ ඉරණම විසඳීමට කටයුතු කළහ. ලංකාවේ දෙමළ කැරැල්ලකට අතදුන් ඉන්දිරාට තම තරුණ පුත්‍රයාගේ ජීවිතය ඒ වෙනුවෙන් කැප කිරීමට මග සලසන ලදී. මේ දරුණු ත්‍රස්‌තවාදය මහින්ද රාජපක්‌ෂ මහතාගේ දේශපාලන නායකත්වයෙන් පරාජයට පත්කළද මහින්ද රාජපක්‌ෂ මහතා දේශපාලන වශයෙන් පරාජය වීම එල්.ටී.ටී.ඊ දේශපාලන අරමුණු ඉටුකර ගැනීමේ යුගයක්‌ කරා රට ගමන් කරමින් තිබේ දැයි දැන් සැකයක්‌ පහළ වේ. අප ඡන්ද ගුණ්‌ඩුවකට අසුවී දැන් ඊළාම් තොණ්‌ඩුවට ද අසුවීමට යන බව දක්‌නට තිබේ. වීරෝදාර ලෙස සටන් කළ රණවිරුවන් සමූල ඝාතකයන් ලෙස හඳුන්වමින් ඔවුන්ට නින්දා කිරීමද ජාත්‍යන්තරව ප්‍රචාරය කරති. දැන් අපි ගතකරන්නේ සංක්‍රාන්ති සමයකි.

පියසිරි අමරකෝන්
ගණකාධිකාරි සේවා සංගමයේ හිටපු සභාපති

Related posts

මල්වාන සුවිසල් නිවසේ නඩුවෙන් බැසිල් රාජපක්ෂ නිදොස් කොට නිදහස්

colombotoday

මවුස්සාකැලේ සහ කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි

colombotoday

එජාපයේ ඒකාධිපති ව්‍යවස්ථාව සංශෝධනය කර රනිල් එලවන්න සජිත් පිල සූදානම් !

colombotoday

තවත් බස් රථයක් ප්‍රපාතයකට පෙරලෙයි – රියදුරු මරුට

Admin

දැව ජාවාරමක තොරතුරු සෙවීමට ගිය මුලතිව් ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට පහරදීම – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෙළාදකී

colombotoday

වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක්

colombotoday