Colombo Today Local News

මාතර – මත්තල අධිවේගයේ බිලියන 123 ක ටෙන්ඩර් මගඩියක් !

මහාමාර්ග ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත් ලබා දීමේ දී වත්මන් ආණ්ඩුව පෙර පැවති ආණ්ඩුවටත් වඩා අන්ත දූෂිත අන්දමින් ක්‍රියා කරන බව දූෂණ විරෝධී පෙරමුණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පෙන්වා දී තිබේ.

දූෂණ විරෝධී පෙරමුණේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන්ගේ අත්සනින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක ඒ බව පෙන්වා දී ඇති අතර වර්තමානය අතීතයට වඩා දූෂිත, අමානුෂික හා මුග්ධ බව ද එම ලිපියෙන් අවධාරණය කර ඇත.

ඊට හොඳම උදාහරණය මාතර මත්තල අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාත් මගඩිය බව පෙන්වා දෙන දූෂණ විරෝධී පෙරමුණ මහාමාර්ග අමාත්‍යාංශයේ දූෂිතයන් නිසා යහපාලනය විනාශ වන බවට චෝදනා කර තිබේ.

රාජපක්ෂලාගේ ඇස්තමේන්තුව :

කිලෝමීටර් 96 ක් වූ මාතර-මත්තල අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඇස්තමේන්තු සකස් කර තිබුණේ රුපියල් බිලියන 242 කටය. උපදේශක හා සැලසුම් වියදම් ලෙස රුපියල් බිලියන 12 ක් ඇස්තමේන්තු කොට තිබිණි.

මාතර සිට බෙලිඅත්ත දක්වා වූ කිලෝමීටර් 30 ක කොටස රුපියල් බිලියන 103.28කට ද බෙලිඅත්තේ සිට වැටිය දක්වා කිලෝමීටර් 26 ක කොටස රුපියල් බිලියන 55.5 කට ද වැටියේ සිට අන්දරවැව දක්වා වූ කිලෝමීටර් 15 ක කොටස රුපියල් බිලියන 31.57 කට ද අන්දරවැව සිට හම්බන්තොට හරහා මත්තලට වූ කිලෝමීටර් 15 ක කොටස රුපියල් බිලියන 52.16 කට ද ඇස්තමේන්තු කර ඉදිකිරීම් චීන කොන්ත්‍රාත්කරුවන්ට පවරා තිබිණි.

කොන්ත්‍රාත්කාර චීන සමාගම විසින් ඊට අදාළ ණය ලබා ගැනීම සඳහා චීන බැංකුවක් හරහා ණය මුදල් ශ්‍රී ලංකා රජයට සැපයීමට ද කටයුතු කර තිබිණි.

දින සියයේ ආණ්ඩුව :

දින සියයේ ආණ්ඩුව යටතේ එවකට මහාමාර්ග අමාත්‍යවරයාව සිටි කබීර් හෂීම් අමාත්‍යවරයා විසින් කීර්තිමත් ඉංජිනේරු උපදේශකවරයකු වන එම්.බී.එස්. ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් තාක්ෂණික කමිටුවක් පිහිටුවා දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට මත්තල කොටසේ ඉදිකිරීම් නැවත සමාලෝචනයට පියවර ගැනුණි.

2015 අප්‍රේල් 28 දින එම වාර්තාව ද අමාත්‍යවරයාට ලබා දී ඇත.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැනටමත් සිදුකර ඇති ඉදිකිරීම් වෙනුවෙන් සකස් කළ ක්‍රමවේදයටම ඇස්තමේන්තු සකස් කළ විට මාතර සිට බෙලිඅත්ත කොටස සඳහා ලැබිය යුතු සැබෑ පිරිවැයට ඉදිකිරීම් කොන්ත්‍රාත්කරු විසින් 40% ක් එකතු කර ඇති බවත් ඒ අනුව එම මාර්ග කොටස ඉදිකිරීම සඳහා සැබෑ ලෙසම වියදම් වන්නේ රුපියල් බිලියන 103 ක් නොව රුපියල් බිලියන 89.9 ක් බවත් සමාලෝචන වාර්තාවේ පෙන්වා දී තිබේ.

තාක්ෂණික කමිටුව වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ සමස්ත මාර්ගය ඉදිකිරීමේ වියදම රුපියල් බිලියන 123 කින් අඩු කරගත හැකි බවය.

බිලියන 123 ක ටෙන්ඩර් මගඩියක් :

එම්.බී.එස්. ප්‍රනාන්දු මහතාගේ තාක්ෂණික කමිටුව ලබා දුන් වාර්තාව සැලකිල්ලට ගනිමින් දූෂිත කොන්ත්‍රාත්තුව අවලංගු කර පාරදෘශ්‍ය ටෙන්ඩර් ක්‍රියාවලියක් අනුගමනය කළ යුතු වුවත් ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව පසුගිය රජය විසින් ඇස්තමේන්තු කොට තිබූ මුදලටම එම සමාගම වෙත පිරිනැමීමට වත්මන් ආණ්ඩුව ද කටයුතු කර ඇත.

මේ නිසා රුපියල් බිලියන 123 ක ටෙන්ඩර් මගඩියක් සිදු වන බව දූෂණ විරෝධී පෙරමුණ අවධාරණය කර ඇත.

මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා යටතේ දැන් සමස්ත මාර්ගයේ ඉදිකිරීම් පිරිවැය නැවත ඇස්තමේන්තු කිරීම අරඹා ඇති අතර නව ඇස්තමේන්තු මත ඉදිකිරීම් පැරණි කොන්ත්‍රාත්කරුවන්ටම පැවරීමට නියමිතය.

තිබුනටත් වඩා වැඩි මිලකට :

එසේ කොන්ත්‍රාත්තුව ලබාදිය යුතුව ඇත්තේ සංශෝධිත අඩු පිරිවැයකට වුවත් කොන්ත්‍රාත්තුව ලබා දීමට සැලසුම් කර ඇත්තේ මුල් ඇස්තමේන්තුවටත් වඩා අධික පිරිවැයකටය.

ඒ අනුව මාතර-බෙලිඅත්ත මාර්ග කොටසේ පිරිවැය පමණක් රුපියල් බිලියන 103.28 සිට රුපියල් බිලියන 122.5 කට ඉහළ දමා ඇත.

බෙලිඅත්ත-වැටිය මාර්ග කොටස රුපියල් බිලියන 66.83 කටත් වැටියේ සිට අන්දරවැව මාර්ග කොටස රුපියල් බිලියන 39.97 කටත් ඉහළ දැමීමට නිර්දේශිතය.

අවසන් කොටස මේ වන විටත් තක්සේරු කරමින් සිටින බව දැනගන්නට ඇත. මේ තත්ත්වය හමුවේ මහාමාර්ග අමාත්‍යාංශයේ මහජන මුදල් අවභාවිතය වහාම නතර කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස දූෂණ විරෝධී පෙරමුණ ජනාධිපතිවරයාට බලකර සිටී.
(දයා නෙත්තසිංහ)

Related posts

වැටලීමකට ගිය කොස්තාපල් අතුරුදන්

Admin

නිල රාජ්‍ය සංචාරයකට චීන විදේශ කටයුතු ඇමැතිත් ජුනි මාසයේදී මෙරටට

colombotoday

ජපානයේ භූ කම්පනයක්

Admin

Online ඔස්සේ රැඳවියන්ට ඥාතීන් හමුවීමට අවස්ථාව

colombotoday

රටේ යුධබිය තුරන් කර ඔබ සියළු දෙනාට ආරක්ෂාව ලබා දීමේ ආත්ම තෘප්තිය මාහට ඉතිරිව ඇත.. ඔබට හදවතින්ම ස්තූතියි

colombotoday

මිළ කල නොහැකි ශ්‍රී ලංකාවේ පුරා වස්තු තොගයක් ඇමරිකාව හොරෙන් උස්සලා !

colombotoday