Colombo Today Local News

ජනපති අනින් බැඳුම්කර බෑණාගේ සමාගම තාවකාලිකව අත්හිටුවයි !

මහත් ආන්දෝලනයකට තුඩුදුන් බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ පර්පෙචුවල් ට්‍රෙෂරීස් (Perpetual Treasuries) සමාගමට අයත් ගිණුම් සියල්ල තාවකාලිකව අත්හිටුවීමට ආණ්ඩුව තීන්දු කර ඇතැයි ජනාධිපති කාර්යාල ප්‍රකාශකයෙකු පැවසීය.

මෙම තීරණය ගෙන තිබෙන්නේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් සිදු නොකරන බවට ආණ්ඩුව වෙත දිගින් දිගටම එල්ල වන චෝදනා පදනම් කරගෙන රජයේ වගකිවයුතු නිලධාරීන් ඇතුළුව මූල්‍ය උපදේශකවරුන් සමඟ දීර්ඝ වශයෙන් සිදු කළ සාකච්ඡාවලින් අනතුරුව ලබා දුන් වාර්තාවක් සැලකිල්ලට ගැනීමෙනි.

මේ වන විටත් අදාළ තීන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේද පිළිබඳ දැනුවත් කිරීමක් කඩිනමින් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා විසින් මහ බැංකු අධිපතිවරයා වෙත දැනුම් දී ඇති බව ද ජනාධිපති ලේකම් කාර්යාල ප්‍රකාශකයා පැවසීය.

වැඩිදුරටත් ජනාධිපති ලේකම් කාර්යාල ප්‍රකාශකයා පැවසූ ලෙස අග්‍රාමාත්‍යවරයා සිය විදේශ සංචාරය නිම කර මෙරටට පැමිණි වහා මූල්‍ය උපදේශකවරුන් විසින් ලබා දුන් වාර්තාවට අනුව කටයුතු කිරීමට නියමිතව ඇත.

එසේම බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව ආණ්ඩුව අභ්‍යන්තරයේ ද මත දෙකක් තිබීමත් අදාළ ගනුදෙනුව සම්බන්ධව සිදු කළ කෝප් කමිටු විමර්ශනය ද විවාදාත්මක වීමත් යන කාරණා ද මෙම තීරණය ගැනීමට හේතු වී ඇති බව වාර්තා වෙයි.

අප ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙන ආකාරයට බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ විධිමත් විමර්ශනයක් සිදු කිරීම සම්බන්ධව පැවැති සාකච්ඡාවල දී මූලික වශයෙන් විශේෂ ජනාධිපති විමර්ශන කොමිසමක් හෝ කමිටුවක් හරහා කඩිනමින් එය සිදු කළ යුතු බවට යෝජනා වී ඇති අතර ඊට ආණ්ඩුව නියෝජනය කරන පාර්ශ්වවල ද එකඟතාව පළව ඇත. එම විමර්ශන කටයුතු දවසක් එන තෙක් පර්පෙචුවල් ටෙෂරීස් සමාගමේ ගිණුම් අත්හිටුවීමට යෝජනා වී ඇත්තේ ද ඉහත සාකච්ඡාවල දී මතු වූ කරුණු සැලකිල්ලට ගනිමින්ය.

එසේම අදාළ විමර්ශනය සිදු කිරීමේ දී බැඳුම්කර මිලදී ගත් ප්‍රාථමික ගැනුම්කරුවා වන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම හැර ද්විතීයික ගැනුම්කරුවන් වෙත කිසිදු බලපෑමක් සිදු නොවිය යුතු බව ද එම සාකච්ඡාවල දී අවධාරණය වී ඇත. එසේම සිදු කරන විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කළ යුතු බවත් එසේ නොවුනහොත් බැඳුම්කර වෙළෙඳපොළ මෙන්ම කොටස් වෙළෙඳපොළ ද බරපතළ අවදානමකට ලක් විය හැකි බවත් එනිසා එම අවදානම් සියල්ල පිළිබඳ මනා අවධානයකින් යුතුව විමර්ශන සිදු කළ යුතු බවත් එම සාකච්ඡාවන්ට සහභාගී වූ පාර්ශ්ව පෙන්වා දී ඇත.

තව ද පසුගිය දා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණය ශක්තිමත් කිරීම පිළිබඳ ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡාවේ දී ද බැඳුම්කර ගනුදෙනුවට අදාළව ආණ්ඩුවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර ඇති අතර ඊට එක් වූ මන්ත්‍රීවරුන් ද අවධාරණය කර ඇත්තේ අග්‍රාමාත්‍යවරයාව ද සම්බන්ධ කර එල්ල වී ඇති එම චෝදනා ආණ්ඩුවට එරෙහිව බරපතළ අවියක් කරගෙන ඇති තත්ත්වය වළකා ගන්නට තමන්ට ද අවශ්‍ය බවය. ඒ වෙනුවෙන් විධිමත් පරීක්ෂණයක් කඩිනමින් පැවැත්වීම අත්‍යාවශ්‍ය වන බවත් ඊට තමන් ද එකඟ බවත් ඔවුන් සපයා ඇත.

මේ පිළිබඳ අප කළ විමසුමක දී මූල්‍ය විශ්ලේෂකයන් සඳහන් කර සිටියේ අදාළ බැඳුම්කර ගනුදෙනුව රාජ්‍ය භාණ්ඩාගාරය වෙනුවෙන් මහ බැංකුව සිදු කළ නෛතික ගනුදෙනුවක් නිසා කුමන විමර්ශනයක් සිදු කළත් එය ඉතා ප්‍රවේශම් සහිතව සිදු කිරීම අත්‍යවශ්‍ය වන බවය. එසේ නොවුණහොත් එය මෙරට මූල්‍ය වෙළෙඳපොළේ ආයෝජනය කර සිටින පාර්ශ්ව මෙන්ම ඉදිරියේ දී ආයෝජනය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින ආයෝජකයන් වෙත සෘණාත්මක උත්තේජනයක් සපයනු ඇති බවය.

– සංජය ලියනගේ
Sathhada

Related posts

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය

colombotoday

රේන්දපොළ අඹේවෙල ලෝකාන්තය මාර්ගය නායයයි

Admin

මැදවච්චිය වන විනාශය උග්‍ර වෙයි. අඩවි වන කාර්යාලයෙනුත් සහය

colombotoday

ලංකාවේ උද්ධමනය සියයට 106 දක්වා ඉහළට

Admin

ස්විස් තානාපති නිලධාරිනිය පැහැරගැනීමේ නාටකය අවසන් අධියරේ. තානාපති කාර්යාලය පොලීසියට අසත්‍ය තොරතුරු ලබා දීලා.

colombotoday

ජනපතිගේ නත්තල් දින පණිවුඩය

colombotoday