Colombo Today Local News

රටේ භෞමික අඛන්ඩතාව ස්වාධීනත්වය අනතුරේ හෙළන යෝජනාවන් ප්‍රතික්ෂේප කළ යුතුයි. 13 එපා – ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගෙන් ජනපති අතට ම ලිපියක්

රටේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාව හා ජාතික ආරක්ෂාව පිළිබඳ බරපතළ ගැටලු නිර්මාණය කරන 13 වන ව්‍යවස්ථා සංශෝධනය කිසිසේත් බලාත්මක නොකළ යුතු බව ත්‍රෛනිකායික මහා සංඝරත්නය ජනපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කරති.

දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කර ඉඩම් හා පොලිස් බලතල ඇතුළු බලතල පළාත් සභා වෙත ලබා දීම රාජ්‍යයේ පාලනය ව්‍යාකූල කිරීමට හේතු වන බව ද උන්වහන්සේලා පවසති.

මල්වතු පාර්ශයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන, ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ මහනායක අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහ නායක අතිපූජ්‍ය මකුලෑවේ විමල යන මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා සිය අත්සනින් යුතුව මෙම ලිපිය නිකුත් කර තිබේ.

ජනපති රනිල් වික්‍රමසිංහ අද (2)දින මල්වතු අස්ගිරි මහා විහාරවලට ගොස් මහ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේ උන්වහන්සේලා මෙම ලිපිය ජනාධිපතිවරයාට ලබා දී ඇත.

ත්‍රෛනිකායික මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ජනපතිවරයා වෙත යොමුකළ ලිපියේ මෙසේ ද සඳහන් වෙයි.

“දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට විධායකය ලෙස ඔබ තුමන් කටයුතු කරන බවට සිදුකළ ප්‍රකාශය රට තුළ දැඩි ව්‍යාකූලත්වයක් නිර්මාණය කිරීමට හේතුවී ඇත. ඉඩම් හා පොලිස් බලතල පෞරාණික ඓතිහාසික ස්මාරක වාර්තා හා ආගමික සමිති නියාමනය ඇතුළු බලතල ක්‍රියාත්මක කිරීමට පළාත් සභා වෙත බලය ලබා දීම රට තුළ බෙදුම්වාදය තව දුරටත් ක්‍රියාත්මක කිරීමට ඉඩ ප්‍රස්ථාව විවර කරන්නකි.

මීට පෙරද ධූරය දැරූ විධායක ජනපතිවරු විසින් 13 වන ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීමෙන් වැළකී සිටියේ රට තුළ ඇතිවිය හැකි ව්‍යාකූලත්වයන් හා එහි අනර්ථකාරී බව අවබෝධ කරගත් නිසා ද බව ඔබ තුමන් ද මනාව දන්නා කරුණකි. ජනතා පරාමාධිපත්‍යය ආරක්ෂා කිරීමේ වගකීමෙන් බැඳී සිටින විධායක ජනාධිපතිවරයා මධ්‍යම රජයේ ස්වාධීපත්‍ය බිඳ වැටීමට හේතුවන මෙවැනි ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම දැඩි මහජන අප්‍රසාදයට හේතු වේ.

රට තුළ පවත්නා ආර්ථික අර්බුදය හමුවේ කලාපීය හා ගෝලීය බලවතුන්ගේ සහයෝගය ලබා ගැනීම උදෙසා යම් කොන්දේසි සඳහා එකඟ වීමට බලපෑම් එල්ල වුව ද රටේ භෞමික අඛන්ඩතාව ස්වාධීනත්වය අනතුරේ හෙළන මෙවැනි යෝජනාවන් ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කළ යුතු බව මහා සංඝරත්නය ලෙස අප අවධාරණය කර සිටිමු.

නිදහසින් 75 වන අභිමාන්වත් සංවත්සරය සමරණ අප ශ්‍රී ලාංකිකයින් ලෙස ජාති, ආගම් භේදයෙන් තොරව රටේ සුරක්ෂාවත් සමෘද්ධියත් උදෙසා කැප වූ ආකාරය පෙන්වා දෙන සාක්ෂි අප ඉතිහාසය තුළ බොහෝ ය.

දශක තුනකට අධික කාලයක් මෙරටහි අපි දැඩි අමිහිර අත්දැකීම් රාශියකට මුහුණ දී ඇත්තෙමු. එහි ඍජු බලපෑමට ලක්වූ උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය කොට ජන ජීවිතය සුඛිත මුදිත කිරීමට රජය යුහුසුළුව කටයුතු කළ යුතුව පවතී.

මධ්‍යම රජයේ වගකවයුතු කැබිනට් ඇමති තුනතුරු දරමින් එම පළාත් වලින් පත්වන දේශපාලන නායකයින්ට ප්‍රදේශයේ සංවර්ධනය උදෙසා මෙන් ම ජනතා අභිවෘද්ධිය උදෙසා සුවිසල් කාර්යභාරයක් සිදු කිරීමට ඉඩ ප්‍රස්ථාව පවතින බව අපි හොඳාකාරව ම දනිමු.”

Related posts

පසුගිය මාස හතට රාජ්‍ය ණය ප්‍රමාණය කෝටි 87870 කින් ඉහළ නගී

colombotoday

අස්වැසුම වැඩසටහන හරහා සමෘද්ධි ප්‍රතිලාභය අහිමිවූවන්ට අභියාචනා ඉදිරිපත් කළ හැකියි.

Admin

ඉන්ධන රැස් කර වැඩි මිලට අලෙවි කළ තවත් අයෙක් අරණායකදී අත්අඩංගුවට

colombotoday

මහනුවර දිගන පොලව සෙලවේ

colombotoday

ගොවීන්ට කොම්පෝස්ට් පොහොර නොමිලේ

colombotoday

ජිවිත තුනක් අළුකළ කටුගස්තොට නිවසට ගිනිතැබුවේ කව්ද? පිළිස්නු මව හෙළිකරයි

colombotoday