Colombo Today Local News

ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 87% ක් ලෙඩ්ඩු

parliment

හාල් මැස්‌සෙක්‌ වගේ කෙසඟව පාර්ලිමේන්තුවට යන මහජන නියෝජිතයන් ටික දවසකින් තල්මසුන් මෙන් තරබාරු වන බව ඡන්දදායකයෝ පවසති. මේ වෙනසට ඇති රහස කුමක්‌දැයි කියා සොයාබැලීමේදී අනාවරණය වී ඇත්තේ මහජන නියෝජිතයකු ලෙස තේරී පත්වී පාර්ලිමේන්තුවට යන පුද්ගලයනට හිමිව ඇති වරප්‍රසාද නිසා බොහෝ දෙනා පාලනයකින් තොරව ආහාර පාන ගැනීම, ව්‍යායාමවල නොයෙදීම, ඇඟ වෙහෙස කිරීම අවම ලෙස සිදු කිරීම බවය.

ශ්‍රී ලංකාවේ වත්මන් පාර්ලිමේන්තුවේ සිටින මහජන නියෝජිතයන් 225 දෙනා පිළිබඳව සිදුකර ඇති වෛද්‍ය පරීක්‌ෂණ අනුව ඔවුනගෙන් 87% ක්‌ම උසට සරිලන ප්‍රමාණයට වඩා ශරීර බරින් වැඩිබවය. එනම් ස්‌ථුල තාවයෙන් පෙළෙති.

එසේම වත්මත් පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන්ගෙන් හරි අඩක්‌ බෝනොවන රෝග වලට ගොදුරුව සිටිති.

එනම් දියවැඩියාව, අධි රුධිර පීඩනය, කොලෙස්‌ටරෝල්, හෝමෝන අසමතුලිතතා රෝග සහ ගැස්‌ට්‍රයිටීස්‌ යන රෝගවලින් පෙළෙති.

උසට සරිලන බර යනු තම ශරීරයේ උස සෙන්ටි මීටර්වලින් මැන එම අගයෙන් සියයක්‌ අඩු කළ විට ලැබෙන අගය එම පුද්ගලයාගේ තිබිය යුතු උසට සරිලන බරය. නිදසුනක්‌ ලෙස දක්‌වතොත් සෙන්ටිමීටර් 150 ක්‌ උස අයකුගේ තිබිය යුතු බර වනුයේ කිලෝ ග්‍රෑම් 50 කි.

තරබාරුවෙන් පෙළෙන බව පවසන්නේ උසට සරිලන බරට වඩා කිලෝග්‍රෑම් 10 ට වැඩි බරක්‌ ඇති විටදීය. එවැනි පුද්ගලයන් ආහාර පාලනය සහ ව්‍යායාමවල යෙදීමෙන් එම වැඩි බර ප්‍රමාණය අඩු කරගත යුතුය.

වර්තමාන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිටින මැති ඇමැතිවරුන්ගෙන් බහුතරයගේ ශරීර බර සාමාන්‍ය ශරීර බරට වඩා කිලෝග්‍රෑම් 10 ට වැඩිය. එනිසා ඔවුන් ආහාර පාලනයට සහ ව්‍යායාමවල යෙදීමට අවධානය යොමු කළ යුතුය.

පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුනට ලැබෙන්නේ සුඛෝපභෝගී ආහාර වේලකි. මෙම ආහාර අධීක්‌ෂණය කිරීම සඳහා ආහාර පෝෂණය පිළිබඳ නිපුණ සූපවේදියෙක්‌ නොමැත. එබැවින් පෝෂණය පිළිබඳ උගත්කමක්‌ ඇති සූපවේදියෙකුගේ අධීක්‌ෂණය යටතේ මැති ඇමැතිවරුනට ආහාර පාන සපයන්නේ නම් ඔවුනගේ ශරීර සෞඛ්‍ය යහපත් කළ හැකිය.

වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන කාන්තා මන්ත්‍රීවරියන් සහ ඇමැතිවරියන් අතර හෝමෝන අසමතුලිතතා පවතී. ඊට ප්‍රධානම හේතුව වී ඇත්තේ ඔවුන්ගේ අවිවේකීබව සහ ස්‌ථුලතාවයයි. එනිසා සෑම මන්ත්‍රීවරියක්‌ සහ ඇමැතිවරියක්‌ම තම ශරීර බර පාලනයට සහ දිනකට පැයක පමණ හෝ කාලසීමාවක්‌ විවේකීව ගත කීරීමට අවධානය යොමු කළ යුතුය.

පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමැතිවරුන්ගෙන් බහුතරයකට ගැස්‌ට්‍රයිටීස්‌ රෝගය මතුවීමට ප්‍රධානම හේතුව වී ඇත්තේ ඔවුන් නිසි වේලාවට ආහාර පාන නොගැනීමය. එනිසා ප්‍රධාන ආහාර වේලක්‌ මගහැරෙන විට ඒ වෙනුවෙන් පෝෂ්‍ය ගුණයෙන් යුත් කෙටි ආහාර වේලක්‌ හෝ ගැනීමට අවධානය යොමු කළ යුතුය.

එසේ නොවුණහොත් ඔවුන්ගේ අපේක්‌ෂිත ආයු කාලය කෙටිවීමත් රෝගාබාධවලින් පෙළීම නිසා නිසි ලෙස මහජන සේවයේ යෙදීමට නොහැකිවීමත් නිසා මහජනතාව බලාපොරොත්තු වන රට සංවර්ධනය ඔවුන් අතින් ඉටු නොවනු ඇත. ඉන් අපේක්‌ෂා භංගත්වයට පත්වන ජනතාව ඊළඟ මැතිවරණයේදී ඔවුනට නිසි දඬුවම් ලබාදෙනු නිසැකය.

එංගලන්තයේ රාජකීය ක්‍රීඩා වෛද්‍ය විද්‍යායතනයේ ක්‍රීඩා සහ චාලක විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය අසංග විජයරත්න මහතා ලබාදුන් තොරතුරු ඇසුරින් මෙම ලිපිය සකස්‌කර ඇත.

උපාලි ද සේරම්

Related posts

මියගිය ව්‍යාපාරිකයෙකුගේ සොහොනට පොලිස් ආරක්ෂාව | බිරිඳ සහ සේවකයා අත්අඩංගුවේ

colombotoday

දැන් සතුටුද කියා මගෙන් අහනවා… නෑ මම සතුටු නෑ – ප්‍රතිසංවිධානය ගැන සජිත් කියයි

colombotoday

යුරෝපා මත්ස්‍ය තහනම ඉවතට

colombotoday

මුස්ලිම් මන්ත්‍රීවරු මහින්ද හමුවෙති. “අමාත්‍යධූරවලින් ඉවත්වීම කිසිසේත් අනුමත කරන්නේ නෑ” – මහින්ද කියයි

colombotoday

අභ්‍යන්තර ගුවන් ගමන් සදහා දේශීය සමාගම් දෙකකට අවසර…

colombotoday

උප්පැන්න සහතිකය භාෂා තුනෙන්ම නිකුත් කෙරේ…

colombotoday