Colombo Today Local News

සහරාන් ඇතුළු කණ්ඩායම අප්‍රේල් 20 කර තිබු පෙර පුහුණුවක් පිළිබඳ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂක දැන ඉදලා

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ලද පෙර බුද්ධි තොරතුරුවල ප්‍රහාරය එල්ල විය හැකි නිශ්චිත දිනයක් සටන් නොවු බව වගකිව යුතු බලධාරින් මෙපමණ කල් සඳහන් කළද, අප්‍රේල් 21 වන දින ප්‍රහාරයක් එල්ල විය හැකියැයි රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකවරයා පෙරදින නිශ්චිත තොරතුරක් ලබා දී ඇති බව ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (11)දින අනාවරණය විය.

ඒ, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ දින පැය 9කට ආසන්න කාලයක් සාක්ෂි ලබා දුන් අවස්ථාවේ දී.

කෙසේ වෙතත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කොමිසම හම්වේ සාක්ෂිදෙමින් සඳහන් කළේ, ප්‍රහාරයට පෙර දින නිශ්චිත තොරතුරක් ලැබුණද, ඊට පෙර බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් ලද ලිපි “නිශ්චිත නොවු දියාරු තොරතුරු ” බවයි.

ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා සඳහන් කළේ, පාස්කු ප්‍රහාරයට පෙර දින එනම් අප්‍රේල් 20 වන දින 17:47 පැයට එවකට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි රවි සෙනෙවිරත්න මහතාගෙන් තමන්ට දුරකථන ඇමතුමක් ලැබුණු බවයි.

“සර්, හෙට පාස්කු ඉරිදා, සමහර විට හෙට පල්ලිවලට ප්‍රහාරයක් එල්ල වෙන්න පුළුවන්. ඒ නිසා ආරක්ෂාව වැඩි කරන්න” යන පණිවිඩය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ලබා දුන් බව නන්දන මුණසිංහ මහතා සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, එම ඇමතුමට පිළිතුර ලෙස තමන් “ආරක්ෂාව වැඩිකිරීමට පියවර ගන්නම්” යනුවෙන් සඳහන් කළ බවයි.

කෙසේ වෙතත් එම ඇමතුම විසන්ධි වනවාත් සමඟම රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාගෙන් තමන්ට ඇමතුමක් ලැබුණු බවද නන්දන මුණසිංහ මහතා ජනාධිපති කොමිසමට පැහැදිලි කර තිබේ.

“සර්, පෙර බුද්ධි තොරතුරේ සටහන් විදිහටම, ඉතාම විශ්වාසදායක තොරතුරක් ලැබිලා තියෙනවා, හෙට අප්‍රේල් 21 පල්ලිවලට සහ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයට ප්‍රහාරයක් එල්ලවෙන්න පුළුවන් කියලා. ආරක්ෂාව සපයන්න” යනුවෙන් එම ඇමතුමෙන් තමන් දැනුවත් කළ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අනාවරණය කළේය.

එසේම මෙම නිශ්චිත බුද්ධි තොරතුර පිළිබඳව තමන් දැනුවත් කරන ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාට උපදෙස් දී තිබුණේ, එවකට පොලිස්පතිවරයාව සිටී පූජිත් ජයසුන්දර මහතා බවත්, එම තොරතුර පිළිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ කාර්යය බලකාය දැනුවත් කරන ලෙස පොලිස්පතිවරයා නිලන්ත ජයවර්ධන මහතාට දැනුම් දී තිබු බවත් මුණසිංහ මහතා ජනාධිපති කොමිසම හමුවේ කියා සිටියේය.

කෙසේ වෙතත් එම තොරතුර තුළ නිශ්චිතභාවයක් ගැබ්ව තිබු බැවින් එය තහවුරු කර ගැනීම සඳහා තමන් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයාගෙන් වැඩිදුර තොරතුරු විමසු බවද මුණසිංහ මහතා පැවසුවේය.

ඒ අනුව මෙම ඇමතුම ලද ත්‍රස්ත ප්‍රහාරය සිදුකිරීමට පෙර දිනය වු අප්‍රේල් 20දින වන විටත් සහරාන් හෂිම් ඇතුළු කණ්ඩායම විසින් කර තිබු පෙර පුහුණුවක් පිළිබඳ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා දැන සිටි බවත්, ඒ ඔස්සේ හෙට දින ප්‍රහාරයක් සිදුවිය හැකිය යන නිශ්චිත තොරතුර ලබාදුන් බවත් මුණසිංහ මහතා අනාවරණය කළේය.

මෙහිදි ජනාධිපති කොමිසම නන්දන මුණසිංහ මහතාගෙන් ප්‍රශ්න කළේ, ප්‍රහාරයක් පිළිබඳ මෙවැනි නිශ්චිත තොරතුරක් ලැබි තිබිය දී ඔබ ගත් පියවර මොනවාද යන්නයි.

එයට පිළිතුරු දෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ, තමන් යටතේ සිටි බස්නාහිර පළාතේ පොලිස් දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් 04 දෙනා මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට තමන් පියවර ගත් අතර, තම බලප්‍රදේශයේ වැඩිම කතෝලික පල්ලි ගණනක් ඇති මීගමුව කොට්ඨාසය භාර නිලධාරියාටද පල්ලිවල ආරක්ෂාව තර කරන ලෙස විශේෂයෙන් උපදෙස් දුන් බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කාදිනල් හිමිපාණන් දැනුවත් කිරීමට පියවර නොගත්තේ මන්දැයි යනුවෙන් කොමිසම නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් මුණසිංහ මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීම තම වගකීමක් නොවන අතර තමාට ඉහළින් සිටි පුද්ගලයින් ඒ සම්බන්ධයෙන් කාදිනල් හිමිපාණන් දැනුවත් කර පාස්කු ඉරුදින දේවමෙහෙයන් අවලංගු කිරීමට පියවරගත යුතුව තිබු බවයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගෙන් ජනාධිපති කොමිසම කළ පැය 09කට ආසන්න සාක්ෂි විමසීම ඊයේ රාත්‍රී 7.00 ට පමණ අවසන් වු අතර ඉන් අනතුරුව එවකට පොලිස් රථවාහන හා මාර්ග ආරක්ෂන දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේය.

එහි දී සිය සාක්ෂි ලබාදෙමින් අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ඉකුත් වසරේ අප්‍රේල් 10,11 සහ 12 යන තෙදින තුළ කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා නිවාඩු ගොස් සිටි බැවින් තමන් ඔහු වෙනුවෙන් රාජකාරි ආවරණය කළ බවයි.

ඒ අනුව සහරාන් ඇතුළු පිරිසක් ප්‍රසිද්ධ කතෝලික පල්ලිවලට සහ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට ප්‍රහාරයක් එල්ල කළ හැකි බවට වු තොරතුරක් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට ලැබුනේ එම වසරේ අප්‍රේල් මස 11 දින පස්වරුවේ බවද ඔහු පැවසුවේය.

කෙසේ වෙතත් එහි සඳහන් තොරතුරු වැදගත් බව හැගී ගිය නිසාම තම සටහනක් ද යොදා තාමාගේ පහළ නිලධාරින් වු කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්ට මෙම තොරතුර යොමු කළ බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

කෙසේ වෙතත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ, මෙම ලිපිය බුද්ධි තොරතුරක් ලෙස බොහෝ දෙනා අර්ථකථන කළද, එහි තිබු තොරතුරු දියාරු කිරීම නිසාම එය බුද්ධි තොරතුරක් ලෙස තමන් නොදකින බවයි.

මෙම ලිපියේ ප්‍රහාරයක් සිදුවිය හැකි බව සහ සැකකටයුතු පුද්ගලයින්ගේ නම් කිහිපයක් සඳහන්ව තිබුණ ද, එහි පහළ දක්වා ඇති ” මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති බැවින් ” සහ ” තවදුරටත් රහසිගතව පරික්ෂණ කරන්න ” යන වාක්‍ය හරහා මෙම තොරතුරේ ඇති නිශ්චිතභාවය දියාරු කර ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැහැදිලි කළේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ පොලිස්පතිවරයා විසින් “For Necessary action” යන වචන යෙදීමෙන් පවා මෙම තොරතුරේ වටිනාකම දියාරු කර ඇති බවයි.

මෙම තොරතුරේ තිබු වටිනාකම පොලිස්පතිවරයාට පෙනීගියේ නම් ඔහු කළ යුතුව තිබුණේ, ත්‍රස්තවාදය පිළිබඳ විමර්ශනය කිරීමට විශේෂයෙන් පිහිටවු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට මෙය යොමු කිරීම බව පෙන්වා දුන් අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, එවකට පොලිස්පතිව සිටි පූජිත් ජයසුන්දර මහතා එවැනි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.

Related posts

BRAKING : බොදු බල සේනා සහ සිංහල රාවය කුරගල යයි

colombotoday

රාජපක්ෂලා වෙනුවෙන් පෙනී නොසිටීමට ඕනෑ තරම් හේතු තිබෙනවා – විමල්

colombotoday

FCID, CID මෙහෙයවන අදිසි හස්ථය ගැන ජනපතිගෙන් තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !

colombotoday

සැඟවී සිටි අපරාධ කරුවෙකු පොලිස් වෙඩි පහරින් මරුට

colombotoday

බද්දේගම, තිබිල්ල රක්ෂිතය අනවසරයෙන් එළිපෙහෙළි කළ ප්‍රා. සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

colombotoday

සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සභාපති සහ කොමසාරිස්වරු පත් කෙරෙති

Admin