Colombo Today Local News

විශ්වවිද්‍යාලවලින් බිහිවන උපාධිධාරීන් රැකියා වෙළඳපොලට ගැලපෙන්නේ නෑ… වසර 28කට පසු ජනපති අලුත් ඉසව්වකට අත තියයි !

වත්මන් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ප්‍රධානතම අභියෝගය කඩිනම් ආර්ථික සංවර්ධනයක් අත් කර ගැනීම බවත් පසුගිය කාලයේ අප මුහුණ දුන් ආරක්ෂාව සම්බන්ධ ගැටලු බොහොමයක් උද්ගත වූයේ වරප්‍රසාද රහිත ජන කොටස් ආර්ථික සූරාකෑමට ලක්වීම නිසා බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී.

ජාතිය, ආගම, භාෂාව හෝ ජීවත්වන ප්‍රදේශය නොසලකා සමාජයේ සියලු දෙනාට සම ආර්ථික ඉඩ ප්‍රස්තා සැලැසිය හැකිනම් මෙවන් භේද යලි ශ්‍රී ලංකාව තුළ මතු නොවනු ඇතැයි එතුමා විශ්වාසය පළකරයි.

තමා යෝජනා කර ඇති ජනතා කේන්ද්‍රීය ආකෘතිය මේ සාධකය සැලකිල්ලට ගෙන සකස් වූවකැයි තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති සංවාදයකදී ජනාධිපතිතුමා සඳහන් කළේය.

“ආර්ථික ප්‍රගතියේ ප්‍රතිලාභ සමාජයේ සියළු දෙනාට, විශේෂයෙන් දිළිඳු ප්‍රජාව වෙත ළඟා වන බවට අප විසින් සහතික කරගත යුතුයි. ඔවුන් දිළිඳු බවින් මුදාගෙන ආර්ථිකයේ සාධනීය දායකයන් බවට පත් කොට ඔවුන්ගේ ජීවන තත්ත්වය කඩිනම් හා තිරසාර ලෙස වර්ධනය කළ යුතුය” ජනාධිපතිතුමා පැවසීය. නවීන ඩිජිටල් යුගයේ අවශ්‍යතාවන්ට සරිලන පරිදි ඉහළ මට්ටමේ නිපුණතාවන්ගෙන් සන්නද්ධ පිරිසක් නිර්මාණය කළ යුතු බව පෙන්වා දුන් රාජපක්ෂ මැතිතුමා තාක්ෂණය පාදක කරගත් ආර්ථිකයක වඩා ප්‍රශස්ත රැකියා අවස්ථා සඳහා අවශ්‍ය නිපුණතා සංවර්ධනය ජනතාවට පහසු කිරීමේ අභියෝගය තම රජය භාරගෙන තිබෙන බවත් කීය.

“අපේ පාසල්, පුහුණු ආයතන හා විශ්වවිද්‍යාලවලින් බිහිවන ශ්‍රම බලකාය සහ රැකියා වෙළඳපොල ඉල්ලුම අතර ඇත්තේ සැලකිය යුතු නොගැලපීමක්. අද තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය මුහුණ දී සිටින පුහුණු ශ්‍රමිකයන්ගේ හිඟය එය පෙන්නුම් කරන එක් අවස්ථාවක්. එබැවින් අපේ අධ්‍යාපන පද්ධතියට ආවේණික ගැටලු සඳහා කෙටිකාලීන හා මධ්‍ය කාලීන විසඳුම් සෙවීම හදිසි අවශ්‍යතාවක්”, ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

රාජ්‍ය අංශයේ ගුණාත්මක පරිහානිය ගැන සඳහන් කළ ජනාධිපතිතුමා අනවශ්‍ය සීමා ලිහිල් කර හෝ ඉවත් කර බාධා විරහිත ආර්ථික ක්‍රියාකාරීත්වයට ඉවහල් වන පරිසරයක් නිර්මාණය කිරීම තම රජයේ ප්‍රමුඛතාවක් බවත් මේ අරමුණ කරා ළඟාවීම සඳහා නූතන තාක්ෂණය ආර්ථිකයට බද්ධ කළයුතු බවත් පෙන්වා දුන්නේ ය.

කතිකාවට එක් වූ තොරතුරු සන්නිවේදන තාක්ෂණ නිපුණතා කවුන්සිලයේ සභාපති චින්තක විජේවික්‍රම මහතා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය බෙහෙවින් ගතික අංශයක් බවත් වසර 28 කට පසු මේ ක්ෂේත්‍රය ආමන්ත්‍රණය කළ පළමු ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බවත් සඳහන් කළේය.

අපගේ මෘදුකාංග සඳහා ලොව පුරා ඉහළ ඉල්ලුමක් පවතින බව පෙන්වා දුන් කවුන්සිලයේ මහ ලේකම් ශාන්ත යාපා මහතා ක්ෂේත්‍රයේ දේශීය ප්‍රවර්ධනයට ප්‍රමුඛතාව දෙන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියේය.

Global Sourcing Association විසින් ශ්‍රී ලංකා මෘදුකාංග සහ සේවා සංගමයට පිරිනමන ලද ‟The Delivery Destination of the Year” සම්මානය සංගමයේ සභාපති රනිල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිතුමාට පිළිගන්වනු ලැබීය.

තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ නියෝජිතයෝ රැසක් සහ ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා ද කතිකාවට එක්ව සිටියහ.

Related posts

පළාත් 9ට සෞඛ්‍ය ප්‍රතිපත්ති 9ක්.. අලුත් ව්‍යවස්ථාවෙන් සෞඛ්‍ය සේවයත් අවුලෙන් අවුලට !

colombotoday

SB නපුංසකද ? නැද්ද ? බලන්න පරීක්ෂණයක්!

colombotoday

ජල ගාස්තුව සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්

colombotoday

කිරිඇල්ල 100දෙනකුට වාහන දීලා නිදහසේ ඉන්නවා – විමල් අසයි

colombotoday

නව ව්‍යවස්ථාව ගැන ඒකාබද්ධ විපක්ෂය මිරිහානේදී තීන්දුවක් ගනී !

colombotoday

මහින්දට අනතුරු ඇගවීමක් !!

colombotoday