Colombo Today Local News

විනිසුරුවන් ගැන මා කළ කතාව රටේ බහුතර ජනතාවගේම මතයයි – රාජ්‍ය ඇමැති රන්ජන් සාක්ෂි දෙමින් කියයි

අධිකරණ විනිසුරුවරුන් සම්බන්ධයෙන් 2017 අගෝස්තු 21 වැනිදා වැරදීමකින් කළ ප‍්‍රකාශයක් නිසා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ තමන්ට එරෙහිව නඩු පැවරූ බව තමා හොඳාකාරවම දැනගෙන සිටියදීත් අධිකරණ විනිසුරුවන් සම්බන්ධයෙන් තමා කළ ප‍්‍රකාශය හා මතය ඉවත් කර නොගන්නා බවට 2018.03.23 වැනිදා උපරිමාධිකරණය හමුවේදී තමා ප‍්‍රකාශ කළේ යැයි රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ඊයේ (28 දා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේදී සාක්ෂි දෙමින් ප‍්‍රකාශ කළේය.

අධිකරණය හොරුන් උත්තේජනය කරන බවට තමා 2018.03.23 වැනිදා ප‍්‍රකාශ කරනු ලැබුවේ හිටපු විනිසුරුවරුන් සම්බන්ධයෙන් නොව වර්තමාන විනිසුරුවරුන් සම්බන්ධයෙන් බවට දැනුවත්ව සිටියදී නොවේ දැයි සාක්ෂිකරුගෙන් විමසා සිටි විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා පසුව කළ එකී ප‍්‍රකාශය වැරදි බවට ප‍්‍රකාශයක් හෝ එම ප‍්‍රකාශය ඉල්ලා අස්කර ගැනීමක් සිදු නොකළ බව ද ප‍්‍රකාශ කළේය.

එකී ප‍්‍රකාශය මගින් විනිසුරුන් බහුතරයක් වශයෙන් සඳහන් කිරීමෙන් ගම්‍ය වනුයේ සියයට 50 කට වැඩි විනිසුරුවරුන් ප‍්‍රමාණයක් බව පිළිගන්නේ දැයි එහිදී විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන විත්තිකාර රංජන් රාමනායක මහතාගෙන් විමසා සිටි අතර විත්තිකරු ඒ බව පිළිගත්තේය.

2017 අගෝස්තු 21 වැනිදා අරලියගහ මන්දිරය අසලදී තමා මාධ්‍ය හමුවේ ප‍්‍රකාශයක් කරනා විට විනිසුරුවරුන් යන වචනය සිය මුවින් පිටවූ වහාම තමා එම වචනය නිවැරදි කිරීමට උත්සාහ කළ බවත් තමාට අවශ්‍ය වූයේ විනිසුරුවරුන් සම්බන්ධයෙන් නොව හිටපු අධිරණය ඇමැතිවරයාගේ කි‍්‍රයා කලාපය සම්බන්ධයෙන් පමණක් බවත් රන්ජන් රාමනායක මහතා එහිදී අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් ප‍්‍රකාශ කළේය.

විනිසුරුවන් සම්බන්ධයෙන් කළ ප‍්‍රකාශ තමා ඉල්ලා අස්කර ගනු නොලැබූයේ දැනුම් තේරුම් ඇති අවධියේ සිට හා දේශපාලනඥයකු වශයෙන් තමා ලබාගත් දැනුවත් භාවය අනුව එම ප‍්‍රකාශ අසත්‍යයක්ම නොවන බව අවබෝධ වූ නිසා වන්නේ යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා එහිදී සාක්ෂි දෙමින් ප‍්‍රකාශ කළේය. දණගසා වැඳීමට තරම් වූ ගෞරවයකින් කටයුතු කළ අධිකරණ විනිසුරුවරුන් සම්බන්ධයෙන් ද තමා මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කර ඇතත් මාධ්‍ය මගින් විකාශනය කර ඇත්තේ තමන් විනිසුරුවරුන් සම්බන්ධයෙන් කළ නරක ප‍්‍රකාශ මිස හොඳ ප‍්‍රකාශ නොවන්නේ යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා එහිදී ප‍්‍රකාශ කළේය.

සභාපති විනිසුරු සිසිර ද ආබෲ මහතා: ඔබ සඳහන් කළා හිටපු අගවිනිසුරුවරයකු ඇතුළු විනිසුරුවරුන්ගේ අයහපත් කි‍්‍රයා කලාප නිසා එවැනි ප‍්‍රකාශයක් කළ බව නමුත් ඔබ සඳහන් කරන ඒ අගවිනිසුරුවරයා විශ‍්‍රාම ගියේ 2009 වසරේදී විනිසුරුවරුන් ලෙස සඳහන් කිරීමෙන් අදහස් වන්නේ වර්තමාන විනිසුරුවරුන් ගැන නේද?

රන්ජන් රාමනායක මහතා: මා විනිසුරුවරුන් ගැන ප‍්‍රකාශ කළ දේ අසත්‍යයක් නොවෙයි කියලා මට හිතුනා. ඇත්ත වශයෙන්ම මා මගේ කතාවේදී විනිසුරුවරුන් සම්බන්ධයෙන් එදින මා අදහස් කළේ නෑ. ඒත් ඒක මගේ පමණක් අදහසක් නෙමෙයි රටේ බහුතර ජනතාවගේම මතය ඒක බවයි පෙනෙන්නේ. මාධ්‍ය මගින් ප‍්‍රචාරය කළේ මා සම්පූර්ණයෙන්ම ප‍්‍රකාශ කළ දේ නෙමෙයි. මා පිටතදී කළ සියලූ ප‍්‍රකාශවල සම්පූර්ණ වීඩියෝ දර්ශන මා ළඟ තිබෙනවා. අධිකරණයට ඒවා ඉදිරිපත් කරන්න පුළුවන්.

විනිසුරු විජිත් මලල්ගොඩ මහතා : එලෙස ඔබගේ ප‍්‍රකාශ සංස්කරණය කර විකාශනය කළ මාධ්‍ය ආයතනවලට එරෙහිව ඔබ එන්තරවාසි යැවීමක් හෝ්් නීතිමය පියවර 

ගැනීමක් සිදුකර තිබෙනවාද?

රන්ජන් රාමනායක මහතා: දුරකථන මගින් හා වාචිකව ඒ බව එම මාධ්‍ය ආයතනවලට දන්වා තිබෙනවා. නීතිමය පියවර ගන්නත් බලාපොරොත්තු වෙනවා.

එම නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 10 වැනිදා දක්වා කල්තැබීමට සිසිර ද ආබෲ, ප‍්‍රසන්න ජයවර්ධන හා විජිත මලල්ගොඩ යන විනිසුරු මඬුල්ල නියෝග කළේය.

Related posts

පොලිස්පති පූජිත, නව අගමැති මහින්දව හමුවෙයි…

colombotoday

ඔය තරම් දගලන්න ඕනද.. අරක්කු සිගරැට් නැතිකරන ලේසිම විදිහ මෙන්න – සිසුවෙක් ජනතිගේ මූණටම කියාදෙයි

colombotoday

හෝමාගම බස් රථයක් අනතුරකට

Admin

කෝප් කමිටුවේ සභාපතිකම ඇමතිවරුන්ට නෑ. මන්ත්‍රීවරුන්ට පමණයි. – ආණ්ඩුවෙන් දැඩි තීරණයක්

colombotoday

වෛද්‍ය සභාවේ පත්කිරීමට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන්නැයි පවිත්‍රා ඉල්ලයි

colombotoday

වාහනවල දෝෂ සොයා විශේෂ මෙහෙයුමක්

colombotoday