Colombo Today Local News

රාජකාරි වගකීම් පැහැර හැරලා – පූජිත්-හේමසිරි මිනී මැරීමට – අනුබල දීලා නීතිපති උසාවිය හමුවේ කියයි

මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල වන බවට බුද්ධි අංශ ලිඛිතව හා වාචිකව දැනුවත් කර තිබියදීත් ඒවා වළක්වා ගැනීමට හෝ අවම කර ගැනීමට ගතයුතු කිසිදු ක‍්‍රියාමාර්ගයක් නොගැනීම නිසා සිය ගණනකගේ ජීවිත හානි වූ බවත් තමන් වෙත පැවරී තිබූ රාජකාරිමය වගකීම් ප‍්‍රබල ලෙස පැහැර හැර ඇති සැකකාර හිටපු ආරක්ෂක ලේකම්වරයා හා පූජිත් ජයසුන්දර මහතා දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ ගැනෙන මිනීමැරීමේ වරද සිදුකර හා ඒ සඳහා ආධාර අනුබලදීමක් සිදුකර ඇතැයි නීතිපතිවරයා ඊයේ (03 දා) කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවියට පෙන්වා දුන්නේය. 

එම සැකකරුවන් දෙදෙනාට දණ්ඩ නීති සංග‍්‍රහයේ 296 වගන්තිය යටතේ ගැනෙන චෝදනා එනම් මනුෂ්‍ය ඝාතන සිදුකිරීමේ චෝදනා ගොනුකර ඇත්තේ කුමන නීතිමය පදනමක් මත දැයි මහෙස්ත‍්‍රාත්වරිය ඇසූ පැනයට පිළිතුරු දෙමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා එලෙස ප‍්‍රකාශ කළේය.

පුරා තිස්වසරක් තිස්සෙ රට තුළ පැවැති යුද්ධයේ අත්දැකීම් ඇති ජනතාවට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර අලූත් අත්දැකීමක් නොවන බවත් එවැනි අත්දැකීම් සහිත රටේ ආරක්ෂාව භාරව සිටිය ඉහළම නිලධාරීන් වන සැකකරුවන් තමන් වෙත රාජ්‍ය බුද්ධි අංශ විසින් අවස්ථා කිහිපයකදීම මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල විය හැකි බවට කළ අනතුරු ඇ`ගවීම් හා එවැනි බෝම්බ ප‍්‍රහාරවල බරපතළකම පිළිබඳව දැනුවත්ව සිටිය යුතුව තිබුණේ යැයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

මනුෂ්‍ය ඝාතන සිදුවන බවට දැනීමක් තිිබියදී හා ඒ බවට නිශ්චිතව තොරතුරු ලැබී තිබියදීත් එකී ඝාතන වළක්වා නොගැනීම මගින් එම සැකකරුවන් ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයේ 294 යටතේ විග‍්‍රහ කර ඇති අපරාධමය වැරදි සිදුකර ඇති බව මනාව පැහැදිලි වන්නේ යැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

සැකකරුවන් සිය රාජකාරිය නිසි ලෙස ඉටුකළේ නම් එකී ඝාතන ප‍්‍රහාර එල්ල කළ ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීීම් ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම කළ යුතුව තිබූ බවත් එය කළ නොහැකි නම් අවම වශයෙන් ප‍්‍රහාර එල්ල වන බවට තොරතුරු ලැබුණ ස්ථානවලින් ජනතාව ඉවත් කිරීමට හෝ පියවර ගත්තේ නම් ජනතාවගේ ජීවිත ආරක්ෂා කළ හැකිව තිබූ බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී පෙන්වා දුන්නේය.

ජනමාධ්‍ය මගින්, පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක මගින් හෝ වෙනත් සන්නිවේදනය ක‍්‍රමයක් අනුගමනය කරමින් ආගමික නායකයන්, ති‍්‍රවිධ හමුදා ප‍්‍රධානීන්, සංචාරක හෝටල් හා ජනතාව දැනුවත් කිරීම පහසුවෙන් කළ හැකිව තිබූ නමුත් සැකකරුවන් එවැනි ක‍්‍රියාදාමයක් හෝ අනුගමනය කර නොමැති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

p1 6

තමන් වෙත ලැබුණ එම බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් රටේ අගමැතිවරයා, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා, ති‍්‍රවිධ හමුදා, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානියා දැනුවත් කිරීමට පියවර නොගැනීම මගින් එම සැකකරුවන් ඔවුන්ගේ රාජකාරීමය වගකීම් ප‍්‍රබල ලෙස පැහැර හැර ඇති බවත් එයද ඉතාම බරපතළ වරදක් බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට පෙන්වා දුන්නේය.

එවැනි ප‍්‍රහාර එල්ල විය හැකි බවට රාජ්‍ය බුද්ධි අංශ මගින් දින කිහිපයක්ම දැනුම්දීම් කර ඇති බවත් එහිදී පෙන්වා දුන් තුසිත් මුදලිගේ මහතා කලින් ලබාදුන් එකී තොරතුරු පමණක් නොව එකී ප‍්‍රහාර එල්ල වූ දින උදෑසන බුද්ධි අංශ විසින් ලබාදුන් බුද්ධි තොරතුරු අනුව නිිිසියාකාරව ක‍්‍රියාත්මක නොවූ දෙවැනි සැකකාර පොලිස්පතිවරයා ක‍්‍රියාත්මක වී ඇත්තේ ප‍්‍රහාරවලින් පසුව බව සිදුකළ විමර්ශන අනුව හෙළිවී ඇතැයිද අධිකරණයට පෙන්වා දුන්නේය.

ජාතික තවුහිද් ජමාත් සංවිධානය විසින් එකී මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කිිරීමට දින කිහිපයකට පෙර එනම් 2019.4.16 වැනිදා රාත‍්‍රියේ කාත්තන්කුඩි ප‍්‍රදේශයේ බෝම්බ පිපිරීමක් සිදුකළ බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එකී බෝ්ම්බ පිපිරවීම ඉදිරියේදී සිදුවිය හැකි මරාගෙන මැරෙන ප‍්‍රහාරවල පෙරහුරුවක් බවටත් බුද්ධි අංශ එවකට පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ පූජිත් ජයසුන්දර මහතාට දැනුම්දී ඇතැයිද අධිකරණයට පෙන්වා දුන්නේය.

ත‍්‍රස්තවාදී කි‍්‍රයාවලට සම්බන්ධ බවට අනාවරණය වූ සැකකරුවන් 14 දෙනකුගේ නම් සඳහන් කරමින් ලබාදුන් බුද්ධි තොරතුරු සත්‍ය බව එකී 14 දෙනා අතරින් හයදෙනෙකුම අපේ‍්‍රල් 21 වැනිදා එල්ල වූ මරාගෙන මැරෙන ප‍්‍රහාරවලට සම්බන්ධ වීමෙන්ම පැහැදිලි වන බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.

යම් සැකකරුවකුට එවැනි බරපතළ චෝදනාවක් එල්ල කරන විට එම චෝදනා සනාථ කිරීමට ඉදිරිපත් වී ඇති සාක්ෂිවල සම්පිණ්ඩනයක් අධිකරණයට ඉදිරිපත් කළ යුතුව ඇති නමුත් පැමිණිල්ල ඒ අනුව කටයුතු කර නැතැයි සැකකරුවන් වෙනුවෙන් පෙසී සිටි ජනාධිපති නීතිඥ අනුජ පේ‍්‍රමරත්න මහතා ඊයේ කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේදී ප‍්‍රකාශ කළේය. අප රටේ රාජ්‍ය බුද්ධි අංශ පවතිනුයේ රටේ ආරක්ෂක ලේකම්වරයා යටතේ බවත් දෙවන සැකකාර පූජිත් ජයසුන්දර මහතාව පසුගිය ඔක්තෝබර් මස සිට ජාතික ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම්වලට හෝ කැඳවීමට පියවර ගෙන නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.

රාජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානියා විසින් සියලූ බුද්ධි තොරතුරු ජනාධිපතිවරයාට වාර්තා කරනා බවත් එහිදී පෙන්වා දුන් ජනාධිපති නීතිඥ අනුජ පේ‍්‍රමරත්න මහතා ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයේ 296 වගන්තිය යටතේ ගැනෙන චෝදනා සනාථ කිරීමට තරම් ප‍්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී නොමැති නිසා සැකකරුවන් ඇප මත මුදාහරින ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

Related posts

විජයගේ 36 වන ගුණසමරුව

Admin

හොරණ පාසලක ගුරුවරියකගේ අත්බෑගය පාසලේදී සොරකම් කරලා

Admin

වෙසක් වෙනකල් කසිප්පු ජාවාරම්කරුවන්ට පොලිස් උපදෙස්

colombotoday

සෝම හිමිගේ ජනවිජය පදනමෙන් හෙළ උරුමයට පණිවිඩයක් (Video)

colombotoday

නව ඇමෙරිකානු ජනපතිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් සුබ පැතුම්

colombotoday

‘‘වන්දවා ගත්තේ නෑ.. විදුහල්පති මට බලෙන්ම වැන්දා.. මං නඩු දානවා‘‘ – ඌව මහ ඇමති

colombotoday