Colombo Today Local News

මෛත්‍රී-මහින්ද දේශපාලන කුමන්ත්‍රණය පරාජය කිරීමට ඕනෑම යෝජනාවකට සහය දීමට ජවිපෙ සූදානම්

“මහින්ද රාජපක්ෂත්, මෛත්‍රීපාල සිරිසේනත් වරදාන, වරප‍්‍රසාද ලබාදෙමින්, කළු සල්ලි ලබාදෙමින් සිදු කරමින් තිබෙන කුමන්ත‍්‍රණය පරාජයට පත්කළ යුතුයි. එම නිසා ජනතා විමුක්ති පෙරමුණ ලැබෙන ඕනෑම අවස්ථාවකදී මෙම දේශපාලන කුමන්ත‍්‍රණය පරාජයට පත්කිරීම වෙනුවෙන් කටයුතු කරනවා.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පරෙමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති අද (05) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිණි.

“මහින්ද රාජපක්‍ෂත් මෛත්‍රීපාල සිරිසේනත් පෙන්නුම් කරමින් තිබෙන්නේ වරදාන, වරප‍්‍රසාද ලබාදී, කළු සල්ලි ලබාදී ආණ්ඩු හදන්න පුළුවන් කියලා. එම නිසා එම කුමන්ත‍්‍රණය පරාජය කළ යුතුයි. අපි කථානායකවරයාට කියනවා වහාම පාර්ලිමේන්තුව කැඳවන්න කියලා. මොකද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයක් පාර්ලිමේන්තුව කැඳවන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා තිබෙනවා. බලය ලබාගැනීමේ කුමන්ත‍්‍රණයේම කොටසක් වන පාර්ලිමේන්තුව කල් දැමීමේ කුමන්ත‍්‍රණය පරාජයට පත්කළ යුතුයි. කළු සල්ලිවලින් ආණ්ඩු හැදීමේ කුමන්ත‍්‍රණය පරාජයට පත්කළ යුතුයි. එම නිසා ජනතා විමුක්ති පෙරමුණ ලැබෙන ඕනෑම අවස්ථාවකදී මෙම දේශපාලන කුමන්ත‍්‍රණය පරාජයට පත්කිරීම වෙනුවෙන් කටයුතු කරනවා. පාර්ලිමේන්තුවේ මෙන්ම ඉන් පිටතදීත් මෙම දේශපාලන කුමන්ත‍්‍රණය පරාජයට පත්කළ යුතුයි. ඒ වෙනුවෙන් ලබන 09වැනිදා රටේ ප‍්‍රධාන නගර 04කදී ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත‍්‍රණ පවත්වනවා. 12වැනිදා කොළඹදී සිවිල් සංවිධාන, බුද්ධිමතුන්, වෘත්තිකයින් එක්කර ගනිමින් පුළුල් සාකච්ඡාවක් ආරම්භ කරනවා.

කතානායකවරයාට අපි කියනවා. පාර්ලිමේන්තුව කල් තැබීම පිළිගන්න එපා කියලා. මොකද, පාර්ලිමේන්තුව කල් තැබීම සම්බන්ධයෙන් කතානායකවරයා දැනුවත් කරලා නැහැ. ඒ වගේම නැවත කැඳවන දිනය නිශ්චිතව කතානායකවරයාට දන්වලා නැතිව තමයි ගැසට් නිවේදනය නිකුත් කරලා තිබෙන්නේ. මේ වනවිටත් කතානායකවරයා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා නව වෙනස්කම් නොපිළිගන්නා බවත් නැවත පාර්ලිමේන්තුව කැඳවන තෙක් තමන් පිළිගන්නේ පෙර පැවති තනතුරු බවත් කතානායකවරයා ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ කතානායකවරයාගේ මෙම තීරණය ඉතාම හොඳ ප‍්‍රබල තීරණයක් බව ප‍්‍රකාශ කරන අතර එවැනි තීරණයක් ගැනීම සම්බන්ධයෙන් කතානායකවරයාට ස්තුතිය පිරිනමනවා.

එමෙන්ම මෙම දේශපාලන කුමන්ත‍්‍රණය පාර්ලිමේන්තුව කැඳවූ පසුව ලැබෙන ඕනෑම අවස්ථාවකදී පරාජයට පත්කරනවා. ජනාධිපතිවරයා නව ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට පත් කරන අවස්ථාවේදී ඒ සඳහා ඡන්දයක් ඉල්ලා සිටීමට කටයුතු කරනවා. එමෙන්ම ව්‍යවස්ථාවට එරෙහිව පත්කරන ලද තනතුරු සම්බන්ධයෙන් විරෝධය පළ කිරීමේ ඡන්දයක් පැවැත්වුවහොත් ඒ වෙනුවෙන් ජවිපෙ සහාය පළ කරනවා. එමෙන්ම නව ආණ්ඩුව විසින් අයවැය ලේඛනයක් ඉදිරිපත් කළහොත් එය පරාජයට පත්කිරීමට කටයුතු කරනවා. මන්ද ඔවුන් විසින් ඉදිරිපත් කරන්නේ දිගු කාලීන ආර්ථික දැක්මක් සහිත අයවැය ලේඛනයක් නොවේ. තමන් විසින් කුමන්ත‍්‍රණයෙන් ලබාගත් බලය තහවුරු කරගැනීම වෙනුවෙන් ඉදිරිපත් කරන ආලවට්ටම් පමණයි. එම නිසා අපි කතානායකවරයාට නැවතත් කියන්නේ තමන්ගේ ස්ථාවරය මත පාර්ලිමේන්තුව කැඳවන ලෙසයි. ජවිපෙ මන්ත්‍රීවරු 06දෙනා මෙම දේශපාලන කුමන්ත‍්‍රණය පරාජයට පත්කිරීම වෙනුවෙන් කටයුතු කරනවා. එමෙන්ම අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා, මෙම දේශපාලන කුමන්ත‍්‍රණයට එරෙහිව කටයුතු කරන්න කියලා.

කුමන්ත‍්‍රණ මගින් බලය අත්කර ගන්නා සහ කළු සල්ලිවලින් ආණ්ඩු හදන මෙවැනි දේශපාලන සංස්කෘතියක් පරාජයට පත්කළ යුතුව තිබෙනවා. රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්‍ෂා කරගත යුතුව තිබෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමිවීම හේතුවෙන් විශාල ලෙස බැට කාපු දේශපාලන ව්‍යාපාරයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ. ඒ වගේම ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමි වීම නිසා විශාල ජීවිත ප‍්‍රමාණයක් අහිමිකරගත් දේශපාලන ව්‍යාපාරයක් අපි. එම නිසා රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එල්ල වන තර්ජනයන් පරාජයට පත්කොට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්‍ෂා කර ගැනීම වෙනුවෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නවා. ඒ වගේම ජනාධිපතිවරයාට හෝ තනි පුද්ගලයෙකුට එක රැයකින් ජනතාවගේ කිසිදු අනුමැතියකින් තොරව අපේ රටේ ආණ්ඩු හැදීමේ දේශපාලන සංස්කෘතිය පරාජයට පත්කළ යුතුයි. එවැනි උත්සාහයන් පාර්ලිමේන්තුවේදීත් පාර්ලිමේන්තුවෙන් පිටතදීත් පරාජයට පත්කරන්න අපි සූදානම්. එම දේශපාලන කුමන්ත‍්‍රණය පරාජය කිරීම වෙනුවෙන් ඉදිරිපත්වන ඕනෑම වර්ගයේ යෝජනාවක් වෙනුවෙන් සහාය පළ කිරීමටත් ජනතා විමුක්ති පෙරමුණ තීරණය කොට තිබෙනවා.” යනුවෙන් අනුර දිසානායක මහතා එහිදී සඳහන් කළේ ය.

“නිශ්චිතව කුමන පුද්ගලයා අගමැති විය යුතුද යන්න සම්බන්ධයෙන් ඡන්දයක් විමසනවා නම් අපි ඒ වෙනුවෙන් ඡන්දය භාවිත කරන්නේ නැහැ. නමුත් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී, ව්‍යවස්ථා විරෝධී ඕනෑම ක්‍රිරයාවලියක් පරාජයට පත්කරන්න අපි සූදානම්.” යැයිද එහිදී අනුර දිසානායක මහතා අවධාරණය කර සිටියේය.

Related posts

ත්‍රිකෝණමඩු විනාශයට දැඩි ක්‍රියාමර්ග ගන්නවා – මහින්ද අමරවීර

Admin

“ගිලෙන නැවකට ගොඩ වෙන්න මට පිස්සු නෑ…”

colombotoday

රබර් වගාව ආශ්‍රිත වල් පැළෑටි කඩදාසි නිෂ්පාදන වැඩපිළිවෙළක් අරඹයි

Admin

සමාජ මාධ්‍ය අවහිර කළේ ආණ්ඩුවේ විළි වහගන්නයි… දැවැන්ත ජනමත සංහාරයක් !!

colombotoday

වසරේම රාජ්‍ය වියදමට වඩා මුල් මාස හතරේ ණය අරන්

Admin

අගමැති විපක්ෂයෙන් විශේෂ ඉල්ලීමක් කරයි

Admin