Colombo Today Local News

මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ පෙත්සම් සලකා බැලීම සිව්වන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඇරඹෙයි

ජුනි මස 20 වන දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට්නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම අද(21)දින සිවු වන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ විය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් කැඳවනු ලැබීය.

එහිදී මැතිවරණ දිනය අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින ජනාධිපති ලේකම් පී .බී.ජයසුන්දර මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු ඉදිරිපත් කිරීම ආරම්භ කළේය.
ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දක්වමින් කියා සිටියේ මෙම පෙත්සම තුළ කිසිදු නීතිමය පදනමක් නොමැති බවත් එබැවින් එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කළ යුතු බවයි.

කොරෝනා වසංගතය බව පවසමින් දිගින් දිගටම මැතිවරණය කල් දැමීමට මැතිවරණ කොමිසමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කිසියම් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් සකස් කොට ඒ යටතේ මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම උත්සුක විය යුතු බවට ද අවධාරණය කර සිටියේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව එම පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වන බවත් එය විසුරුවා හැරීමෙන් පසුව මැතිවරණය පවත්වන දිනය වෙනස් වූ පමණින් එම විසුරුවා හැරීමේ නියෝගය බල ශූන්‍ය නොවන බවත් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සඳහන් කළේය.

ජනාධිපතිවරයා විසින් ඉකුත් මාර්තු මස 02 වන දා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32(2) වගන්තිය යටතේ සිදුකර ඇති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා එය ව්‍යවස්ථාවට අනුකූලව සිදු කර ඇති බවත් එය අභියෝගයට ලක් කළ නොහැකි බවත් අවධාරණය කර සිටියේය.

පෙත්සම සලකා බැලීම තවදුරටත් සිදුවෙමින් පවතියි.

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ දේශනය අවසන් වීමෙන් පසුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිස්ටර් ජෙනරාල් ඉන්දිකා දේවමුණි ද සිල්වා මහත්මියගේ දේශන ද ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බව වාර්තාවේ.

Related posts

ඇමති රංගේ බණ්ඩාරගේ පුත්‍රයා ඇප පිට නිදහස්

colombotoday

රජයේ නිලධාරිනියන්ට සාරිය අනිවාර්යයි

colombotoday

පෙම් යුවළක් දියේ ගිලී අතුරුදන්

Admin

මහ බැංකුව කොල්ලකෑ අය සමෘද්ධියත් කොල්ල කන්න හදනවා…

colombotoday

කොළඹ ගම්පහ කලුතර අවධානම් කළාප වෙයි – නැවත දැනුම් දෙන තුරු ඇඳරි නීතිය. – අත්‍යවශ්‍ය ආහාර නිවෙස්වලටම

colombotoday

ව්‍යාපාරිකයෙකු ඉලක්ක කර වෙඩි තැබීමක්

colombotoday