Colombo Today Local News

පාස්කු ප්‍රහාරය ගැන දැනුවත්ව තිබියදී වගකීම් විරහිතව ක්‍රියාකර ඇති කොටුව පොලිස් නිලධාරීන්

පාස්කු ප්‍රහාරය පිළිබඳ පැහැදිලි පූර්ව දැනුවත් කිරීමක් කර තිබියදී, රටේ ප්‍රධාන මර්මස්ථාන 33ක ආරක්ෂාව භාරව ඇති කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් දැඩි ලෙස වගකීම් විරහිතව ක්‍රියා කර ඇති බව ජනාධිපති විමර්ශන කොමිසමේදී අනාවරණ වුණි.

එමෙන්ම එම වගකීම් පැහැර හැරීම වසන් කිරීම සඳහා එම පොලිස් ස්ථානයේ නිලධාරින් කොමිසම ඉදිරියේ පරස්පර සාක්ෂි ලබාදෙන්නට උත්සාහ කරන්නේද යන්න පිළිබඳත් ඊයේ(21)දින කොමිසම අවධානය යොමු කළා.

ත්‍රස්ත ප්‍රහාරයට පෙර දින රාත්‍රියේ ලලන්ත ප්‍රියදර්ශන මහතා කොටුව පොලිස් ස්ථානයේ රාජකාරි භාරව සිටි බවට එදින වැඩ බැලූ ස්ථානාධිපති සරත් කුමාරසිංහ මහතා ලබාදී තිබු සාක්ෂියකට අනුව පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විමර්ශන කරන ජනාධිපති කොමිෂන් සභාවට ඊයේ කොටුව පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරික්ෂක ලලන්ත ප්‍රියදර්ශන මහතා කැඳවා තිබුණි.

ඊයේ සාක්ෂි දුන් ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා පැවසුවේ අප්‍රේල් 20 වැනිදා සවස එදින ස්ථානාධිපති ලෙස වැඩ බැලූ ප්‍රධාන පොලිස් පරික්ෂක සරත් කුමාරසිංහ දුරකතනයෙන් තමන් අමතා කතෝලික පල්ලිවලට ප්‍රහාරයක් එල්ල විය හැකි බැවින් ආරක්ෂාව තර කරන ලෙස උපදෙස් ලබාදුන් බවයි.

නමුත් ප්‍රහාරයක් එල්ල වන දිනයක් හෝ වෙලාවක් සඳහන් නොකළ බව ඔහු කියා සිටියේය.

කෙසේවෙතත් මෙම සාක්ෂිකරු මින් පෙර ජනාධිපති කොමිසමේ පොලිස් එකකයට ලබාදුන් ලිඛිත සාක්ෂිය තුළ “අද දින ප්‍රහාරයක් එල්ල විය හැකි බැවින් පැය 23 සිට ආරක්ෂාව තර කරන ලෙස” වැඩ බැලූ ස්ථානාධිපතිවරයා තමන්ට දැන්වූ බව ප්‍රකාශ කර තිබීම කොමිසමේ අවධානයට යොමු වුණි.

එබැවින් කොමිසම නියම කළේ එම දුරකතන ඇමතුමෙන් ලබාදුන් පණිවිඩය පිළිබඳ පොලිස් සටහන් පොතේ එදින තැබු සටහන කියවන ලෙසයි.

එහිදි සාක්ෂිකරු එම පණිවුඩය පිළිබඳ සකස් කරගෙන පැමිණි උදෘතයක් කොමිසම හමුවේ කියවූවේය.

නමුත් එහි අද දිනයේ ප්‍රහාරයක් එල්ල විය හැකි බවක් හෝ පැය 23 සිට අරක්ෂාව යොදන ලෙස උපදෙස් දුන් බවක් එහි සටහන්ව තිබුණේ නොමැත.

මුල් ප්‍රකාශයේ සහ කොමිසම හමුවේ ලබාදුන් සාක්ෂියේ පරස්පරතා පිළිබඳ ජනාධිපති කොමිසම එහිදී දැඩිව ප්‍රශ්න කළා.

සාක්ෂිකරු සඳහන් කළේ “අද සහ පැය 23” යන වචන, ප්‍රකාශය සිදුකිරීමේදි තමන්ගේ අතින් එකතු වූ වචන බවයි.
කොමිසමේ සභාපතිවරයා සාක්ෂිකරුගෙන් විමසුවේ කවුරුන් හෝ ඉහළ නිලධාරියෙකු තමාගේ සාක්ෂිය කෙරෙහි බලපෑමක් කළේද යන්නයි.

“තමන් කළ රාජකාරිය ගැන පමණක් කියන්න වැඩි විස්තර කියන්න එපා” යනුවෙන් ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා තමන්ට උපදෙස් දුන් බව ඔහු කියා සිටියේය.

මෙහිදී කොමිසමේ සභාපතිවරයා දැඩිව ප්‍රශ්න කළේ සාක්ෂිකරු පොලිස් එකකයට ලබාදුන් මුල් ප්‍රකාශයේ සඳහන් වූ පැය 23 යන වචනය උදෘතයෙන් ඉවත් කිරීමට කවුරුන් හෝ උපදෙස් දුන්නේද යන්නයි.

එම ප්‍රශ්නයට සාක්ෂිකරු කිසිදු පිළිතුරක් නොදී නිහඩව සිටියේය.

එසේම වැඩබලන ස්ථානාධිපතිවරයා ප්‍රහාරයක් සම්බන්ධයෙන් කළ දැනුවත් කිරීම පිළිබඳ මාර්ග බාධකවල සිටි නිලධාරින් දැනුවත් කළේද යන්න ජනාධිපති කොමිසම සාක්ෂිකරුගෙන් විමසා සිටියේය

එහිදීත් සාක්ෂිකරු පළමුව කියා සිටියේ ඒ පිළිබඳ මාර්ග බාධක නිලධාරින් දැනුවත් කළ බවයි.

නමුත් ප්‍රහාරයක් පිළිබඳ අනතුරු ඇඟවීම ගැන විශේෂ දැනුම්දීමක් නොකළ බව සාක්ෂිකරු යළිත් පැවසුවේ සාක්ෂි පිළිබඳ නැවත පරස්පරතාවක් මතු කරමින්.

එහිදි ජනාධිපති කොමිසම සාක්ෂිකරුගෙන් විමසුවේ අප්‍රේල් 20 වන දින වන විට ලැබී තිබු අනතුරු ඇගවීම්වලට අනුව මාර්ග බාධකවල පරීක්ෂණ තර කළේ නම් එක් ත්‍රස්තවාදියෙකු හෝ අල්ලා ගැනීමට හැකියාව තිබු බව පිළිගන්නේද යන්නයි.

මාර්ග බාධක නිසි ලෙස ක්‍රියාත්මක කළේ නම් එක ත්‍රස්තවාදියෙකු හෝ අල්ලා ගැනීමට හැකියාව තිබු බව සාක්ෂිකරු ජනාධිපති කොමිසම හමුවේ පිළිගත්තේය.

ඉන් අනතුරුව කොමිසම හමුවට කැඳවූයේ කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.කේ.සී.පී. කලුආරච්චි මහතායි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ මුස්ලිම් දෙවස්ථානයකින් කඩු සොයාගැනීම සිද්ධිය පිළිබද කොමිසම ඔහුගෙන් විමසා සිටියේය.

එහිදි සාක්ෂිකරු සඳහන් කළේ එම මුස්ලිම් දෙවස්ථානයේ මවුලවිවරයා රැඳී සිටි කාමරයේ ඇඳ යට තිබි එංගලන්තයේ නිෂ්පාදිත නවතම කඩු 46ක් සොයාගත් බවයි.

මාවනැල්ල බුදුපිළිමවලට පහරදිමේ සිද්ධියෙන් පසු මුස්ලිම් පල්ලිවලට ප්‍රහාරයක් එල්ලවුවහොත් භාවිත කිරීම සඳහා එම කඩු ගෙන්වා ගත් බව සැකකාර මවුලවිවරයා පැවසුවේ යැයි සාක්ෂිකරු කියා සිටියේය.

ජනාධිපති කොමිසම සාක්ෂිකරුගෙන් විමසුවේ එම කඩු කැලයක් කැපීමට ගෙනවිත් තිබු බව හිටපු තැපැල් අමාත්‍ය මොහොමඩ් හලීම් මහතා ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් කුමන අදහසක් දරන්නේද යන්නයි.

එහිදී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළේ ප්‍රහාරය එල්ල වූ සමයේ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පිහිටි මුස්ලීම් දෙවස්ථාන 10ම තමන් පරික්ෂා කළත් එම කිසිදු ස්ථානයක, කැපීමට තරම් ඝනව වැවුණු කැලයක් තමන්ට හමු නොවූ බවයි.

Related posts

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් ගැන විශ්වාසය තැබූ ඡන්ද දායකයින්ට ජනපතිගෙන් තුති

colombotoday

පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ධුරයෙන් ඉවත් කර විනය පරීක්ෂණයක්

colombotoday

රිෂාඩ් බදුර්දීන් නිර්දෝශි ලු. බිරිඳගේ නමින් ජනපතිට ලිපියක්. | එලියට ගැනීමේ තුරුම්පු එකින් එක අදියි.

colombotoday

ජනපතිගේ උදව් එපා.. අවුරුදු විසි එකක් විපක්ෂ නායක කමේ පුටුව රත් කර කර ඉන්න ඕනෙ නෑ – සජිත් කියයි

Admin

මත්පැන් මිල අඩු කරන්න යැයි ඉල්ලා උසාවි යයි

colombotoday

“සිංහලයන් කලින් හමු වුණානම් එල්.ටී.ටී.ඊ.යට බැඳෙන්නේ නෑ” කියූ අවසන් සමයේ එල්ටීටීඊ නමත් පිළිකුල් කළ තමිලිනීගේ කතාව

colombotoday