Colombo Today Local News

ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වමින් මහේෂ් සේනානායක දැක්වූ අදහස්

රට ඉදිරියට ගෙනයාමට නම් දේශපාලනයේ සිට රට ගිලගැනීමට බලා සිටින මකරුන්ගෙන් හා මංකොල්ලකාරයින්ගෙන් රට බේරාගත යුතු යැයි ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා ඊයේ (24) පැවසීය.

එහිදී රටේ ජාතික ධනය විනාශ කරන දේශපාලකයින්ට ද නීතිය ක‍්‍රියාත්මක විය යුතු බව හිටපු යුද හමුදාපතිවරයා පැවසීය.

හිටපු යුද හමුදාපතිවරයා මේ බව පැවසුවේ සිය ජනාධිපතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමිනි.

ජාතික ජනතා පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා වන ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළිදැක්වීම කොළඹ, නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ඊයේ (24) පස්වරුවේ සිදුකෙරිණි.

රෝගී වී පසුගිය දින කිහිපය තුළ යුද හමුදා රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි තමන් මෙම අවස්ථාවට පැමිණියේ පැය දෙකක් සඳහා රෝහලෙන් අවසරයක් ලබාගෙන බව ද හිටපු යුද හමුදාපතිවරයා කීවේය.

ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට ලැබීම රට වෙනුවෙන් ලැබූ භාග්‍යයක් ලෙස සිතන බව කී මහේෂ් සේනානායක මහතා ස්වාධීන නිර්පාක්‍ෂික ජනාධිපතිවරයකු ලෙස ජනතාවට සේවය කිරීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.

19 සංශෝධනයෙන් ජනාධිපතිවරයාට තිබෙන බලතල ගැන රටේ කුකුසක් පවතින බව කී සේනානායක මහතා ඒ තුළත් ජනාධිපතිවරයා රටේ, රජයේ හා විධායකයේ ප‍්‍රධානියා බැවිනුත් සේනාධිනායකයා වන බැවිනුත් රටට යුතුකම් ඉටු කිරීමට තිබෙන බලතල ප‍්‍රමාණවත් බව කීවේය.

අමාත්‍යාංශවලට සුදුසු ලේකම්වරුන් පත්කිරීමේ හැකියාව ජනාධිපතිවරයාට ඇති බැවින් වඩාත් සුදුස්සන් එම තනතුරුවලට පත්කිරීම තම බලාපොරොත්තුව බව ද හෙතෙම සඳහන් කළේය.

රටේ උගතුන්, බුද්ධිමතුන් තමා වටා එක්ව සිටින බව කී හිටපු යුද හමුදාපතිවරයා තම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සකස් කළේ ජනතාවගේ අදහස් ලබාගෙන බව ද කීවේය.

මෙහිදී අදහස් දැක්වූ හිටපු යුද හමුදාපතිවරයා මෙසේ ද කියා සිටියේය.

‘‘එක රටක්, එක නීතියක්, එක දැයක් යන්න මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ එන ප‍්‍රධානම කරුණයි. අද රටේ ප‍්‍රධානම ගැටලූවක් වන්නේ ජනාධිපති, අගමැති, ඇමතිවරු නීතියට උඩින් සිටීමයි. රටේ දූෂණ වංචා වැඩිවීමට හේතුව එයයි. එය නැවැත්විය හැක්කේ මා වැනි නිර්පාක්‍ෂික ජනාධිපතිවරයෙකුට පමණයි. පක්‍ෂයක් තිබුණා නම් පක්‍ෂයේ අයගේ වංචා දූෂණ වහන්න සිදුවෙනවා. රටට වගවන පාලන ක‍්‍රමයක් ඇති කළ යුතුයි.

ගෞරවනීය රාජ්‍ය සේවයක්, ජාතිවාදයෙන්, ආගම්වාදයෙන් තොරව එකට ජීවත් විය හැකි පරිසරයක්, විනයක් ඇති දේශපාලන සංස්කෘතියක් ඇති කළ යුතුයි. එමෙන්ම රට නැවත ලේ වැගිරීමක් නොවන ආකාරයෙන් ඉදිරියට ගෙන යා යුතුයි. නැවත මේ රටේ මිනිසුන් අවි ආයුධ අතට නොගෙන සහජීවනයෙන් ජීවත් වන පරිසරයක් හා යහපත් ආර්ථිකයක් ඇතිකිරීම අපේ අරමුණයි. පක්‍ෂ දේශපාලනය නිසා රට තුළ නැවත නැවත අභ්‍යන්තරික ගැටලූ ඇතිවෙනවා. ජාතික ධනය හොරකම් කරන විට රට එන්න එන්න දිළි`දු වෙනවා. මෙය දුප්පත් වූ රටක් නොව දුප්පත් කළ රටක්. රට මේ සියල්ලෙන් බේරාගැනීම අපේ අරමුණක්.

දේශපාලනයේ සිට අපව ගිලගන්න බලා සිටින මකරුන්, මංකොල්ලකාරයින්ගෙන් රට බේරාගත යුතුයි. සියලූ දේශපාලකයින්ට නීතිය ක‍්‍රියාත්මක විය යුතුයි. සියලූ ජනතාවට සාධාරණයක් විය යුතුයි. විනයක් ඇති දේශපාලන සංස්කෘතියක් ඇතිකළ යුතුයි. වත්මන් දේශපාලන ක‍්‍රමය මා සටන් කළ ත‍්‍රස්තවාදීන්ටත් වඩා දරුණුයි. අපි ඒ ත‍්‍රස්තවාදය පරාජය කළා. නමුත් මෙවර එන්නේ ආයුධයකින් මෙල්ල කළ නොහැකි සතුරෙක්. ඔවුන් මෙල්ල කළ හැක්කේ නොවැම්බර් 16 වැනිදා ඡුන්දයෙන් පමණයි. සෑම ත‍්‍රස්තවාදයක්ම ඇතිකරන්නේ මෙම ත‍්‍රස්තවාදියායි. එය විනාශ නොකළොත් අපට ඉදිරි කාලයේත් හූල්ලමින් සිටින්නට වේවි. ජනතාවට කොන්ද කෙළින් තියාගෙන අභිමානවත් ශ්‍රී ලාංකිකයෙක් ලෙස රට තුළ ජීවත් විය හැකි වැඩ පිළිවෙලක් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට අපි ඇතුළත් කර තිබෙනවා.’’ යැයිද හිටපු යුද හමුදාපතිවරයා කීවේය.

මෙහිදී පිළිගැනීමේ කතාව සහ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය පිළිබඳ හැඳීන්වීම හිටපු විගණකාධිපති හා ජාතික ජනතා පක්‍ෂයේ නායක ගාමිණී විජේසිංහ මහතා විසින් සිදුකළේය.

නව ව්‍යවස්ථාවක් හා රටට ගැළපෙන නව නීති පද්ධතියක් යනන් ප‍්‍රධාන ඉලක්ක කරගනිමින් සකස් කර ඇති මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට ණය ආර්ථිකයෙන් මිදී ඉදිරියට යාම, රටට ගැළපෙන ව්‍යාපෘති හඳුනාගෙන ක‍්‍රියාත්මක කිරීම ආදී කරුණු ඇතුළත්ව තිබෙන බව මෙහිදී හිටපු විගණකාධිපතිවරයා සඳහන් කළේය.

Related posts

පාසල් ගිය බාලිකා ළමා නිවාසයක දැරියන් දෙදෙනකු අතුරුදන්

Admin

පාඨලීගේ රියදුරු බිරිඳගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

colombotoday

අරසඩි ග්‍රාමසේවා වසම හුදකලා කෙරේ.

colombotoday

“විජේකලාට එක නීතියක්, අපට තව නීතියක්” මන්ත්‍රී අලුත්ගමගේ මැරෙනතුරු උපවාසයකට සැරසෙයි…

colombotoday

පාඩුයි කියා විකුණන්න යන ශ්‍රී ලංකන්, ලොක්කන් තිදෙනෙකුගේ වසරක වැටුප ඩොලර් මිලියනයයි

colombotoday

පෙට්‍රල් ආනයනයට ණයවර ලිපියක් නිකුත් කරයි

colombotoday