Colombo Today Local News

නාවික හමුදා බුද්ධි අංශයේ තවත් අයෙකු රිමාන්ඩ්

2008 වසරේ අගෝස්තු, සැප්තැම්බර් අතර කාලසීමාව තුළදී තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් ඝාතනය කළේ යැයි කියන සිද්ධියට සම්බන්ධ තවත් නාවික හමුදා විශේෂ බුද්ධි අංශයට අනුයුක්තව සේවයකළ සැකකරුවකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (25දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (23දා) නියෝග කළාය.

ඔහු නවවැනි සැකකරු වන අතර සිද්ධියේ දෙවැනි සැකකරු වන නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරයකු වූ සුමිත් රණසිංහ යටතේ සහ නාවික හමුදා විශේෂ බුද්ධි අංශයට අනුයුක්තව සේවය කළ මුතුවාහැන්නදිගේ තුෂාර මෙන්ඩිස් නමැති නාවික හමුදාවේ සුළු නිලධාරියෙකි.

පැහැරගනු ලැබූ තරුණයන් 11 දෙනා නාවික හමුදාවට අයත් ත්‍රිකුණාමලයේ පිහිටි ‘ගන්සයිඩ්’ නමැති භූගත කඳවුරේ රඳවාගෙන ඝාතනය කිරීමෙන් පසු මළ සිරුරු මුහුදේ ගිල්වා දැමීම සඳහා ගෙන ගිය බෝට්ටුව පැදවූ පුද්ගලයා ඔහු වන බවටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු අසඳහන් කර ඇති අතර ඊට අමතරව එම පුද්ගලයා නාවික හමුදාවේ විශේෂ බලගණ යාත්‍රා ඒකකයේ ජේ‍යෂ්ඨතම නාවිකයකු ලෙස කටයුතු කර ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබේ.

එම සැකකරු නාවික හමුදාවට සහ එල්ටීටීඊ සංවිධානයට ඔත්තු සැපයූ මොහොමඩ් අලි අන්වර් නමැත්තකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට දායක වූ පුද්ගලයකු වන බවටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරුණු අනාවරණය වී තිබෙන අතර අලි අන්වර් නමැති පුද්ගලයා සිද්ධියට සම්බන්ධ නාවික හමුදා නිලධාරීන්ගේ උපදෙස් මත ඝාතනය කර ඇති බවටද කරුණු තහවුරු වී ඇති බව පැවසේ.

පසුගිය දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කළ අටවැනි සැකකරු වන කස්තුරිගේ ගාමිණී නමැති නාවික හමුදා බුද්ධි අංශ නිලධාරියා සහ නවවැනි සැකකරු සඳහා ලිඛිත සැලකිරීම් ඉදිරිපත් කිරීමට ඔවුන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසිත් සිරිවර්ධන මහතා අධිකරණයෙන් දින ඉල්ලා සිටි අතර ඒ සඳහා කොටුව මහෙස්ත්‍රාත්වරිය අවසර ලබාදෙනු ලැබුවාය.

නාවික හමුදා බුද්ධි අංශයට සම්බන්ධව කටයුතු කළ ලුතිනන් කමාන්ඩර්වරුන් වන නිලන්ත සම්පත් මුණසිංහ, පේලිගේ සුමිත් රණසිංහ, බළනැවි ලක්ෂ්මන් උදය කුමාර, නාවික හමුදා සෙබළුන් වන නලීන් ප්‍රසන්න වික්‍රමසූරිය, තම්මිට ඉහළගෙදර ධර්මදාස, කංකානම් පතිරන්නැහැලාගේ කිත්සිරි, හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී. දසනායක සහ අටවැනි සැකකරු ලෙස නාවික හමුදා බුද්ධි අංශ නිලධාරියකු වන කස්තුරිගේ ගාමිණී සහ නවවැනි සැකකරු ලෙස නාවික හමුදා බුද්ධි අංශයට අනුයුක්තව කටයුතු කළ සුළු නිලධාරියකු වන මුතුවා හැන්නදිගේ තුෂාර මෙන්ඩිස් නමැත්තා චෝදනා ලැබ සිටී.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක සහ සමූහ මංකොල්ල නිවාරණ අංශයේ ස්ථානාධිපති නිශාන්ත සිල්වා මහතා පැමිණිල්ල මෙහෙය විය.

Related posts

“ඉට්කා එපා” කියූ වෛද්‍ය පාදෙණියට එරෙහිව එජාප පාක්ෂිකයෝ පාදෙණියේදී පාර වසා උද්ඝෝෂණයේ

colombotoday

බැදුම්කර හොරු කවුද? හරියටම කියන්න ජනපති කොමිසම තවත් මාස 3ක් කල් ඉල්ලයි

colombotoday

යහපාලන ආණ්ඩුව රුසියාවත් කෝප ගන්වා ගනී… ආණ්ඩුවට එරෙහි මෙහෙයුමක් ගැන මංගලගෙන් රුසියාවට චෝදනා

colombotoday

වසන්ත යාපා බණ්ඩාර CIDයට කැඳවයි

Admin

අලි පැටවුන් අල්ලා රට පැටවීමේ ජාවාරමක් !

colombotoday

කොළඹ නැවු තටාකංගනයේ 16කට කොරෝනා.. වරායේ සියළු සේවකයන් අවදානමක

colombotoday