Colombo Today Local News

දෙවියන් වහන්සේ වෙනුවෙන් බෝම්බ පුපුරවන්න යන්න එපා…මැල්කම් රංජිත් කාදිනල්තුමා නත්තල් මංගල පූජාව පවත්වමින් පවසයි

කටුවපිටිය දේවස්ථානයේදී පාස්කු දින සිදුවූ මරාගෙන මැරෙන ත‍්‍රස්ත ප‍්‍රහාරය හමුවේ කතෝලික බැතිමතුන් එම පීඩාව විඳ දරා ගැනීමට අපොහොසත් වූවා නම් මුළු ලංකාවම ලේ විලක් වන බව අති උතුම් මැල්කම්් රංජිත් කාදිනල් තුමා පැවසූහ.

උන්වහන්සේ එසේ පැවසුවේ පෙරේදා (24 දා) රාත‍්‍රියේ පැවැති නත්තල් දිව්‍ය පූජා මංගල්‍යයේ මංගල අනුශාසනාව පවත්වමිණි.

කටුවපිටිය දේවස්ථාන මීසමට අයත් මහිමගොඩැල්ල, පේ‍්‍රමචන්ද්‍රවත්ත, මහාහුණුපිටිය, යන දේවස්ථානවල බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් කටුවපිටිය දේවස්ථාන මීසම් පාලක මංජුල නිරෝෂන් පියතුමා ඇතුළු සෙසු සහායක පියතුමන්ලාගේ සංවිධානයෙන් මෙය පැවැත්විණි. මෙම නත්තල් දිව්‍ය පූජාවෙන් කටුවපිටිය දේවස්ථානය අතුරු සිදුරු නැතිව බැතිමතුන්ගෙන් පිරි ඉතිරී ගොස් තිබිණි.

cardinel6

නත්තල් මංගල පූජාව පවත්වමින් අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් තුමා මෙසේ ද පැවසූහ.

ගවලෙනක කුඩා බිලිඳෙකුව ඉපදුනේ අපේ කඳුළු පිස දමන්න ලැබුණු දුක වේදනාව ස්වාමීන් වහන්සේ තුළ තුනී කර ගන්නටයි. උන්වහන්සේගේ මරියදේව මෑණියන්ට එදා යන්නට තැනක් නැතුව සංක‍්‍රමණිකයකු සේ පැමිණ ගවලෙනක උපත ලබා ඔරුවක හොවා හිඳ මරියතුමිගේ දෑතේ දැවටුම ඒ කුඩා දරුවා කුරුසේ තුළ හිඳකුරුසයෙන් තුවාල වී කැඞී බිඳී තුවාල වී ගිය සිරුර මරියතුමිගේ දෑතේ පැමිණි බව අපි මතක් කර ගනිමු. එලෙස අපිත් එම සිහිවටනය තුළින් වේදනාවට පිළිතුරු සොයමු.

මෙවර නත්තල් දිව්‍ය මංගල්‍ය පූජාව පැවැත්වීමට කටුවපිටිය දේවස්ථානය මා තෝරා ගන්නේ හිතාමතාමයි. එයට විශේෂ හේතුවක් තියෙනවා. අපේ‍්‍රල් විසිඑක් වැනිදා සිදුවූ ප‍්‍රහාරයත් සමග කටුවපිටිය අපේ සිත්වල බලවත් ලෙස සටහන් වූ ස්ථානයක් බවට පත්වුණා.

බලාපොරොත්තු බිඳුනු අපේ ජීවිත කඩා වැටුනු ස්ථානයක් බවට එදා කටුවපිටිය පත්වුණා. එ් නිසාම එදා ඒ අත්දැකීම් ඔබත් සමග ළඟින් බෙදාහදාගත් කෙනෙක් විදිහට මම අද ඔබ අතරට ආවේ ඔබත් සමග මේ හෝරා දෙක ගත කරන්නටයි. ඔබ තනි වුණේ නෑ කියන එක කියන්නටයි. මුළු විශ්වයේම කතෝලික සභාව ඔබලා සමග ඉන්නවා කියන පණිවිඩය කියන්නටයි. විශේෂයෙන්ම ශුද්ධවූ උතුම් ෆ‍්‍රැන්සිස් පාප්වහන්සේ ඔබගේ දුක් වේදනාව තේරුම් අරගෙන යාච්ඤා කරන බව පවසා සිටින්නටයි. ශුද්ධවූ උතුම් ෆ‍්‍රැන්සිස් පාප්වහන්සේ ලස්සන ලිපියක් ඉදිරිපත් කළා. ගවලෙන පසුබීම දෙස හොඳට විමසා බැලූවොත් ගවලෙන තුළ තිබෙන්නේ සුන්දර බිලින්දෙකුගේ උපත සිදුවන්නට හැකි තැනක් වුවත් ගවලෙනේ තේරුම නව ආරම්භයක් ඇති කරන්නට පැමිණි දෙවියන් වහන්සේ කියලයි. මිනිසා නඟා සිටුවීමත් බිඳුනු සිත් සුවපත් කිරීමත් සිදුවූ තැන තමයි ගවලෙන කියන්නේ.

එදා මරියතුමි සහ ජූසේතුමා සිවිල් අධිකරණයකින් පැනවූ සංගනනයක් සඳහා සහභාගිවීමට සංක‍්‍රමණිකයන් ලෙස පැමිණි මොහොතේ ගැබ්ගෙන සිටි මරියතුමියට දරු උපත සිදුකරන්න අවස්ථාව එළැඹුණා. එදා ඔවුන්ට නවාතැනක් සොයා ගන්නත් බැරි වුණා. එ් අවස්ථාවේ තමයි අසල්වැසියෙක් මුණගැසී ඔවුන්ට පවසන්නේ අපේ ගෙදර ගවලෙන තියෙනවා හැකි නම් එහි නවාතැන් ගන්න පුළුවන් කියා. එ් ගවලෙන තුළ තමයි මරියෝ වහන්සේට ජේසු දරුවා බිහි වුණේ. එතන විවිධාකාරයේ සතුන් හිටපු තැනක්.

මේ සුන්දර සිද්ධියේ ලස්සන පසුබිම බලවන්ත අති පාරිශුද්ධ ස්වාමීන් වහන්සේ ඉතාමත් දිළිඳු දරුවකු ලෙස බිහිවන්නේ මනුෂ්‍යයාගේ ආත්මාර්ථකාමීත්වය තුළ ඉඩකඩක් නැතුවාට ස්වභාව ධර්මය තුළ ඉඩකඩක් ඇති මේ ගවමඩුව තුළයි. අපි මේ පෙනෙන දේවල් ගැන ඉතා ගැඹුරින් කල්පනා කර බැලූවොත් අපට ශුද්ධ වූ පාප්වහන්සේ කියන දේ ඇත්තක් බව කියලා අපට වැටහෙනවා.

නත්තල් ගීතයක් තියෙනවා මේරේ යූ නෝ කියලා. එම ගීතයෙන් මරියතුමියගෙන් අහනවා ඔබ අත දරාගෙන සිටින සිඟිති දරුවාගේ සිරුර කවදා හෝ දිනක උකුල මත දරාගෙන ඉන්න වෙනවා කියා. අන්න එවැනි දෙයක් මේ පල්ලියට එදා දරුවෝ වඩාගෙන අරන් ආ සමහර දෙමව්පියන්ට එ් දරුවන්ගේ මෘත දේහයන් ඔසවාගෙන යන්න සිද්ධ වුණා. මරියතුමිත් ජුසේතුමාත් හැමදේම නත්තල් දින දැනගෙන සිටියේ නෑ.

ඔබත් දේවස්ථානයට එනවිට දන්නෙ නෑ දෙවියන් වහන්සේ අප කොයි දෙසට ගෙන යනවාද කියා. මොනවාද කරන්නේ කියා. අපි උන්වහන්සේගේ විශ්වාසය තුළ තමයි අපේ ජීවිකාව ඉදිරියට ගෙන යන්නේ. නමුත් දෙවියන් වහන්සේ අපට ආදරෙයි. දෙවියන් වහන්සේ අප සෑම කෙනෙක් වෙනුවෙන්ම විශේෂ සැලැස්මක් හදලා තියෙනවා. එය අපට විතරයි. ලෝකයේ වෙන කිසිම කෙනෙකුට එය වලංගු නැහැ. එ් සැලැස්ම දෙවියන් වහන්සේ අප තුළින්ම ක‍්‍රියාත්මක කිරීමට බොහෝ මහන්සි වෙනවා. මේක තමා දෙවියන් වහන්සේගේ සංරක්ෂණය කියා කියන්නේ. එදා බෙත්ලෙහෙම් නුවර උපත ලත් බිලිඳු දරුවා දෑතේ හොවාගත් මරියතුමියට කොහොමටවත් වැටහුණේ නැහැ. එම දරුවාගේ මෘත දේහය ආපහු මරියතුමියගේ දෑතට ලැබෙන බව මරියතුමිය දැනගෙන සිටියේ නැහැ.

මරියතුමියත් ජුසේතුමාත් ඒ කිසිවක් දැනගෙන සිටියේ නැහැ. දේව දූතයා මංගලම් කියා කියන වෙලාවේ වෙන්න යන හැමදේම ඇයට සැලකළෙත් නැහැ. ඇයට මුහුණ දෙන්ඩ තියෙන හැමදේම දැනගන්න ලැබුණේ නෑ. එහෙනම් එදා ශුද්ධ වූ පවුලක් මේ භීතියට මුහුණ දුන්නේ මේ අපි වගේමයි. අපි දන්නේ නෑ දෙවියන් වහන්සේ ඇයි අපිව මවලා තියෙන්නේ කියා. කොහාට ද අපිව එක්කන් යන්නේ කියා.

මොනවද අපේ ජීවිතෙන් කරන්න යන්නේ කියා අපි කිසිවක් දන්නෙ නෑ. අපි හැමෝගෙම ජීවිතේ තියෙන්නෙ උන්වහන්සේගේ අතේ. අපේ ජීවිතයත් අපේ මරණයත් තියෙන්නෙ උන්වහන්සේගේ අතේ. මේක තමයි යථාර්ථය. ජීවිතය කියන්නේ මොකක්ද කියලා අපි හරියටම දන්නේ නෑනේ. එක දවසක තේරුම් ගන්න බෑ. දෙවියන් වහන්සේගේ සැලැස්ම හෙමින් හෙමින් දිගහැරෙන වැඩපිළිවෙළක්. එ්කට ලොකු කාලයක් ගත වෙනවා. ලොකු ඉවසීමක් දරාගැනීමක් කරන්නත් සිදුවෙනවා. එ් කියන්නේ ලොකු අභියෝග දුක් කරදර රැසකට මුහුණ දෙන්නට සිදුවනවා ජීවිතයක් තුළින්. අපි කැමැතියි දුක් වේදනාවලින් මඟ හැරලා යන්න. සතුටින් හැමවෙලේම ජීවත් වන්න කැමැතියි. කවුරුත් කැමැති නෑ දුකක් විඳින්න. දහසය වන බෙනඩික් ශුද්ධෝත්තම පාප්වහන්සේ කියනවා දුක් විඳින්න අපි කැමැති නැති වුණොත් අපි සිත් පිත් නැති සීතල මිනිසුන් වෙනවා කියා. අපි දුක් විඳින තරමට තමයි තව කෙනෙකුගේ දුක කොහොමද කියලා තේරුම් ගන්න අපට පුළුවන් වෙන්නේ. අපිට හිතක් පපුවක් ලැබෙන්නේ අපි දුක් විඳින තරමටයි. දුක් විඳින තරමට මනුෂ්‍ය ජීවිතේ ගැඹුර සොයන්න පොළඹවනවා. මනුෂ්‍යයාගේ ජීවිතය උඩින්පල්ලෙන් ජීවත් වෙන්න නෙමේ අපි පිළිගන්නේ. අපි ඒ ගැන අනුකම්පා වෙනවා. මේ අය පිටුපස සිටින අයට කියන්න කැමැතියි කරුණාකරලා දැන් ඔය වැඬේ ඔතනින් නවත්වන්න කියලා.

cardinel5

ඔය ත‍්‍රස්තවාදයට ඔබගේ ජීවිතය පිරෙන්න දෙන්න එපා. නපුරෙන් හිත පුරවාගෙන අවි ආයුධවලින්, දෙවියන් වහන්සේ වෙනුවෙන් බෝම්බවලින් හබයකට යන්න බෝම්බ පුපුරවන්න යුද්ධ කරන්න යන්න එපා. මිනිස්සුන්ගේ ජීවිත කාලකන්නි කරන්න යන්න එපා. මෙවැනි දේවල් කරනවූන් කරන්නේ යක්ෂයාගේ නමින්. යක්ෂයාට හසු වෙලා. මොන පොතේ ද එහෙම කියලා තියෙන්නේ. එහෙම කියලා ඇත්නම් ඒක ආගමක් නොවේ දේශපාලනයක් වෙනවා. ඒ නිසා ඒ අයගෙන් නැවත නැවතම ඉල්ලා සිටිනවා ඒ වගේ දේවල් මේ පොළෝ තලේ නොකරන ලෙස. එය ඔබලා දෙවියන් වහන්සේට දෙන ගෞරවයයි, වන්දනාවයි වෙනවා. මේ නත්තලත් සමග මීසමක් ලෙස නැඟීටීම අද අලූතින් ආරම්භ කරනවා. අද මම කටුවපිටියට ආවේ ඔබේ මේ නව ආරම්භයට සුබ පතන්නමයි. ඔබේ අවබෝධයට ප‍්‍රීතියට කොටස්කරුවෙක් වෙන්නයි. ඔබලාගේ ජීවිතයේ ඕනෑම අවස්ථාවක මම ඔබලා සමග ඉන්නා බව මතක් කරන්නටයි. ඒ පිළිබඳව ඔබලාට මම එදා දුන් සහතිකය අලූත් කරන්නයි. එදා බෝම්බයෙන් පුපුරාගිය දෙව්මැඳුරට පැමිණි මට දැකගැනීමට තිබුණ විනාශකාරී දර්ශනය මගේ මනසින් කිසිදා මැකී යන්නේ නැහැ. ඒ නිසා මම ඔබලාට ආදරේකරනවා. ඔබලා සියල්ල මගේ දරුවෝ (නැවතත් උන්වහන්සේ සංවේගීව මඳකට නිහඬව නෙත්දෙක තෙමීයත්ම දේවස්ථානයේ සිටි ජනමාධ්‍යවේදීන්ගේ පවා නෙතඟට කඳුළු පැමිණියේය) ඔබ බිය වියයුතු නැහැ. ඔබලා සමග මම ඉන්නවා. මෙම විපතට පත් කටුවපිටියේ පමණක් නොව කොච්චිකඬේ, සයන් දෙව්මැඳුරේ, හෝටල්වල ජීවිත නැතිවෙච්ච තුවාල ලබා තවමත් දුක්විඳින ඔබත් සමග මගේ ජීවිතය බෙදාගන්නවා. මේකෙන් පාඩමක් ලබාගන්න. දෙවියන් වහන්සේ කියන්නා සේම මම ඔබ සමගයි.

Related posts

ආගමික වතාවත්වලට පමණක් සීමා වූ ජනපතිගේ උපන්දින සැමරුම

colombotoday

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ගං වතුර අවධානමක්

colombotoday

අභිරහස් ලෙස මිය ගිය ඩොල්ෆින් මත්ස්‍යයන් නව දෙනකුගේ සිරුරු මුලතිව් අලම්පිල් ‍වෙරළට ගොඩගසයි

colombotoday

“රජයේ විශ්විද්‍යාලවල ඉඩ මදි.. SAITM වැනි ආයතන තව හදනවා“ – සෞඛ්‍ය ඇමති රාජිත

colombotoday

පිපිරීමෙන් කඳවුරට වෙච්ච විනාශය (PHOTOS)

colombotoday

බදුල්ල රෝහලට පැමිණි වෛද්‍යවරයාගේ‍ මෝටර් රථයෙන් කඩුවක් හමුවෙයි

colombotoday