Colombo Today Local News

ක්‍රි.ව. 10වන සියවසට පෙර උතුරේ දෙමළ ජනතාව සිටිය බව ඔප්පු කරන්න. එල්ලාවල හිමිගෙන් විග්නේෂ්වරන්ට අභියෝගයක්‌

උතුරේ හිටපු මහඇමැතිවරයා මෙන්ම දෙමළ ජනතා එකමුතුවේ නායකයාද වන සී. වී. විග්නේශ්වරන් මහතා යළිත් මෙරට ඉතිහාසය පිළිබඳව අදහස්‌ පළකර ඇත. විග්නේශ්වරන් මහතා මහාවංශය පිළිබඳව අදහස්‌ දක්‌වමින් එම කෘතිය භික්‌ෂූන් වහන්සේලා විසින් ලියන ලද ප්‍රබන්ධ කතාවක්‌ බවත් අතීතයේදී මෙරට දෙමළ බෞද්ධයන් ජීවත් වූ බවත් ප්‍රකාශ කර ඇත.

දෙමළ බෙදුම්වාදය සඳහා හේතුවී ඇති මෙම ව්‍යාජ ඉතිහාසය මීට ප්‍රථමයෙන් සී. සුන්දරලිංගම්, එස්‌.ඡේ.වී.චෙල්ලනායගම් වැනි දෙමළ නායකයන් විසින්ද ප්‍රකාශ කර ඇති අතර චෙල්ලනායගම් විසින් දෙමළ රාජ්‍ය පක්‌ෂය හෙවත් ඉලංaකෙයි තමිල් අරසුකච්චි පක්‌ෂය පිහිටුවා ඇත්තේද එම පදනමේ පිහිටාය. එබඳු පසුබිමක්‌ තුළ අප විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කර ඇති ඉතිහාසය පිළිබඳව පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන්ගෙන් විමසා සිටියෙමු. ඒ පිළිබඳ උන්වහන්සේ පළකළ අදහස්‌ පහත පරිදි වේ.

ප්‍රශ්නය- උතුරේ හිටපු මහ ඇමැති විග්නේශ්වරන් මහතා ප්‍රකාශ කර තිබෙනවා මහා වංශය කියන්නේ භික්‍ෂූන් වහන්සේ පාලි භාෂාවෙන් ලියනල ද ප්‍රබන්ධ කතාවක්‌බවත් අතීතයේදී උතුරේ දෙමළ බෞද්ධයන් ජීවත්වූ බවත්, මේ රට බෞද්ධ රටක්‌ බව ප්‍රකාශ කිරීම නිවැරදි නොවන බවත් ප්‍රකාශ කර තිබෙනවා.

විග්නේශ්වරන් මහතාගේ කතාවට පදනමක්‌ තිබෙනවාද?

පිළිතුර- විග්නේශ්වරන් මහතා මම දකින්නේ මෑත කාලයේදී සෑහෙන්න පිස්‌සු වචන ප්‍රකාශ කළ පුද්ගලයෙක්‌ ලෙස තමයි. මේ තරම් හිසකෙස්‌ පැසෙනකම්, තට්‌ටය පෑදෙනකම් වයසට ගිය පුද්ගලයකු රටක්‌, ජාතියක්‌ පිළිබඳව මේ තරම් භයානක කතාවක්‌ කීම පිළිබඳව ප්‍රථමයෙන්ම අපේ අප්‍රසාදය පළ කරන්න ඕනී.

අපි පළමුවෙන්ම ඒ මහතා මහාවංශය භික්‍ෂූන් වහන්සේ විසින් රචනා කරන ලද ප්‍රබන්ධ කතාවක්‌ යනුවෙන් කර ඇති ප්‍රකාශය පිළිබඳව සලකා බලමු. මම විග්නේශ්වරන් මහතාගෙන් අහනවා මහාවංශයේ තිබෙන තොරතුරුවලින් බොරුවක්‌ බව ඔප්පු කරන්න පුළුවන් මොන කාරණයද කියලා. මහාවංශයේ තිබෙන මෙන්ම මේ ගාථාව, මේ තොරතුරු වැරදියි කියලා පුළුවන් නම් ඔප්පු කරන්න කියලා මම විග්නේශ්වරන් මහතාට අභියෝග කරනවා.

මහාවංශය කියන්නේ සත්‍ය ඉතිහාස කතාන්දරයක්‌ බව බුද්ධිමත් ලෝකයා දන්නවා. මේ වන විට හමුවී තිබෙන පුරාවිද්‍යාත්මක සාධක වලින් ශිලා ලේඛනවලින්, මහාවංශයේ තිබෙන නිරවද්‍යභාවය තහවුරු වෙලා තිබෙනවා. යම් කරුණක්‌ පිළිබඳව නොපැහැදිලි භාවයක්‌ තිබෙනවා නම් ඊට හේතුව මේ දක්‌වා ශිලා ලේඛනයක්‌ හෝ පුරාවිද්‍යාත්මක සාධකයක්‌ හමුනොවීමයි. නමුත් හමුවී තිබෙන පුරාවිද්‍යාත්මක සාධකවලින් සහ ශිලා ලේඛනවලින් මහාවංශයේ තිබෙන කරුණු සියයට සියයක්‌ම ඔප්පු වෙලා තිබෙනවා.

විග්නේෂ්වරන් මහතා මේ රට බෞද්ධ රටක්‌ ලෙස හැඳින්වීම වැරදි බවත් ප්‍රකාශ කරලා තිබෙනවා. මේ රට බෞද්ධ රටක්‌ බවට පත්වූයේ ක්‍රි.පූ. 5 වන සියවසටත් පෙර ලොව්තුරු බුදුන්වහන්සේ මේ රටට වැඩම කරලා. ස්‌ථාන 16 ක වැඩ හිඳිලා. එම ස්‌ථාන පිහිටි ප්‍රදේශවල පාලකයන්ට ඒ ස්‌ථාන ආරක්‍ෂා කරන ලෙසට භාරදීමෙන් පසුව තමයි මේ රට බෞද්ධ රටක්‌ බවට පත්වූයේ. එම තත්ත්වය පෙර පුරාවිද්‍යා සාධක හමුවී තිබෙනවා. එම තත්ත්වය සියයට සියයකින් තහවුරු වූවා දේවානම්පියතිස්‌ස රජුගේ කාලයේ දී මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරල සංඝ ශාසනය පිහිටුවීමෙන්. නමුත් මිහිඳු මහරහතන් වහන්සේ වඩින්න පෙර බුද්ධ කාලයේදී සමහර රහතන් වහන්සේලා ලංකාවට වැඩම කරල තිබෙන බව වෙනත් භාරතීය ලේඛනවල සඳහන් වෙලා තිබෙනවා.

දිවියාවධානය කියන සංස්‌කෘත මහායාන ධර්ම ග්‍රන්ථයේ තිබෙන කරුණුවලින් එම කාරණය තේරුම් ගැනීමට පුළුවන් කම තිබෙනවා.

යාපනය ප්‍රදේශයේ තිබිල ක්‍රි.පූ. තුන්වන සියවසට පෙර පුරාවිද්‍යා සාධක හමුවී තිබෙනවා. එලෙස හමුවී තිබෙන පුරාවිද්‍යා සාධක අතර බ්‍රාහ්මී අක්‍ෂර සහිත වළං කැබලි, පාත්‍ර කැබලි හමුවී තිබෙනවා. එම අක්‍ෂරවලින් කියවෙන භාෂාව ප්‍රකෘත සිංහල භාෂාව බව සියයට සියයක්‌ම පුරාවිද්‍යාඥයන් විසින් ඔප්පු කර තිබෙනවා. එම බ්‍රාහ්මී ලිපිවල එන අක්‍ෂර සහ භාෂාව යන දෙකම මේ රටේ දකුණ, නැගෙනහිර, බටහිර, මධ්‍යම යන සියලුම ප්‍රදේශවලින් හමුවී තිබෙනවා. ඒ වගේම එම භාෂාවෙන් ලියපු ලෙන් ලිපි ආදීයත් අපට ඕනෑ තරම් හමුවී තිබෙනවා. එහෙම නම් ක්‍රි.පූ. තුන්වන සියවස වන විට ලංකාවේ සෑම ප්‍රදේශයකම ප්‍රාකෘත සිංහල භාෂාව පැතිරී තිබුණ බවත්, බුදුදහම ව්‍යාප්තව පැවැති බවත් තහවුරු වනවා. ඒ බව ගලේ කෙටූ අකුරුවලින් ඔප්පු කිරීමේ හැකියාව තිබෙනවා. ඒ අනුව ක්‍රි.පූ. 3 වන සියවස වන විටත් මුළු දිවයින පුරාම බ්‍රාහ්මී අක්‍ෂර මාලාව සහ ප්‍රාකෘත සිංහලය පැතිරී තිබුණු බව කිසිම විධියකින් බොරු කරන්න බැරි සාධකයක්‌ බවට පත්වී තිබෙනවා.

යාපනය ඇතුළු උතුර සහ නැගෙනහිර පුරාවස්‌තු දහස්‌ ගණනක්‌ පැතිරී තිබෙනවා. එම පුරාවස්‌තු අතර එකම පුරාවස්‌තුවක්‌වත් නෑ, බුදුදහමින් තොරව. එම ප්‍රදේශයේ සෑම තැනකම බුදුදහම සහ සම්බන්ධ පැරණි වෙහෙර විහාර සහ සෙල්ලිපි දකින්න ලැබෙනවා.

මම අහනවා විග්නේශ්වරන් මහතාගෙන් ක්‍රි.ව. 10 වන සියවසට පෙර එම ප්‍රදේශවල දෙමළ ජනතාව ජීවත්වූ බව ඔප්පු කිරීම සඳහා ඇල්පෙනෙත්තක තරම් සාධකයක්‌ ඉදිරිපත් කිරීමට පුළුවන් ද කියලා. යාපනයේ කන්දරොඩේ ප්‍රදේශය ඇතුළු තවත් ප්‍රදේශවල කැණීම් කළා. නමුත් එම කැණීම්වලින් එම ප්‍රදේශයේ දෙමළ ජනතාව ජීවත් වූ බවට කිසිදු සාධකයක්‌ ලැබිලා නෑ.

අනෙක්‌ අතට දෙමළ ජනතාව ඉන්දියාවට සංක්‍රමණය වූයෙන් වෙනත් ප්‍රදේශයකින් කියලා, ඉන්දියානු ඉතිහාසඥයන් ප්‍රකාශ කරනවා. එසේ ප්‍රකාශ කරද්දී විග්නේශ්වරන් මහතා කොහොමද කියන්නේ අතීතයේදී එම ප්‍රදේශයේ දෙමළ බෞද්ධයන් වාසය කළ බව.

අනුරාධපුර යුගයේ සිට යාපනය වැනි කර්කෂ වියළි ප්‍රදේශවල වැඩිපුර ජනතාවක්‌ ජීවත් නොවෙන්න ඇති. එසේ තිබියදී අක්‍රමණිකයන් ලෙස මේ රටට පැමිණ යුද්ධවලින් පරාජය වීම නිසා එම ප්‍රදේශවලට පසු බසින්න ඇති. කාලිංඝ මාඝ පොලොන්නරු යුගයේදී මේ රට ආක්‍රමණය කිරීමේදී කේරළ යෝධයන් සූවිසි දහසක්‌ මේ රටට ගෙන ආ බව ප්‍රකාශ කරනවා. කාලිංඝමාඝ යුද්ධයෙන් පරාජය වූ පසු එම දෙමළ සේනාවෙන් කොටසක්‌ උතුරට තල්ලු වී ගිය බවත් තවත් කොටසක්‌ පිටරටවලට ගිය බවත් අපේ ඉතිහාසයේ සඳහන් වනවා. මේ නිසා 10 වන සියවසින් පමණ පසු උතුරේ සහ නැගෙනහිර ප්‍රදේශවල දෙමළ ජනගහනයක්‌ ඇතිවී තිබෙනවා. නමුත් ලංකාව දෙමළ ජනතාවට අයිති රටක්‌ ලෙස කිසිදු ස්‌ථානයක සඳහන් නොවනවා වගේම මේ රට සෑමදාම පාලනය කළේ සිංහලයකු විසින්.

මහා පරාක්‍රමබාහු රජතුමා මේ රට එක්‌සේසත් කළා. යාපනය ප්‍රදේශය පැවතියෙත් එතුමා යටතේ. ඒ කාලයේදී දකුණු ඉන්දියාවත් සමග වෙළෙ¹ම් කිරීම සඳහා යොදාගත් වරායක්‌ තමයි සූකරතිත්න යනුවෙන් හඳුන්වන්නේ. අද ඌරාතොට නැතිනම් කයිට්‌ස්‌ යනුවෙන් හඳුන් වන්නේ එම ස්‌ථානය තමයි. එම වරායේ මහා පරාක්‍රමබාහු රජු ස්‌ථාපිත කළ සෙල් ලිපියක්‌ තිබෙනවා. එම වරායේදී අනුගමනය කළ යුතු නීති රීති පිළිබඳව එම සෙල්ලිපියේ සඳහන් වනවා. එම සෙල්ලිපි පිහිටුවා තිබෙන්නේ දෙමළ භාෂාවෙන්. ඊට හේතුව තමයි එදා දකුණු ඉන්දියාව සමග ගනුදෙනු කළ භාෂාව දෙමළ වීම. ගනුදෙනු කිරීමේදී අනුගමනය කළ යුතු නීති රීති සඳහන් කිරීමෙන් අනතුරුව පරාක්‍රමබාහු රජතුමා පිළිබඳව සංස්‌කෘත භාෂාවෙන් ශ්ලෝකයක්‌ සඳහන් කරලා තිබෙනවා. එම ශ්ලෝකයේ “සියලු රජවරුන්ට ගින්නක්‌ වැනි වූ මහා පරාක්‍රමබාහු රජු සකල සිංහල චක්‍රවර්තී” යනුවෙන් සඳහන් කරලා තිබෙනවා. මහා පරාක්‍රමාබහු රජතුමා එම සෙල්ලිපියේ හඳුන්වලා තිබෙන්නේ මුළු සිංහලයටම චක්‍රවර්ති රජු ලෙස තමයි.

එම සෙල්ලිපිය දැන් තිබෙන්නේ මේ වනවිට නයිනතිව් යනුවෙන් හඳුන්වන දූපතේ. නාගවිහාරයට ටිකක්‌ උතුරින් පිහිටි නාගපුසානි අම්මාන් කෝවිලේ.

පසුගිය යුද්ධ කාලයේ දී එම සෙල්ලිපිය කෝවිලේ බිත්තියක සවිකරල තිබුණා. නමුත් යුද්ධයෙන් පසුව මම එම ස්‌ථානයට ගියහම දැකගන්න ලැබුණා එම සෙල්ලිපිය සවිකර තිබූ බිත්තියෙන් ගලවල, එළියේ දමා තිබෙනවා. මේ වනවිට එම සෙල්ලිපිය මොනව වෙලාද දන්නේ නැහැ. එම නිසා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව නිදාගෙන ඉන්නේ නැතිව එම සෙල්ලිපිය ආරක්‍ෂා කිරීමට කටයුතු කළයුතු බව මේ අවස්‌ථාවේදී විශේෂයෙන් සඳහන් කළ යුතු වනවා.

යාපනය ප්‍රදේශයේ තිබෙන කන්දරොඩේ ප්‍රදේශයේ කඳුරුගොඩ විහාරයේ කළ කැණීම්වල දී ක්‍රිස්‌තුපූර්ව යුගයට අයත් බ්‍රාහ්මී අක්‍ෂර තිබෙන මැටි පාත්‍ර කැබලි හමුවූ බව මම සඳහන් කළා. ඒ වගේම එම ස්‌ථානයේ කැණීම්වල දී තවත් සෙල්ලිපියක්‌ හමුවී තිබෙනවා. එහි කන්දරොඩි නා වෙහෙර කියල සඳහන් වනවා. එය පසු කාලයට අයත් සෙල්ලිපියක්‌.

වල්ලිපුරම් රන් සන්නස හමුවූයෙන් එම ප්‍රදේශයෙන්. එහි සඳහන් තොරතුරු වලින් පැහැදිලි වනවා, වසභ රජුගේ පාලන කාලයේ දී එදා නාගදීපය යනුවෙන් හැඳින් වූ අද වන විට යාපනය යනුවෙන් හඳුන්වන ප්‍රදේශය ඉසිගිරි නමැති ඇමතිවරයා විසින් පාලනය කළ බව. අතීතයේ දී අලිමංකඩින් උතුරු ප්‍රදේශය සම්පූර්ණයෙන්ම හඳුන්වලා තිබෙන්නේ නාගදීපය යනුවෙන්. යාපනය ප්‍රදේශයේ පැවැති පුරාවිද්‍යාත්මක ස්‌ථාන, පෘතුගි්‍රසි, ලන්දේසි සහ ඉංගි්‍රසින් විසින් විනාශ කරලා තිබෙනවා. ඒ ආකාරයට විනාශ කළේ අපේ වෙහෙර විහාර වල පුරාවස්‌තු. එසේ වුවත් එම ස්‌ථාන වල ශේෂයන් අදත් චුලිපුරම් වැනි ප්‍රදේශ වලදී දැක ගන්න පුළුවන් කම තිබෙනවා.

විග්නේශ්වරන්ලා මේ ආකාරයට ගොරවන්නේ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව යාපනයේ කැණීම් කරල, එම ස්‌ථානයන් නිසි පරිදි තහවුරු කරල, ලෝකයාට දකින්නට සලස්‌වන්නේ නැති නිසා. යාපනයේ තිබුණ එක්‌ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්‌ සියම් දේශයට පරිත්‍යාග කරලා තිබෙනවා.

අතීතයේ දී යාපනය ප්‍රදේශයේ දෙමළ ජනතාව ජීවත් වූවා නම්, එම ප්‍රදේශයේ තිබෙන පුරාවස්‌තූන් එම ජනතාවට අයිති විය යුතුයි. නමුත් දෙමළ ජනතාව ජීවත් වූ කාලය පිළිබඳව සලකා බැලුවහමත් පැහැදිලි වනවා. විග්නේශ්වරන්ලා කියන්නේ බොරු බව දෙමළ ජනතාව අතීතයේ දී යාපනය ප්‍රදේශයේ ජීවත් වූවා නම්, එම ප්‍රදේශයෙන් හමු වී ශිලා ලේඛන වල දෙමළ භාෂාවට සම්බන්ධ භාෂාවක්‌ භාවිත විය යුතුයි. නමුත් එහෙම භාෂාවක්‌ භාවිත වෙලා නෑ.

එම නිසා මම විග්නේශ්වරන් මහතාට අභියෝග කරනවා උතුරු සහ නැගෙනහිර යන පළාත් වල හෝ ලංකාවේ වෙනත් ස්‌ථානයකින් හෝ මහිනදාගමනයට පෙර දෙමළ බෞද්ධයින් සිටිය බව ඔප්පු කරන්න කියලා.

ප්‍රශ්නය – මෙරටේ ඉතිහාසය බොහෝ දුරට ලියවිලා තිබෙන්නේ සිංහල භාෂාවෙන්. දෙමළ භාෂාවෙන් මෙරටේ නිවැරදි ඉතිහාසය ලියවිලා තිබෙන්නේ බොහෝ දුරට අඩුවෙන්.

එය විශාල අඩුපාඩුවක්‌ බව පෙනෙන්න තිබෙනවා. එය නිවැරදි කිරීම සඳහා ගතයුතු පියවර කුමක්‌ ද?

පිළිතුර – 4 වන කාශ්‍යප රජු කරවූ කඳුරුගොඩ විහාරයේ සෙල්ලිපියත්, 5වන කාශ්‍යප රජුගේ මුලතිව් දිස්‌ත්‍රික්‌කයට අයත් තුනුක්‌කායි සෙල්ලිපි අරන් බැලුවහම, අපට පැහැදිලිව පෙනෙනවා මුලතිව් ප්‍රදේශයෙත්,

යාපනය ප්‍රදේශයත්, අනුරාධපුර යුගයේ මධ්‍ය යුගයේ රජවරුන්ගේ පාලනයට අයත්ව තිබුණු බව. එපමණක්‌ නොවෙයි, පසු කාලයේ දී යාපනය ප්‍රදේශය යටත්කරගෙන පාලනය කළ අර්යචක්‍රවර්ති රජවරුන් පිළිබඳව සොයා බැලුවහම පැහැදිලි වනවා. ඔවුනුත් නීත්‍යනුකූලව එම ප්‍රදේශය පාලනය කරලා නොමැති බව. එම පාලකයන් සිංහල රජවරුන්ට එරෙහිව සිටිය ආක්‍රමණික හොරු පිරිසක්‌. එමනිසා තමයි IV වැනි සිරි පැරකුම් රජතුමා, සපුමල් කුමරා යාපනය ප්‍රදේශයට යවල එම ප්‍රදේශය නිදහස්‌ කර ගත්තේ.

එම දීර්ඝ ඉතිහාසය තුළ උතුර සහ නැගෙනහිර යන දෙපලාතම සිංහල නිජබිම ලෙසත්, ඒකීය රාජ්‍යයක්‌ තුළ පාලනය වූ බව සනාථ කිරීම සඳහා ඕනෑතරම් සාධක තිබෙනවා.

මම පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේදි එම කරුණු එකින් එක පෙන්වා දීමට කටයුතු කරල තිබෙනවා. මගේ උතුර, නැගෙනහිර බෞද්ධ උරුමය යන පොත කියෙව්වොත් ඕනෑම කෙනෙකුට වැටහෙනවා සිද්ධවෙලා තිබෙන්නේ කුමක්‌ද කියලා.

එසේ වුවත් එක්‌ කාරණයක්‌ සඳහන් කළ යුතු වනවා. 1972 දී හඳුන්වා දුන් නව අධ්‍යාපන යෝජනා වලින් සිදුවූ බලවත් හානියක්‌ තමයි ඉතිහාසය ඉගැන්වීම ඉවත් කිරීම. එම නිසා සිදුවී තිබෙන පාඩුව හඳුනාගත් නිසා ඉතිහාසය ඉගැන්වීම සඳහා නැවත එක්‌ කාලපරිච්ෙ-දයක්‌ වෙන් කළා. නමුත් එයින් නිසි ප්‍රයෝජනයක්‌ ලැබුණේ නෑ. ඒ වගේම එම විෂය සඳහා රචනා කරන ලද ඉතිහාස පොත් අපගේ ජාතිකත්වය ඉස්‌මතු වන ආකාරයට රචනා කරලත් නෑ. එම පොත්වලින් උත්සාහ කරලා තිබෙන්නේ පාසල් සිසුන්ට කෂඩ ඉතිහාසයක්‌ ඉගැන්වීම.

ඒ වගේම තිබෙන තවත් ගැටලුවක්‌ තමයි, සිංහල භාෂාවෙන් තිබෙන පාසල් ඉතිහාසය පොත්වල තිබෙන ඉතිහාසයට වඩා වෙනස්‌කම් දෙමළ සහ මුස්‌ලිම් ළමුන් සඳහා ලබාදුන් පොත්වල තිබෙනවා. එය භයානක තත්ත්වයක්‌. රටකට තිබෙන්න ඕනි එක ඉතිහාසයයි. ඉතිහාස දෙකක්‌, තුනක්‌ තිබෙන්න බෑ. එම නිසා අපේ රටේ දෙමළ සහ මුස්‌ලිම් දරුවන්ට නිවැරදිව ලංකා ඉතිහාසය ඉගැන්වීම සඳහා පොත් පෙළක්‌ සකස්‌ කළ යුතුව තිබෙනවා. මේ දක්‌වා එය කිසිම රජයකින් හෝ සංවිධානයකින් සිද්ධ වෙලා නෑ.

විග්නේශ්වරන් කියන්නේ දේශපාලනඥයෙක්‌. ඔහු උත්සහ කරන්නේ ජනතාව පොළඹවල ඡන්දය හූරාගන්න. එම නිසා ඔහු ඉතිහාසය ගැන කතා කරන්නේ එම කටයුත්තට හරියන ආකාරයට.

එම නිසා පුරාවිද්‍යාත්මක සාධක සහිතව දෙස්‌ විදෙස්‌ සම්බන්ධතා සඳහන් කරමින් නිවැරදි ඉතිහාසය මේ රටේ සිංහල, දෙමළ, මුස්‌ලිම් සිසුන්ට බේදයකින් තොරව ඉගැන්වීම සඳහා වැඩපිළිවෙළක්‌ සකස්‌ කළ යුතු වනවා. එබඳ කටයුත්තක්‌ මේ දක්‌වා ක්‍රියාත්මක නොවුණ නිසා තමයි, දෙමළ ජනතාව අතරට මිථ්‍යා මත ගෙනියන්න පුළුවන් වෙලා තිබෙන්නේ.

යුද්ධය පැවති කාලයේදී උතුර සහ නැගෙනහිර සෑම ප්‍රදේශයකම මම පුරාවිද්‍යාත්මක ගවේෂණ කරලා තිබෙනවා. ඒ සඳහා මට හමුදාවේ සහයෝගය ලැබුණා. එම කටයුතුවලදී මට විවිධ අත්දැකීම් ලබාගන්න පුළුවන් වූවා. ධර්මපුරම් කිට්‌ටුව කල්විලාන් යන ප්‍රදේශයටත් මම ගියා. එම ප්‍රදේශයේ ජනතාව නටබුන් තිබෙන භූමියක ගොවිතැන් කරලා තිබුණා. අපි ඔවුන් සමග කතාබහ කළ විට ඔවුන් අපට පෙන්වූවා සඳකඩ පහන්, මුරගල්, කොරවක්‌ ගල් වැනි පුරාවස්‌තුන් තිබෙන ස්‌ථානයක්‌ ඔවුන් එම පුරාවස්‌තු වැසිකිළි සඳහා පවා යොදලා තිබුණා. ඔවුන් වතුර මෝටරය සවිකරලා තිබුණේ සිරිපතුල් ගලක්‌ උඩ. මම ඒ පිළිබඳව එම පුද්ගලයන්ට අවබෝධයක්‌ ලබාදුන්නාට පසුව ඔහු එම සිරිපතුල් ගල සෝදලා ගහක්‌ මුල තියලා වැන්දා.

මේ අවස්‌ථාවේදී අපි කළ යුත්තේ එම ස්‌ථානවල පන්සල් හදන්න යන එක නෙවෙයි. ඒක කළ යුතු විදියක්‌ තිබෙනවා. මේ අවස්‌ථාවේදී කළ යුත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් එම පුරාවස්‌තූන් ආරක්‌ෂා කිරීමට කටයුතු කිරීමයි. එම පුරාවස්‌තූන්ගේ ඇති වටිනාකම පෙන්වාදුන් විට එම ප්‍රදේශවල ජනතාව එම පුරාවස්‌තූන් ආරක්‌ෂා කිරීමට කටයුතු කරන බව මම අත්දැකීමෙන්ම දැකලා තිබෙනවා. එම නිසා එම ස්‌ථාන පිළිබඳව දෙමළ ජනතාවට අවබෝධයක්‌ ලබාදීම සඳහාත් වැඩපිළිවෙළක්‌ සකස්‌ කළ යුතු වනවා.

යාල්පානම් ෙෙව්‍යපවමාලේ නම් දෙමළ ඉතිහාස පොතේ තිබෙන්නේ ව්‍යාජ ඉතිහාසයක්‌. එම නිසා පාසල් ළමුන්ට මෙන්ම වැඩිහිටියන්ටත් මේ රටේ නිවැරදි ඉතිහාස පිළිබඳව ඉගැන්වීම සඳහා වැඩපිළිවෙළක්‌ වහාම ආරම්භ කළ යුතු වනවා. එසේ කටයුතු නොකළහොත් අනාගතයේදී මේ පිළිබඳව කිසිම වැටහීමක්‌ නැති පුද්ගලයන් විසින් එම ස්‌ථානයන් විනාශ කළ විට එම ප්‍රදේශයන් හිස්‌ පිට්‌ටනි බවට පත් වේවි. එසේ වුවහොත් අපට බෞද්ධ උරුමයන් පිළිබඳව කතා කිරීමට සාධකයත් අහිමි වනවා.

Related posts

රක්ෂිත කට්ටි කිරීම පිටුපස සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිමි නමයි : පරිසර සංවිධාන 13 ක් ජනපතිට ලියයි

colombotoday

ආවා මඩින්න යාපනයේ පොලිස් පාපැදි මුර සංචාර කණ්‌ඩායමක්‌

colombotoday

ආණ්ඩුව බහුතර බලය ඕනෑම අවස්ථාවක පෙන්වීමට සූදානම්

colombotoday

“ගිය ආණ්ඩුවෙන් රිලව්, හරක් ඔක්කොම පොළොන්නරුවට පැන්නුවා” – ජනපති

colombotoday

රාජිත සේනාරත්න මාධ්‍යයට ගෙනා සුදුවෑන් රියදුරන් දෙදෙනා රිමාන්ඩ්

colombotoday

උපරිමාධිකරණ සංකීර්ණයේ හටගත් ගින්න – පොලිසිය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරයි

colombotoday