Colombo Today Local News

ජනපතිට එරෙහිව එජාපයෙන් දෝෂාභියෝගයක් !!

කුමන හෝ අවස්ථාවක රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ක්‍රියා කළහොත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහි දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවට අනිවාර්යයෙන්ම ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරන බව එම පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි මහතා ප්‍රකාශ කෙළේය.

පළාත් පාලන මැතිවරණයෙන් පසුව අග්‍රාමාත්‍ය ධුරය වෙනස් කරනවා, නව ආණ්ඩුවක් පිහිටුවනවා වැනි යම් යම් ප්‍රචාර දැන් සිටම සිදුවන බවත් ඒවා ප්‍රචාරවලට පමණක් සීමාවේ කියා තමන් සිතන බවත් මන්ත්‍රිවරයා සඳහන් කෙළේය.

යම් විදියකින් අග්‍රාමාත්‍ය ධුරයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීමේ සූදානමක් පැවැතුණහොත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට දෝෂාභියෝග යෝජනාවක් ඉදිරිපත් කර එයට ඒකාබද්ධ විපක්ෂයේද සහාය ලබාගැනීමට අදහස් කරන බව විජේසිරි මන්ත්‍රිවරයා සඳහන් කරයි.

යහපාලනය ආරක්ෂා කරගැනීමට තම පක්ෂය කටයුතු කරන බවත් පළාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළහොත් ඉන් පසු එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් පිහිටුවන බවත් ඒ සඳහා ජනාධිපතිවරයාගේ සහාය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කෙළේය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයකු සඳහන් කෙළේ පළාත් පාලන මැතිවරණයෙන් පසුව නව දේශපාලන ගමනක් යෑමට ජනාධිපතිවරයා බලාපොරොත්තුවෙන් සිටින බවයි. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ වාගේම ඒකාබද්ධ විපක්ෂයේද සහාය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද එම ප්‍රබලයා පැවැසීය.

මේ තත්ත්වය මත පළාත් පාලන මැතිවරණයෙන් පසු එනම් පෙබරවාරි මස 10 වැනිදායින් පසුව අනපේක්ෂිත දේශපාලන පෙරැළි සිදුවිය හැකි බවත් එහිදී වඩා ඉස්සර වන පාර්ශ්වයට වැඩි වාසි අත්වීමට ඉඩ ඇති බව දේශපාලන විශ්ලේෂකයන්ගේ මතයයි.

පාර්ලිමේන්තු බහුතරය පෙන්විය හැකි පුද්ගලයා අග්‍රාමාත්‍ය වශයෙන් පත්කිරීමට ජනාධිපතිවරයාට හැකි බවද එම ආරංචි මාර්ග පවසයි. ජනාධිපතිවරයකුට එරෙහිව දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවම වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 75 දෙනකුගේ අස්සන් තිබිය යුතු බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

දෝෂාභියෝග යෝජනාවක් ජනාධිපතිවරයකුට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු කතානායකවරයා පිළිගත්තොත් එය විවාදයට ගන්නා තුරු ජනාධිපතිවරයාගේ විධායක බලතලද සීමා වන බවද එම ආරංචි මාර්ග තවදුරටත් ප්‍රකාශ කළේය.

අවශ්‍ය නම් දෝෂාභියෝග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ සැසිවාරය කල් දැමිය හැකි බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

– Mawbima

Related posts

කොරෝනා ආසාධිත දේහයන් භූමිදානයට අවසර දී නෑ. සිදුකරන්නේ ආදාහනය පමණයි. සෞඛ්‍ය අමාත්‍යංශය කියයි

colombotoday

අර්ජුන ඇලෝසියස් හිස් අතින් හැරී යයි. බදු වංචා කරමින් අරක්කු මාෆියාව ජයටම.

colombotoday

පානීය ජලයට ටිනර් මුසු වී හබරාදුව පාසලක සිසුවියන් 4ක් රෝහලේ

colombotoday

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් වැඩ වර්ජනයක..

Admin

පිපිරීමක් සමග බස්රථයක් ගිනි ගනී.. 17ක් රෝහලේ

colombotoday

ගෝඨාගේ පුරවැසිකම ප්‍රශ්න කරා ඇති, තවත් නාන්න බෑ – සජිත් පිළේ මත ගැටුම්

colombotoday