Colombo Today Local News

අලුත්ම බිල්ලකට කොටි යළි නැඟිටී…

දිනය ඉකුත් 22 සිකුරාදාය. වේලාව අලුයම 4.30ට පමණය.
මේ ඔඩ්ඩුසුඩාන්-පුදුකුඩිඉරිප්පු මාර්ගයයි. රථවාහන රාජකාරීවල නිරත වූ ‍පොලිස් සැරයන් නෙරන්ජන් (10336) හා ‍පොලිස් කොස්තාපල් රත්නායක (8036) මාර්ගය දිගේ ඉදිරියට ඇදෙන ත්‍රිරෝද රථයකට අත දමන්නේ එය පරීක්ෂාව සඳහාය.

ව්කබ් 8007 දරන  නිල්පාට ත්‍රිරෝද රථයේ රියැදුරු සමග තිදෙනකු සිටියේය. මාර්ගයේ රථවාහන රාජකාරීවල නිරතවූ ‍පොලිස් නිලධාරින් දෙදෙනා රියැදුරු බලපත්‍රය පරීක්ෂා කරද්දී පසුපස සිටි දෙදෙනා  මුත්‍රා කරන්නට යන අයුරින් ත්‍රිරෝද රථයෙන් බැස කැලෑව අසලට ගියේය. ක්ෂණයකින් ඔවුන් කැලෑවට කඩා වැදුනහ.
වහාම ක්‍රියාත්මක වූ ‍පොලිස් නිලධාරීන් දෙදෙනා  රියැදුරු අත්අඩංගුවට ගෙන සහායක ‍පොලිස් කණ්ඩායම් කැඳවූහ.  ඒ පලාගිය වුන් කොටු කරන්නටය.

අරියරත්නම් කන්න රාසා නමැති කිලිනොච්චි තිරුවිආරු අංක 27/3 ලිපිනයේ පදිංචි ත්‍රිරෝද රථ හිමිකරු අල්ලාගෙන ත්‍රිරෝද රථය පරීක්ෂා කරද්දී ‍පොලිස් නිලධාරීන් තිගැස්සුණේය.  ඒ ත්‍රිරෝද රථය පසුපස වූ ලීටර් 19යේ  තීන්ත බාල්දියක් බලද්දී හමු වූ දෙයින්ය. කිලෝ ග්‍රෑම් පහළවක ක්‍ලේමෝ බෝම්බයක් හා කොටි නිල ඇඳුම් එහි වූයේය.
අනෙක් පාර්සලය දිගහැර බලද්දී බෝම්බ පුපුරවන විද්්‍යුත් ඩෙටනේටර් 30ක්,  සාමාන්‍ය ඩෙටනේටර් 54ක්, ටී 56 ජීව උණ්ඩ 98ක්, අත් බෝම්බයක්, බෝම්බ පුපුරවන දුරස්ථ පාලක  පහක්, සෝලා චාජර් 01ක්, ජී.පී.එස් යන්ත්‍ර 02ක්, අධිබලැති ටී.එන්.ටී. පුපුරණ ද්‍රව්‍ය කිලෝවක්, අඩි එකහමාරක්  පළලැති හා අඩි තුනක් දිගැති ඊළාම්  කොඩි දෙකක් එහි වූයේය.

සහායට පැමිණි ‍පොලිස් කණ්ඩායම් සමග ‍පොලිස් විශේෂ කාර්ය බළකා කණ්ඩායම්ද  යොදවා ඔඩ්ඩුසුඩාන් කැලයේ මෙහෙයුමක් ඇරඹෙන්නේ මේ අනුවය.

මෙහෙයුමේ නිරත ‍පොලිස් කණ්ඩායම් රාජේන්ද්‍රන් රිසිකේෂන් නමැති කිලිනොච්චි, අරියනගර් පදිංචි කොටි ත්‍රස්තයකු අත්අඩංගුවට ගත්තේය. මොහු සමග කැලයට පැන්නේ වෙල්ලසාමි එනාම්බරන් නමැති කොටි ඔත්තු අංශයේ දිනේෂ් බව තහවුරු විය.

කිලිනොච්චියේදී කුලී ගමනක් යාමට නැදුන්කර්නි යමුයැයි තමාව ත්‍රිරෝද රථයෙන් රැගෙන ආ බව ත්‍රිරෝද රථ රියැදුරු අරියරත්නම් ප්‍රශ්න කිරීම්වලදී හෙළි කළේය.

නැඳුන්කර්නි කැලය ආසන්නයේදී ත්‍රිරෝද රථය නවත්වන්නට නියෝග කර කැලෑවට ගොස් තීන්ත බාල්දිය හා පාර්සලය රැගෙන ආ බවද රියැදුරු මූලික ප්‍රශ්න කිරීම්වලදී හෙළි කළේය.

මෙම කණ්ඩායමේ ඉලක්කය වී තිබුණේ තවත් දේශපාලන ඉලක්කයකි. බුද්ධි අංශවලට අනුව මෙම කණ්ඩායමේ නායකයා දිනේෂ්ය. ශිවෂන්කර් ‍පොට්ටුඅම්මාන්ගේ ටොසී ඔත්තු සේවාවේ සිටි කොටි බුද්ධි අංශ ක්‍රියාකාරිකයකු වන දිනේෂ් සිංහල හොඳින් කතා කළ හැකි අයෙකි. ව්‍යාජ ලෙස සැකසූ සිංහල ජාතික හැඳුනුම්පතක්ද සමගින්  කොළඹ, නුවර, මාත‍ලේ ප්‍රදේශවලද යුද සමයේ කටයුතු කළ අයෙකි.

මොවුන්ව මෙහෙයවන්නේ් නෝර්වේ සිට ක්‍රියාත්මක වන වෙනම ඊළාම් රාජ්‍ය සටනක් සඳහා  අරඅඳින පෙරිම්බනායගම් සිවපාරන් නොහොත් නෙදියවන්ගේ නායකත්වයෙනි.  දෙමළ ඩයස්‍පෝරාව මෙම කණ්ඩායම් පසුපස සිටි බලවේගයය.  ඔවුනට අවශ්‍ය සියලු මුදල් ප්‍රතිපාදන ලැබෙන්නේ ඩයස්‍පෝරාවෙනි.

එල්.ටී.ටී.ඊ. විසින් දේශද්‍රෝහී ‍ලේබලය අලවා  ඝාතනය කළ නීලන් තිරුචෙල්වම් ඝාතනයට සමාන අයුරින් මෙවර ඉලක්ක කර තිබුණේ දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන්වය.

සිව්වැනි ඊළාම් යුද්ධයෙන් පසුව කොටි සංවිධානය යළි නැගිටින්නට  වෙර දැරූ සිව්වැනි අවස්ථාව මෙය විය. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.  සුමන්දිරන්  ඝාතනය කරන්නට ගත් උත්සාහයන් දෙකක් මීට පෙර  වැළකුණේ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය (ඊච්) කළ බුද්ධි මෙහෙයුම්වලදීය.

මීට පෙර සුමන්තිරන් ඝාතනය කරන්නට ගත් උත්සාහයන් තුනක්ම වැළකී ගියේ බුද්ධි අංශවල දක්ෂතාව සහ මන්ත්‍රී සුමන්තිරන්ගේ පණ හයිය නිසාය.

2017 දි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් නෝර්වේ සිටින නෙදියවන්ගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වූ හිටපු කොටි සාමාජිකයන් සිව්දෙනකු ගෙන් ප්‍රශ්න කිරීමේදී මෙය තවත් තහවුරු විය. 2017 ජනවාරි 13 හා  දෙසැම්බර් 12 දා යාපනය සෝරන්පත්තු, තා‍ලේඅඩි මාර්ගයේදී ක්‍ලේමෝ බෝම්බ ප්‍රහාරයකින් සුමන්තිරන් ගමන්ගන්නා වාහනයට පහරදෙන්නට සැලසුම් කර තිබුණහ.

කුලසිංහම් කු‍ලේන්ද්‍රන් හෙවත් මාස්ටර්, මුරුගයියා තවේන්ද්‍රන්, වේලයන්මන් විජයන්, මාරිය නායගම් ලුවිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් කිලිනොච්චි අධිකරණය වෙත ඉදිරිපත් කරන්නේ බි 85/2017 බි වාර්තාව මගිනි. 2017 ජනවාරි 31 දා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන්නේ සුමන්තිරන් මහතා ඝාතනය කිරීමට තැත්කිරීමේ චෝදනා මතය.

ජනවාරි 13දා සෝරන්පත්තු තා‍ලේඅඩි මාර්ගයේ මරුතන්කර්නිහිදී සුමන්තිරන්ගේ වාහනයට ක්‍ලේමෝ ප්‍රහාරයක් එල්ලකර ඝාතනය කරන්නට හිටපු කොටි ත්‍රස්තයන් ගත් තැත වරදින්නේ ඔහුගේ ගමන්මග වෙනස් කිරීම නිසාය.
සිව්වැනි ඊළාම් යුද්ධයෙන් පසුව කොටි ත්‍රස්තයන් රජයේ ආරක්ෂක අංශවලට එරෙහිව අවි ගත්තේ 2014 මාර්තුවේදීය.

ගෝපි අප්පන් හා තේවියන් යන කොටි සංවිධානය යළි නගාසිටුවන්නට  ආ නායකයන් දෙදෙනා සොයා ගිය ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට කිලිනොච්චිය  ධර්මපුරම්හිදී ත්‍රස්තයින් වෙඩි තැබූහ. ඒ 2014 මාර්තු 12 දාය.

එහිදී ත්‍රස්ත විමර්ශන කණ්ඩායමේ උප ‍පොලිස් පරීක්ෂක ඒ.එල්.ජී. රත්නකුමාර ඇතුළු කණ්ඩායමක් දිවි පරදුවට තබා ගෝපි අප්පන් කණ්ඩායම සිටි ආරක්ෂිත නිවස්නයට  කඩා වැදුනහ. එහිදී  කොටි ත්‍රස්තයන් තැබූ වෙඩි පහරින් උප ‍පොලිස් පරීක්ෂක රත්නකුමාර තුවාල ලබා දිවි බේරාගත්තද  කිසිදු ඇගයීමකට ලක් නොවුණද කොටින්ගේ නව සැලසුම අනාවරණය කරදෙන්නට හැකිවිය.

පලෙයි ‍පොලිසියේ නිලධාරීන් කොටි හිතවාදී ‍පෝස්ටර් අලවන්නට ගිය කොටි හිතවාදියකු අත්අඩංගුවට ගෙන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත භාරදීමෙන් පසු හිස ඔසවන කොටි සැලසුම් අනාවරණය වූයේය.

මේ අනුව කළ විමර්ශනවලදී ගල්කිස්ස දෙහිවල ගුවන්පාලම බෝම්බ තබා පුපුරවා හැර සිවිල් ජනයා ඝාතනය කිරීමත්, ගෑස් ටැංකි රැගෙන යන බව්සරයකට කාන්දම් බෝම්බ සවිකර දකුණේ ජනාකීර්ණ තැනකදී පුපුරුවා හැර මහා විනාශයක් කිරීම සැලසුම වී තිබුණේය. එල්.ටී.ටීය යළි නැගිටින බවට රටේම කැළඹීමක් ඇති කිරීම කොටි ත්‍රස්තයන්ගේ ඉලක්කය වී තිබුණේය.

තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ උත්සවවලට කිලිනොච්චියට ගොස් එද්දී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ  මහතා පැමිණීමට නියමිත වූ දුම්රියකට බෝම්බ තැබිමේ කොටි සැලසුමක්ද එවකට අනාරවණය විය. මෙම සැලසුම්වලට අනුව දෙහිවල පාලම අසල බේකරියක සේවය කළ කොටි ත්‍රස්තයන් ඇතුළුව හතළිහක පමණ පිරිසක් එවර ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අල්ලා ගත්හ.

කොටි වළ දැමූ අවි ආයුධ සොයන ස්කැනර් යන්ත්‍ර මගින් සොයාගත් අවි ආයුධ නැවත මෙහෙයුමකට ගත හැකි අයුරින් වළ දැමූ බවද මෙම මෙහෙයුමේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අනාවරණය කළා.

නෝර්වේ සිට නෙදියවන්ගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වූ ගෝපි, අප්පන්, තේවියන් යන කොටි ප්‍රබලයන් තිදෙනා කොටු කරගැනීමේ බුද්ධි මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ සන්නද්ධ බුද්ධි බළකායට අගනා මෙහෙවරක් කළ බ්‍රිගේඩියර් සුරේෂ් සෙලෙයිගේ නායකත්වය යටතේය.

එම හමුදා බුද්ධි මෙහෙයුමේදී නෙදුන්කර්නි, ඔඩ්ඩුසුඩාන් කැලයේදී ගෝපි, තේවියන්, අප්පන් යන කොටි නායකයින් තිදෙනා ඝාතනය කරන්නේ 2014 අප්‍රේල් 10 දාය.

මේ අයුරින් නෝර්වේ සිට ක්‍රියාත්මක කළ එක් ජාලයක් අල්ලා ගත්තද තවත් ජාලයක් නෙදියවන් යටතේ ක්‍රියාත්මක වූයේය. චන්ද්‍රමෝහන් යටතේ දෙවැනි කණ්ඩායම අහුවන්නේ බිරිඳ සමග අවිආයුධ හා කේරළ ගංජා ළඟ තබාගෙන සැඟවී සිටියදීය.

සංවිධානාත්මක කණ්ඩායම්වලට අවශ්‍ය අවි ආයුධ මෙන්ම මුදල් සපයන්නටත් මත්ද්‍රව්‍ය ජාලය හා සම්බන්ධ කරන්නටත් කොටි ජාත්‍යන්තර ජාලය ක්‍රියාත්මක වූ  වග එම සිදුවීමෙන් තහවුරු විය. ගෝපි අප්පන් කණ්ඩායම සමග චන්ද්‍ර මෝහන්ලාගේ සම්බන්ධය හෙළිවන්නේ චන්ද්‍රමෝහන්ගේ නිවසේ තිබි ඔවුන්ගේ අවි ආයුධ හමුවීමෙනි.

2016 අගභාගයේදී චන්ද්‍රමෝහන් බිරිඳ සමග කොටු වන්නේ ඕමන්තේ බටහිර ප්‍රදේශයේදීය. චන්ද්‍ර මෝහන් අත්අඩංගුවට පත් වන අතරේ යාපනය චාවකච්ච්ෙරිහි ගංජා වැටලීමකදී මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්ටලයක් ද සොයා ගැනුණේය. ඇන්තනි ජූඩ් එහිදී හමුවූ කොටි ත්‍රස්තයා වූ අතර එම කොටියාගෙන් හෙළි වූ තොරතුරු මත මඩකලපුව හා යාපනයේදී තවත් දස දෙනෙක් කොටු වූයේය.

කෙසේ වුවද කොටි සංවිධානය යළි හිස ඔසවන බවට රටට හෙළිකිරීමට අ‍පොහොසත් වූ රජයේ බලධාරීන් මෙම බෝම්බ ඇඳුම් කට්ටල සිද්ධිය හමුදා බුද්ධි අංශය වෙත පැටවීමට උත්සාහ ගත්තේය. දිගින් දිගටම හමුදා බුද්ධි අංශය දඩයම් කරමින් ගිය රජය ත්‍රස්තවාදීන්ගේ හිස එසවීමද හමුදා බුද්ධි අංශ මත කරකවන්නට උත්සාහ ගත්තේය.
කෙසේ වුවද සියලු දෙනාගේ පුටු රත්වන්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් සුමන්තිරන් ඝාතනය කිරීමේ තැත සමග හෙළි කරගත් තොරතුරු මතය.

මේ අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික ආරක්ෂක කවුන්සිලය දක්වා කොටින්ගේ ඉදිරි මෙහෙයුම ගෙන ගියේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයය.
ආරක්ෂක කවුන්සිලය ගත් තීරණයක් මත සුමන්තිරන් මහතාගේ ආරක්ෂාවද තර කෙරුණු අතර ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාවත් මීට පෙර ලබා දුන්නේය.

ගෝපි, චන්ද්‍රමෝහන් ඇතුළු කණ්ඩායම්වල කොටි ජාල බිඳ වැටුණද නෙදියවන් අලුතින් යෙදවූ කණ්ඩායම දිනේෂ් යටතේ තවදුරටත් ක්‍රියාත්මක වූහ. චන්ද්‍රමෝහන් මීට සති දෙකකට පමණ පෙර උසාවියෙන් ඇප ලබා යළි කරළියට ආ අතර ඒ වන විටත් දිනේෂ්ගේ ක්‍රියාකාරකම් බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබුණේය.

මන්නාරමේ මුහුදු සීමාවෙන් කොටි ත්‍රස්තයන්ට අවශ්‍ය සියලු සැපයුම් ගලා එන්නට වූහ. දිනේෂ් අවසන් සටනේදී වවුනියාවට පැනගෙන තිබුණේ කොටි ඔත්තු අංශ නායකයකු වූ පෙරිම්බන් මාස්ටර් සමගය. මන්නාරමෙන් ඉන්දියාවට පැනගත් මෙම කණ්ඩායම දිනේෂ්ව යළි මෙරටට එවා ඇත්තේ 2014දීය. දිනේෂ් මීට පෙර අසුවූ සියලු කණ්ඩායම් හා සම්බන්ධ නෙදියවන්ගේ ජාලය යටතේ ක්‍රියාත්මක වූවෙකි.

මන්නාරම, වව්නියා, පුදුකුඩිඉරිප්පුවල කණ්ඩායම් රැස් කර ඇති දිනේෂ් පුදුකුඩිඉරිප්පු ආරක්ෂිත නිවස්නය ලෙස පවත්වාගෙන ගිය බව බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබුණේය.

පුදුකුඩිඉරිප්පු ගරාජයකදී පාවිච්චි කළ යතුරුපැදි හත අටක් ගෙනැවිත් සියලු අමතර කොටස් අලුතින් යොදවා හදිසි ප්‍රහාර සඳහා සූදානම් කර ඇති බවද ඊට අමතරව ත්‍රිරෝද රථ හතරක්ද අලුත්වැඩියා කර ස්ථානගත කර ඇති බවද අනාවරණය වූයේය.

මෙම කොටි මෙහෙයුම යටතේ, දිනේෂ්ගේ කණ්ඩායම් පිස්තෝල දහයක් පමණද, පුපුරන ද්‍රව්‍ය කිලෝ හතළිහක් පමණද පුදුකුඩිඉරිප්පුවලදී එකතු කරගෙන ඇති වගට තොරතුරු ගලා ආවේය.

මේ සම්බන්ධව සන්නද්ධ හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයා කිහිප වතාවක්ම ජාතික ආරක්ෂක කවුන්සිලයට තොරතුරු ඉදිරිපත් කර තිබූ අතර ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයද තොරතුරු සැපයූ බව ආරක්ෂක අමාත්‍යාංශ ‍‍‍ජ්‍යෙෂ්ඨයකු අනාවරණය කළේය.

අලුතින් හිස ඔසවන කණ්ඩායම්වලට දෙසීයක පමණ පිරිසක්වත් එකතු වී සිටින බවට බුද්ධි අංශ අනතුරු හඟවා තිබුණේය. මෙම හිස ඔසවන කණ්ඩායමේ කොටි පිස්තෝල කල්ලි සාමාජිකයන් මෙන්ම බුද්ධි අංශ සාමාජිකයන්, කළු කොටි සාමාජිකයන්ද සිටින බවට තොරතුර ගලා ආවේය.

යම් හෙයකින් එක් ප්‍රහාරයක් දියත් කළා නම් මෙම කණ්ඩායම්වලට වව්නියාව, කිලිනොච්චි, මන්නාරම, යාපනය, ත්‍රිකුණාමලය, මඩකලපු ප්‍රදේශවලද ත්‍රස්ත ක්‍රියාවන් සිදුකර රටම බියගන්වන්නට වුව හැකියාවක් තිබූ බව බුද්ධි අංශ අනතුරු හඟවා තිබුණේය.

කෙසේ වවුද මේ සියලු බුද්ධි තොරතුරු හා අනතුරු හැඟවීම් ගඟට කැපූ ඉනි මෙන් වූයේ යහපාලන රජය කොටි ත්‍රස්තවාදීන්ගේ නැගිටීම පිළිනොගත් නිසාය.

කෙසේ වුවද ජාතියේ පිනකට මෙන් මෙම සිකුරාදා (22) යළිත් ඔඩ්ඩුසුඩාන්හිදී කොටි ත්‍රස්තයන් පුපුරන ද්‍රව්‍ය සමග කොටු වූයේය. කෙසේ වුවද මෙම අවි ආයුධ පැරණි ඒවා කියමින් සුළු සිද්ධියක් සේ සලකන්නට බලධාරීන් උත්සාහ ගත්හ.
මෙදින (22) දිනේෂ් ඇතුළු කොටි ත්‍රස්තයන් කලින් දින රාත්‍රියේ කොටින්ගේ අවි සැඟවූ අවි ගබඩාවකින් ගොඩගත් බෝම්බ මෙම ඉලක්කය සඳහා රැගෙන ආවා විය හැකි බව බුද්ධි අංශ විශ්වාස කරයි. මෑතකදී ඇප මත නිදහස් වූ චන්ද්‍රමොහන් නමැති කොටියාගේ නිවසින් කොටින්ගේ සැඟවූ අවි ආයුධ ගොඩනැගීමට දිනේෂ්ගේ කණ්ඩායම ගන්නා තැතක් අනාවරණය වීමෙන් පසුව ‍පොලිස් විශේෂ කාර්ය බළකාය එහි ගියද ඒ වන විටත් සියලු දෙනා එතැනින් පලා ගොස් තිබුණේය.

මෙම සියලු සිදුවීම් හරහා ඇඟවෙන්නේ කොටින්ගේ නිද්‍රාශීලී කණ්ඩායම් විවිධ වේශයෙන් නැගිට්ටවන්නට දෙමළ ඩයස් ‍පෝරාව දත නියවන වගය. දෙමළ ඩයස්‍පෝරාව දේශද්‍රෝහියකු සේ සලකා සුමන්තිරන් මහතා ඝාතනය කරන්නට අරඅඳින්නේ සුමන්තිරන් මන්ත්‍රීවරයා ඊළමක් වෙනුවට ෆෙඩරල් පාලනයක් ගැන ගෙන යන මතය නිසාය. ජාත්‍යන්තරව ක්‍රියාත්මක වන කොටි නායකයින් හා ඩයස්‍පෝරාව මේ වන විට සුමන්තිරන්ගේ දේශද්‍රෝහි ලැයිස්තුවට විපක්ෂ නායක ආර්. සම්බන්ධන්ද තල්ලු කරමින් ඇත්තේය.

කොටි නායක ප්‍රභාකරන්ගේ මස්සිනා වූ එම්.කේ. ශිවාජිලිංගම් කරළියට ගෙන එන්නට දෙමළ ඩයස්‍පෝරාව ගෙන යන සටනේදී තම ජාතියට ද්‍රෝහි වූවකු ලෙස නීලන් තිරුචෙල්වම් ඝාතනය කළ අයුරෙන් සුමන්තිරන්වත් ඝාතනය කරන්නට තවමත් වෙරදරන බව බුද්ධි අංශ පෙන්වා දී ඇත්තේය.

සුමන්තිරන් මන්ත්‍රීවරයා ඉලක්ක කරගෙන මෙම කොටි කණ්ඩායම් සැලසුම් කළ ප්‍රහාර කිහිපයක්ම වැළකී ඇත්තේ සන්නද්ධ බුද්ධි බළකායත්, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයත් විටින් විට කළ අනතුරු ඇඟවීම් නිසාය. සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ ආරක්ෂාවට ගිය නිලධාරීන් දැනුවත් කරන්නට බුද්ධි අංශ පියවර ගත් නිසා ඔහුගේ ජීවිතයද තවම රැකී තිබෙන්නේය.

මෙකී අවි ගත් කොටි ත්‍රස්තයන් සුමන්තිරන්ගේ ඉලක්කය ගෙන නවතින්නේ නැති වගද බුද්ධි අංශ අනතුරු හඟවන්නේය.

කොටි ත්‍රස්තවාදීන්ගෙන් මුදාගත් දේශය යළි අඳුරේ දමන්නටවත්, යළි දකුණේ ත්‍රස්ත බියක් ඇති නොවන්නටත් වග බලා ගැනීම රජයේ වගකීමය. මෙම සිද්ධියත් බුද්ධි අංශ මත පටවා දේශපාලන වාසි ගන්නවාට වඩා රටක් හමුවේ ඇති අභියෝගය තේරුම් ගෙන වහාම ක්‍රියාත්මක වුවහොත් තවමත් එල්ටීටීඊයේ කොඳු නාරටිය බිඳ දමන්නට ප්‍රමාද නැත්තේය.

උතුරේ ජනතාව යුද්ධයක් නොව සංහිඳියාවෙන් ජීවත් වන්නට වෙරදරන බව කර්නල් රත්නප්‍රිය බන්දු වන්නියෙන් සමුගෙන යන විටදී රටම දැන ගත්තේය.

ෆෙඩරල් පාලනයක් ඉල්ලන්නට ගිය තමන්ගේම නායකයකු ඊළාම් රාජ්‍ය වෙනුවෙන් මරණ මංචකයට යවන්නට උත්සාහ ගන්නා කොටි ත්‍රස්තවාදය දකුණේ නායකයන්ටද යම් දිනෙක අභියෝග කළ හැකිය.

කොටි ඩයස්‍පෝරාව 2015 මැතිවරණයේදී සුමන්තිරන් පරාජය කරන්නට විශාල වශයෙන් මුදල් වියදම් කළේද අනාගත අරමුණක් තකාය. දෙමළ ජනතාවගේ අයිතීන් යළි ස්ථාපිත කරනු වස් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් ඇති කිරීමට ධනාත්මක කාර්යභාරයක් ඉටු කිරීම සුමන්තිරන්ට මරණ වරෙන්තුව නිකුත් කිරීමට හේතු කාරණා වී ඇත්තේය.
මේ අයුරින් යළි හිස ඔසවන්නට උත්සාහ ගන්නා කොටි ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් රටට හෙළි නොකර සඟවන තාක්කල් ජාතික ආරක්ෂාවටද විශාල තර්ජනයක් එල්ල විය හැකිය.

ආරක්ෂක ‍ලේකම් කපිල වෛද්‍යරත්න මහතාගේ අත්සනින් ජුනි 19දා නිකුත් කළ ගැසට් පත්‍රයකින් ත්‍රස්තවාදයට මුදල් සැපයීම හා ත්‍රස්ත ක්‍රියා සඳහා චෝදනා ලැබූ කොටි ත්‍රස්තයන් දාහතරදෙනකු නම් කර තිබුණේය.

ජීවරත්නම් ජීව කුමාර හෙවත් සිරන්ජීවි මාස්ටර් නමැති කොටි බුද්ධි අංශ නායකයාත් නඩරාජා සත්‍යසීලන් හෙවත් ඩීල්මාරන් නමැති බුද්ධි අංශ නායකයාත් ඇන්ටනි කැලිස්ටර් හෙවත් පරදන් නමැති බුද්ධි නායකයාත් මේ අතර සිටින්නේය. කුලසිංහම් හෙවත් කමල්, සාමිරාජ්, ජෙයකරන්, කලීබන්, වදාන්, කදිරවන්, පුෂ්පනාදන්, තිරුක්කුමාරන් ඇතුළු කොටි ත්‍රස්තයන් දාහතර දෙනකුගේ නම් ගැසට් කරන්නේද රට තුළ කොටි ත්‍රස්තවාදය හිස ඔසවන්නට වෙරදරද්දීය.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා – රිවිර ඉරිදා 

Related posts

‘මිනීමරු විනිසුරු පද්මිණි රණවක’ වහා අත්අඩංගුවට ගනු.. කොළඹ පුරා පෝස්ටර් අලවයි !

colombotoday

පළාත් පාලන මැතිවරණයට අදාළව කිසිදු ඡන්ද වැඩකට මම නෑ – ජනපති

Admin

උදයංග පෙබරවාරි 17 දා තෙක් රිමාන්ඩ්

colombotoday

නාරාහේන්පිට පොලිස් පිරවුම්හලේ 121ට ඉන්ධන ලබා දීම ගැන පරීක්‍ෂණයක් කරනවා – ඇමැති කංචන විජේසේකර

colombotoday

පන්සල්, පාසල් ආසන්නයේත් තැබෑරුම් ඇරීමට අවසර දීමට සූදානම්.. ජනපතිකෙනෙක් රටට කුමටද?

colombotoday

ඇමතිවරයා ගොනාට අන්දවා ගිනි ගානට විදුලිය මිලදී ගැනීමේ සූදානමක්

colombotoday