Colombo Today Local News

අන්තර්ජාතික සබඳතා වඩා ශක්තිමත් වීමට ථේරවාදි බෞද්ධ දර්ශනය පිටුවහලක් වූනා – ජනපති.

ථේරවාදී බෞද්ධ දර්ශනය රැක ගනිමින් එහි වටිනාකම් ලෝකයට ගෙන යාමට කලාපයේ සියලු රටවල් සමග එක්ව කැපවන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේ ය.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ තායිලන්ත රජයේ ධම්මචක්ක රාජකීය සම්මානයෙන් පිදුම් ලැබූ ආචාර්ය පූජ්‍ය ගොඩගම මංගල නායක ස්වාමින් වහන්සේ පිළිගැනීම වෙනුවෙන් ඊයේ (15) පස්වරුවේ මහනුවර අස්ගිරිය ශ‍්‍රී චන්ද්‍රානන්ද බෞද්ධ විද්‍යාලයේ පැවති උත්සවය අමතමිනි.

පූජ්‍ය ගොඩගම මංගල හිමිපාණන් වහන්සේ මෙරට සිදුකරනු ලබන ජාතික, ආගමික හා ශාසනික සේවාව හා ජාත්‍යන්තර වශයෙන් ථේරවාදි බුදු දහම ව්‍යාප්ත කිරීම සඳහා ඉටු කරන සේවාව අගයමින් තායිලන්ත රජය මගින් උන්වහන්සේ වෙත මෙම රාජකීය සම්මානය පිරිනමා තිබේ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ ගොඩගම මංගල ස්වාමින් වහන්සේ වෙත ලැබුණු මෙම සම්මානය උන්වහන්සේ ලද ගෞරවයක් සේම රටට ද ලැබුණු විශාල ගෞරවයක් බවයි.

ධර්මධර, විනයධර උගත් ස්වාමින් වහන්සේ නමක් ලෙස පූජ්‍ය ගොඩගම මංගල හිමිපාණන් වහන්සේ ඉටුකරන ශාසනික සහ ආගමික මෙහෙවර මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගැයීමට ලක් විය.

පූජ්‍ය ගොඩගම මංගල නායක ස්වාමින් වහන්සේ වෙත තායිලන්ත රජයෙන් ලැබුණු මෙම රාජකීය සම්මානය උන්වහන්සේ වෙත පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ‍්‍රී ඥානරතන නායක ස්වාමින් වහන්සේ, මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක ස්වාමින් වහන්සේ, මල්වතු මහාවිහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමින් වහන්සේ, පූජ්‍ය වෙඩරුවේ උපාලි අනුනායක ස්වාමින් වහන්සේ, පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි අනුනායක ස්වාමින් වහන්සේ, අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරි පූජ්‍ය ආචාර්ය මැදගම ශ‍්‍රී ධම්මානන්ද නායක ස්වාමින් වහන්සේ, ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්.බී. දිසානායක යන මහත්වරුන් ද ශ‍්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිනි චුලාමනී චාර්ක්සුවාන් මැතිනිය ඇතුළු දෙස් විදෙස් ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

තායිලන්තයේ ධම්මචක්ක රාජකීය සම්මානයෙන් පිදුම් ලැබූ ආචාර්ය පූජ්‍ය ගොඩගම මංගල නායක ස්වාමින් වහන්සේ පිළිගැනීම වෙනුවෙන්, මහනුවර අස්ගිරිය ශ‍්‍රී චන්ද්‍රානන්ද බෞද්ධ විද්‍යාලයේ පැවති උත්සවයේදී ජනාධිපති  මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව (2018-10-15)

“ඓතිහාසික දඹුලු රාජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය ගොඩගම ශ‍්‍රී මංගල ස්වාමීන් වහන්සේ වෙත සියම් රාජකීය සම්මානය පිරිනැමීම පිළිබඳව සිදුකරන මේ උතුම් පුණ්‍යෝත්සවයට සහභාගිවීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා.

ගෞරවනීය ගොඩගම මංගල ස්වාමීන් වහන්සේට ලැබෙන රාජකීය සම්මානය උන්වහන්සේට ලැබෙන ගෞරවයක්, සම්මානයක් වගේම එය අපේ රටටත් විශාල ගෞරවයක්. අපේ අසල්වැසි මිත‍්‍ර රාජ්‍යයන් වන මහා භාරතය, නේපාලය, බුරුමය හා තායිලන්තය බෞද්ධ දර්ශනය සමග බැඳී තිබෙන රාජ්‍යයන් ලෙසයි අපි දකින්නේ. බොහෝ වේලාවට ලංකා ඉතිහාසයේ අපට සතුටු විය හැකි තැන් සහ සතුටු විය නොහැකි තැන් අපි දන්නවා. ආක‍්‍රමණශීලී ප‍්‍රතිපත්තීන් ක‍්‍රියාත්මක වූ යුගයන් තුළ අසල්වැසි රටවල් සමග තිබූ මිත‍්‍රත්වය බිඳ වැටුණත් ථේරවාදී බෞද්ධ දර්ශනය ඇසුරෙන් මේ කලාපය තුළ සබඳතා වඩාත් ශක්තිමත් වුණා. ඒ නිසා ථෙරවාදී බෞද්ධ දර්ශනයේ ප‍්‍රබෝධය සමග ඇති වූ සමාජීය වෙනස්කම්, ආධ්‍යාත්මික වශයෙන් මිනිසුන්ගේ යහපත්කම වගේම ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් වීමට විශාල පිටිවහලක්, ශක්තියක්, පදනමක් වූ බව අපි දන්නවා.

තායිලන්තය සහ ශ‍්‍රී ලංකාව අතරේ තිබෙන්නා වූ සම්බන්ධතාවය ථේරවාදී බෞද්ධ දර්ශනය හේතු කොටගෙනයි වඩාත් ශක්තිමත් වුණේ. එමෙන්ම මහා භාරතය, ඉන්දියාව ගත් විට මිහිඳු මහරහතන් වහන්සේගේ, සංඝමිත්තා තෙරණියගේ ආගමනය සමගම අපේ සම්බන්ධතාවයන් වඩාත් ශක්තිමත් වුණා. ඒ නිසයි මා සඳහන් කළේ ආක‍්‍රමණශීලි ප‍්‍රතිපත්තීන් වෙළෙඳ ප‍්‍රතිපත්තීන් නිසා ඉතිහාසයේ ගැටුම් ඇති වුණත් මේ කලාපයේ මිත‍්‍ර රාජ්‍යයන් තුළ වඩාත්ම සුහදශීලි මිත‍්‍රශීලි පදනමක් ඇතිවන්නට බෞද්ධ දර්ශනයයි පදනම් වුණේ.

දඹුල්ල රාජමහා විහාරයේ විහාරාධිපති ධුරය දරන ගෞරවනීය, පූජනීය ගොඩගම මංගල ස්වාමින්ද්‍රයාණන් වහන්සේ ධර්මධර, විනයධර, උගුත්, ප‍්‍රබුද්ධ, පරිණත ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් අප කාගේත් ගෞරවයට පාත‍්‍රවන අප කාගේත් ප‍්‍රසාදය දිනාගෙන තිබෙන ජනතාවගේ ගෞරවයට පාත‍්‍ර වූ ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේට තායිලන්ත රජය මගින් රාජකීය සියම් රාජ්‍ය සම්මානය පිරිනැමීම පිළිබඳව තායිලන්ත රජයටත් එහි ගෞරවනීය මහා සංඝ සභාවටත් එමෙන්ම සංඝරාජ ස්වාමීන් වහන්සේලාටත් තායිලන්ත ජනතාවටත් ශ‍්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් අපේ ගෞරවනීය ප‍්‍රණාමය සහ ස්තුතිය මේ අවස්ථාවේ පිරිනමනවා.

ගෞරවනීය ගොඩගම මංගල ස්වාමීන් වහන්සේ පිළිබඳව අපට බොහෝ දේ කතා කිරීමට ඇතත් උන්වහන්සේට මේ පිරිනැමුණු ගෞරව රාජකීය සම්මානය අප රජය විදියටත් බෞද්ධ ජනතාව වගේම ලාංකික ජනතාව විදියටත් උතුම් කොට සලකමින් එය ඉතාමත් සතුට ඇති කරනු ලබන කාරණයක් ලෙස අපි සලකනවා.”

Related posts

ශ්‍රී ලංකාව ණය පැහැරහරින්න රුසියා – ‘ෆිච්’ආයතනයෙන් අනතුරු අඟවීමක්

colombotoday

හූල්ගේ චුට්ටි අඩුපාඩුවක් අල්ලන් චප්ප කරන එක හොද නෑ

colombotoday

රට පුරා අදත් තෙල් පෝලිම්.. නැව එන්නේ 09 වැනිදා !

colombotoday

නීතිය කාටත් එකයි කියන රටේ ඇමතිකම් කරන බදියුදීන් මන්නාරමේදී නීතිය නිරුවත් කළ හැටි මෙන්න

colombotoday

ක්‍රීඩාපිටියක දෙමළ පාසලක් හදන්න ගිය ජෝන් ඇමතිට, වත්තලදී පන්නා පන්නා හූ කියයි !

colombotoday

යාපනයේ හින්දු කෝවිලක් හා දේව රූප කඩා විනාශ කරයි

colombotoday