ජෙලටින් කියන්නේ කතාබහට ලක්විය යුතු නමුත් ශ්‍රී ලාංකීය ආහාර ක්ෂේත්‍රය තුළ නිසි අවධානයක් නොලැබුනු මාතෘකාවක්.
මොනවද මේ ජෙලටින්?
අස්ථි සහ සත්ත්ව සම්බන්ධක පටක වලින් ලබාගත් කොලැජන් වලින් සකස් කළ බහුකාර්ය සංඝටකයක් තමයි ජෙලටින් කියන්නේ.
මෙය ප්‍රධාන වශයෙන් ජෙලි (Jelly) සහ මාෂ්මෙලෝස් (Marshmallows) ඇතුළු තවත් ආහාර ගණනාවක් සඳහා භාවිතා කරනවා.
ජෙලටින් වල ඉතිහාසය පැරණි ඊජිප්තු ශිෂ්ටාචාර දක්වා දිවයන්නක්. ඔවුන් ආහාර නිෂ්පාදනය සඳහා මෙන්ම මළසිරුරු සංරක්ෂණ කටයුතු සඳහා ජෙලටින් යොදාගෙන තිබෙනවා. 17 සහ 18 වන සියවස්හිදී ජෙලටින් නිෂ්පාදනය තවදුරටත් වැඩිදියුණු වී ඇති අතර අද වනතුරු වසර ගණනක් මුළුල්ලේ ජෙලටින් නිෂ්පාදනයේ ප්‍රමුඛයන් වී ඇත්තේ බටහිර යුරෝපයයි.
ඉතින් ඇත්තටම ජෙලටින් කියන්නේ නිර්මාංශ ආහාර සංඝටකයක් නෙවෙයි. වර්තමානය වනවිට Vegan Concept එක යටතේ ශාකමය ජෙලටින් නිෂ්පාදන වෙළෙඳපොළේ තිබුනත් අපි නිරන්තරයෙන් ආහාරයට ගන්නා කෑම වල අන්තර්ගත වෙන්නේ Vegan Gelatin නොවෙයි.. ප්‍රධාන වශයෙන් ජෙලටින් සැකසීමේදී යොදාගන්නේ ඌරු සහ ගව අස්ථි හා සම් කොටස්. මෙලෙස සකස් කරන ජෙලටින් වල මූලිකවම අන්තර්ගත වන්නේත් කොලැජන්, ජලය සහ අම්ල.
ලංකාවේ මේ පිළිබඳව යම්කිසි කතාබහකට ලක්වුනේ කිරි ආහාර සැකසීමේදී ජෙලටින් යොදාගැනීම සම්බන්ධයෙන්. 2018 සිටම ඊට අදාළව රතු එළි පේන්න තිබුනත් අද වනතුරුත් එම කරුණු නිරාකරණය නොවී තිබීම ගැටලුවක්. කුඩා පරිමාණ නිෂ්පාදකයන්, ව්‍යවසායකයින් පමණක් නොව ප්‍රමුඛ පෙළේ සමාගම් ද කිරි ඝන කිරීම සඳහා ජෙලටින් භාවිතා කරන බව මෙන්ම කිරි ඝන කිරීම සඳහා ජෙලටින් භාවිතය නීතිගත කරන මෙන් ඉල්ලා සිටින බවද, හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වරෙක ප්‍රකාශ කර තිබුනා.
කිරි ආහාර වල අන්තර්ගත ජෙලටින් ඇතැම් අවස්ථාවලදී ගැබිණි කාන්තාවන්ට හා ළදරුවන්ට හානිදායක වූ පුවත් කිහිපයක්ම වාර්තා වී ඇති අතර ලංකාවේ දරුවන් අතර ඉතා ප්‍රසිද්ධ “ජෙලි යෝගට්” හි කිරි සහ ජෙලි ස්ථර අතර වර්ධනය වන දිලීර වර්ගයක් පිළිබඳවද මෑතකදී වාර්තා වී තිබුනා. ඒ අනුව කිරි ආහාර සඳහා ජෙලටින් මිශ්‍ර කිරීම නිසි විසඳුමක් නොමැති පැහැදිලි අර්බුදයක් පවතින බව පෙනීයනවා.
ආහාර, විශේෂයෙන් කිරි ආහාර සඳහා ජෙලටින් භාවිතය ලංකාවට පමණක් අදාළ ගැටලුවක් නොවෙයි. බන්ධනකාරකයක් ලෙස ජෙලටින් භාවිතය බොහෝ රටවල සාමාන්‍ය දෙයක්. නමුත්, මෙහි ගැටලුව වන්නේ එලෙස ජෙලටින් යොදාගැනීමේදී නිසි ප්‍රමිතීන් අනුගමනය කරනවාද යන්නයි. මන්ද උදාහරණයකින් එය ඔබට පැහැදිලි කරන්නේ නම්, ඔබ යෝගට් (Yoghurt) එකක් හෝ, මුදවපු කිරි (Curd) එකක් ආහාරයට ගන්නා විට හැන්දකින් වෙන්කරන කොටස පැහැදිලි දාරයකින් වෙන්වන්නේ නම් සැළකිය යුතු තරමේ ජෙලටින් ප්‍රමාණයක් එහි අන්තර්ගතයි. නමුත් ප්‍රමිතිගත නිෂ්පාදනයක එවැනි පැහැදිලි, තියුණු දාරයක් දැකිය නොහැකියි. අප නිරන්තරයෙන් ලබාගන්නා නිෂ්පාදන පිළිබඳව එයින් අදහසක් ගත හැකියැයි සිතනවා.
ඒ අනුව, තිරසාර ආහාර නිෂ්පාදනය පිළිබඳව දිනපතා කතා කෙරෙන ලෝකයක මෙම අර්බුදකාරී තත්ත්වය පිළිබඳව මීට වඩා අවධානයක් යොමු වියයුතු බව පමණක් අවසන් වශයෙන් සඳහන් කරන්නට කැමතියි.
සටහන – Lima