ArticlesColombo Today Local News

මහඇමති නාටකයෙන් හෙළි වූ යහපාලන නිරුවත !

sarath weerasekara 23

වර්ෂ 2009 මැයි මස 18 වැනි දින ත්‍රස්තවාදය පරදා ජයග්‍රහණය ලැබූ පසු සෑම වසරකම මැයි 18 වැනි දින විජයග්‍රහණයේ පෙළපාළිය පැවැත්වූ අන්දමත් වර්තමාන රජය බලයට පත් වූ පසු ‘දෙමළ ජනතාවගේ සිත්, වේදනාවට පත්වේය’ යන වංචනික කුහකකාරණය ඉදිරියට දමා එම රණවිරු උපහාර උළෙල නොපැවැත්වූ අන්දමත් අපි දුටුවෙමු. එය එසේ වුවත් උතුරේ ශිවාජිලිංගම් සහ විග්නේෂ්වරන් සහ යාපනයේ විශ්ව විද්‍යාලය තුළ එම සිසුන් විසින් මියගිය ත්‍රස්තවාදීන් සැමරූ අන්දමත් අප බලා සිටියෙමු.

වසර 30ක් ත්‍රස්තවාදයෙන් බැට කෑ රට ඉන් මුදා ගත්තේ රණවිරුවන්ය. ජනාධිපතිවරු 4 දෙනකුට ජයගත නොහැකි වූ එම යුද්ධය ජයග්‍රහණය කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාය. යුද්ධය ජයගැනීමට දේශපාලන නායකත්වය දුන්නේ මහින්ද රාජපක්ෂ වන අතර ත්‍රිවිධ හමුදාව, ‍පොලිසිය සහ සිවිල් ආරක්ෂක බළකාය එම ඉලක්කය සඳහා මෙහෙයවූයේ ගෝඨාභය රාජපක්ෂය. එසේ නම් භීතියෙන් ඇලලී ගිය ජනතාව ඉන් මුදවා බියක් සැකක් නැතිව ජීවත්වීමේ නිදහස ලබා දුන්නේ වර්තමාන රජයේ සිටින කවුරුත් නොව මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ අභීත රණවිරුවන්ය. එම රණවිරුවන් අතර මියගිය රණවිරුවන් 29,000ක් ද, පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වූ රණ විරුවන් 14,000ක් ද සිටිති. පසුගිය රජය වසරක් පාසා විජයග්‍රහණයේ පෙළපාළිය පවත්වා කෘතවේදීත්වය ප්‍රකාශ කළේ එම රණවිරුවන්ටය. මෙම රජය මෙම පෙළපාළිය නොපවත්වා දෙමළ ඩයස්‍පෝරාව සහ දෙමළ බෙදුම්වාදීන් ඉදිරියේ පාවා දුන්නේ ද එම රණවිරුවන්මය.

රට බේරාගත් රණවිරුවන් සම්බන්ධයෙන් වර්තමාන රජය දක්වන මෙම ආකල්පය තේරුම් ගැනීමට එතරම් අපහසු නොවේ. අද රටකරවන නායකයෝ සියලු දෙනාම පාහේ යුද්ධය ජයගැනීමට නොහැකි යැයි කී අය වෙති. යන්නේ කිලිනොච්චියට නොව මැදවච්චියට යැයි ද අලිමංකඩට නොව පාමංකඩට යැයි ද කියමින් ජීවිත කැපකරමින් ඉදිරියට යන රණවිරුවන්ව සමච්චලයට ලක් කළේ රවි කරුණානායක ඇමැතිවරයාය. වර්තමාන අගමැති තොප්පිගල යනු ත්‍රස්ත ගුහාවක් නොව නිකම්ම නිකම් කැලයක් යැයි කියමින් තොප්පිගල මෙහෙයුම අවඥාවට ලක් කළ අයෙකි. ඕනෑම ගොනෙකුට යුද කළ හැකි යැයි පැවසුවේ ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිය. මංගල සමරවීර සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක, ඩිලාන් පෙරේරා වැනි අය සුදු නෙළුම, තවලම යනාදී වැඩසටහන් දියත් කරමින් යුද කරන සෙබළා සහ හමුදාවට බැඳීමට සූදානම් වූ තරුණ තරුණියන් සම්පූර්ණයෙන්ම අධෛර්යයට පත් කළවුන් වෙති.

එසේම වර්තමාන රජයේ ප්‍රබල නායකයින් සහ අනුශාසකවරුන් සියල්ලම දරුණු ෆෙඩරල්වාදීහු ද වෙති. චන්ද්‍රිකා මැතිනිය පීටොම් සහ පැකේජය මගින් උතුර ප්‍රභාකරන්ට ලියා දීමට සැරසුණු අයුරු ද, රනිල් වික්‍රමසිංහ ඊනියා සාම ගිවිසුම මගින් ත්‍රස්තවාදීන්ට සමාජීය, ආර්ථික, දේශපාලන සහ යුදමය අතින් ඉතා ප්‍රබල ලෙස ශක්තිමත් වීමට ඉඩ ප්‍රස්ථාව සැලසූ අයරු ද අපට අමතක කළ හැකි නොවේ. එසේ නම් උතුර ෆෙඩරල් කිරීමට වලිකන සහ ත්‍රස්තවාදීන්ට එරෙහිව දියත් කළ යුද්ධයට එදා සිටම විරුද්ධ වූ, එම යුද්ධය නැවැත්වීමට බටහිර රටවල් සමග එක්ව විශාල ප්‍රයත්නයක් දැරූ දෙමළ ඩයස්‍පෝරාව, විග්නේෂ්වරන්, දෙමළ බෙදුම්වාදීන් සහ රනිල්, චන්ද්‍රිකා, රාජිත, ඩිලාන් ඇතුළු වර්තමාන රජයේ නායකයින් අතර කිසිදු වෙනසක් නොමැති බව පැවසීම මුසාවක් නොවේ.

වර්තමාන රජය බලයට පැමිණි වහාම කළේ ජාතික ආරක්ෂාවෙහි කොඳු නාරටිය වූ බුද්ධි අංශය අකර්මණ්‍ය කිරීමයි. අත්අඩංගුවට ගත්, ත්‍රස්තවාදය නිම කිරීමට මහත් දායකත්වයක් දැරූ බුද්ධි නිලධාරීන් අදටත් රිමාන්ඩ් භාරයේ දුක් විඳිති. අනෙක් පැත්තෙන් අත්අඩංගුවේ සිටින මිනීමරු ත්‍රස්තවාදීන් නිදහස් කොට යවති. ත්‍රස්තයන් සමග අභීතව සටන් වැදුණු එක් රණ විරුවෙක් අද මරණීය දණ්ඩනයට නියම කොට තිබේ. උතුරේ අධි ආරක්ෂක කලාප සංකෝචනය කරමින් තිබෙන අතර අත්‍යවශ්‍ය කඳවුරු ද ඉවත් කරමින් සිටී.

සාමාන්‍ය දෙමළ ජනතාවගේ ජීවිත බේරා ගැනීමට බොහෝ අවස්ථාවල තම ජීවිත සහ ශරීර අවයව පවා කැප කරමින් විශිෂ්ට සේවයක් කළ රණවිරුවන් යුද අපරාධ, ස්ත්‍රී දූෂණ කළාය කියා මංගල සමරවීර විදේශ ඇමැතිවරයා ජිනීවාහි දී (ඇමෙරිකාව සමග) පිළිගෙන රට බේරාගත් රණවිරුවා සහ සමස්ත ජාතියම ඉතා දීන ලෙස පාවා දී තිබේ. තම රටේ රණවිරුවන් ඒ අයුරින් නින්දිත අයුරින් පාවා දුන් ලෝකයේ එකම විදේශ අමාත්‍යවරයා ඔහු විය යුතුය. එසේ නම් විග්නේෂ්වරන් සහ ශිවාජිලිංගම් මියගිය ත්‍රස්තවාදීන් ඔවුන්ගේ විරුවන් මෙන් සමරන්නේ ද විපක්ෂ නායක සම්පන්දන් යුද හමුදා කඳවුරුවලට බලහත්කාරයෙන් කඩාවදින්නේ ද, යුද හමුදා කඳවුරු දමා ඇත්තේ ඔවුන්ගේ ඉඩම්වල බැවින් කඳවුරු ඉන් ඉවත් කළ යුතු යැයි කියමින් සුමන්තිරන් පුරසාරම් දොඩවන්නේ ද වර්තමාන රජයේ පාලකයින් කොටි හිතවාදීන් බැව් ඔවුන් ඉතා හොඳින් දන්නා නිසාය. පසුගිය රජය සමයේ ඔවුන් එවන් දෑ කිරීමෙන් වැළකුණේ එම රජය කොටිත්‍රස්තයින්ට/දෙමළ බෙදුම්වාදයට දැඩිසේ එරෙහි බැව් දැනගෙන සිටි නිසාය.

පසුගිය දිනෙක නැගෙනහිර පෙදෙසේ ප්‍රධාන ඇමැතිවරයා සාම්පූර් කඳවුරේ නාවික අණදෙන නිලධාරිතුමාට ඉතා පහත් අන්දමින් බැණ වදින්නේ මෙවන් වාතාවරණයක් තුළය. එසේ ප්‍රධාන ඇමැතිගේ අතපල්ලෙන් වැටුණු සේවකයකුගේ තත්ත්වයට රණවිරුවන් පත් කළේ කවුද? ත්‍රිවිධ හමුදාවම එක්ව එයට විරුද්ධව නැගී සිටි අන්දම ද, ප්‍රධාන ඇමැතිවරයාට කිසිම හමුදා කඳවුරකට ඒම තහනම් කළ අන්දම ද, පසුව ප්‍රධාන ඇමැතිවරයා ත්‍රිවිධ හමුදාවෙන් ප්‍රසිද්ධියේ සමාව ගත් අන්දම ද අද ‍ලේඛනගත වී හමාරය. නමුත් ඇත්ත වශයෙන්ම මෙහි දී ප්‍රථමයෙන් ත්‍රිවිධ හමුදාවෙන් සමාව ගත යුත්තේ ප්‍රධාන ඇමැතිවරයා නොව රණවිරුවා සමාජයේ එවන් පහත් තත්ත්වයකට ඇද දැමූ වර්තමාන රජයේ ඊනියා පාලකයින්ය.

මේ සම්බන්ධයෙන් රාජිත සේනාරත්න ඇමැතිවරයා අමුතු කතාවක් කියයි. ප්‍රධාන ඇමැතිවරයාගේ හැසිරීම පිළිබඳව මහා කලබැගෑනියක් කරන්නේ ඔහු මුස්ලිම් වූ නිසා යැයි ද ප්‍රධාන ඇමැති සිංහලයෙක් වූවා නම් මෙතරම් කලබලයක් සිදුවන්නේ නැතැයි ද ඔහු විලිලජ්ජාවෙන් තොරව පවසයි. මුස්ලිම් ඇමැතිවරයෙක්ට ත්‍රිවිධ හමුදාවෙන් ප්‍රසිද්ධියේ සමාව ගැනීමට සිදුවීම රාජිත සේනාරත්නට විඳ දරාගත නොහැකි කාරණයක් වී ඇති බැව් පැහැදිලිය.

මුස්ලිම් ජාතිකයින්ගේ ඡන්ද මත යැපෙන ඔහුගෙන් ඊට වඩා දෙයක් අපට බලා‍පොරොත්තු විය හැකි නොවේ. නමුත් මේ සිද්ධිය මුස්ලිම්/සිංහල ප්‍රශ්නයක් ලෙස ප්‍රසිද්ධියේ හුවා දක්වා ජාතිවාදය ඇවිස්සීම පිළිබඳව රාජිත නම්වර්තමාන රජයේ බලගතු ඇමැතිවරයා ලජ්ජාවට පත්විය යුතුය. මෙහි දී අපහාසයට, අපකීර්තියට, පිළිකුලට භාජනය වූයේ රණවිරුවෙකි. රණවිරුවාට ඒ දේ කළ එකාගේ ජාතිය කුමක් වුවත් රජයක් විසින් කළ යුත්තේ ඒ පුද්ගලයාට විරුද්ධව කටයුතු කිරීමය. මෙහි දී රජය ඒ පිළිබඳව නිවට ලෙස නිහඬව සිටින අතර රාජිත සේනාරත්න, එම නිහීන ක්‍රියාව කළ ප්‍රධාන ඇමැතිට එරෙහිව නැගුණ සමාජ විරෝධය සිංහල/මුස්ලිම් ප්‍රශ්නයක් බවට පත් කරමින් මුස්ලිම් ජනයාගේ සිත් තුළ සිංහල විරෝධී හැඟීම් ජනිත කරලීමට උත්සාහ දරමින් සිටී. මුස්ලිම් ජනතාව රවටා ඔවුන්ගේ ඡන්ද ලබාගැනීමට රාජිත සේනාරත්න සිංහල ජාතිය පාවාදුන් ප්‍රථම අවස්ථාව මෙය නොවන බව ද අප දනිමු.

මෙම සිද්ධියේ දී මුස්ලිම්/සිංහල නැති ප්‍රශ්නයක් ඇදගෙන ජාතිවාදය ඇවිස්සූ නිසා රාජිතට මේ දේත් කිවයුතුව ඇත. නැගෙනහිර පළාත් ප්‍රධාන ඇමැති කෝටිපති ව්‍යාපාරිකයෙක් බව කවුරුත් දනී. ඔහු තම ව්‍යාපාර කටයුතු කිසිම ගැටලුවකින් තොරව කරගෙන යන්නේ ත්‍රස්තවාදයෙන් තොර සාමකාමී පරිසරයක් රටේ තිබෙන නිසාය. රටේ එවන් තත්ත්වයක් ඇති කිරීමට දිවිදුන් 29,000 සහ ආබාධිත 14,000න් 99.9ක්ම සිංහල තරුණ තරුණියෝය.

එසේ නම් සිංහල රණවිරුවන්ගේ කැපවීමෙන් උදා වූ සාමකාමී වාතාවරණය තුළ ව්‍යාපාර කටයුතු කරමින් කෝටිපතියෙක් වී සිටින මුස්ලිම් ජාතිකයෙක් සිංහල රණවිරුවෙක්ට එසේ පහත් අන්දමින් බැණවැදීම ගැන රාජිත කියන්නේ කුමක්දැයි දැනගැනීම වටී. වසර 2500ක් තිස්සේ රට පර සතුරන්ගෙන් සහ ත්‍රස්තවාදයෙන් බේරාගත්තේ උදක්ම සිංහලයන් වන අතර එවන් රටක දෙමළ/මුස්ලිම් ජනතාව සමග සහෝදරයින් සේ ජීවත් වන්නේ සිංහලයින් ජාතිවාදී නොවන බැවිනි. මුස්ලි ඡන්ද ඩැහැගැනීමට සිංහල විරෝධී ස්ථාවරයන් ගෙන ජාතිය පාවාදීමට සැදී පැහැදී සිටින රාජිත මෙම සිද්ධියේ දී සිංහලයින් ජාතිවාදී යැයි හැඟවීමට ගත් මෙම නින්දිත උත්සාහය දේශප්‍රේමී සිංහල ජනතාව දැඩිසේ හෙළා දකින බව කිව යුතුය.

තමන් කළ ක්‍රියාවෙහි බරපතළකම දැනී ත්‍රිවිධ හමුදාවෙන් සමාව ගත් ප්‍රධාන ඇමැති මෙන් රාජිත සේනාරත්න ද තමන් කළ එම අමන ප්‍රකාශය සම්බන්ධයෙන් සමස්ත ජාතියෙන්ම සමාව ගත යුතුව ඇත.

රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර

Related posts

නැගෙනහිර ගම්බිම් වලින් සිංහල ජනතාව පන්නා දැමීමට එරෙහිව මඩකලපුවේ විරෝධතා !

colombotoday

විවාදයට ගැනුණු පුනරුත්ථාපන පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත වෙයි..

Admin

පාස්කු ප්‍රහාරයේදී පුපුරා ගියේ දරුණු අන්තවාදයයි. | කාදිනල්ගෙන් යලිත් යු-ටර්න් එකක්.

colombotoday

කොරෝනා වෛරසයට ප්‍රතිශක්තීකරණය ලබාදෙන ඖෂධ 10කට සූත්‍ර කමිටුවේ අනුමැතිය.

colombotoday

මහියංගනය ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවැනිවර කීයවීම පරාජය වීමෙන් උණුසුම් තත්වයක්.

colombotoday

මරාගෙන මැරෙන්න 11 දෙනෙක්‌ සූදානම් කරලා ඉඳලා

colombotoday