Colombo Today Local News

එක්වෙනවාද, නැද්ද.. තීරණාත්මක සාකච්ඡාව අද

ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණයේ එක්ව තරග කිරීමේ හැකියාව ගැන තවත් සාකච්ඡාවක් අද (නොවැ 28) පැවැත්වීමට නියමිතය.

සෙනසුරාදා රාත්‍රියේ පැවති මූලික සාකච්ඡාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් වන මහින්ද යාපා අබේවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි හා සී.බී රත්නායක සහභාගී වී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සහභාගිවී තිබුණේ අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා සහ ලසන්ත අලගියවන්නයි.

“මූලික එකඟතා කිහිපයකට අපිට එන්න පුළුවන් වුනා. නමුත් ප්‍රතිපත්තිමය කාරණා කිහිපයක් ගැන අපිට අපේ නායකයන් සමග සාකච්ඡා කරන්න අවශ්‍යයි. ඒ ගැන එකඟතාවකට එන්න බැරිවුනා. ඒ ගැන දෙපාර්ශ්වයේම නායකත්වය සමග සාකච්ඡා කරලා නැවත අඟහරුවාදා රැස්වෙනවා තීරණයකට එළඹෙන්න” සෙනසුරාදා පැවති සාකච්ඡා ගැන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා මාධ්‍යයට පැවසුවේය.

සාකච්ඡා වූ කොන්දේසි රහසක් :

දෙපාර්ශ්වයම සාකච්ඡා වූ කොන්දේසි මොනවාදැයි තවමත් හෙළිකර නොමැත.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට අගමැතිකම හෝ විපක්ෂ නායකකම ලබාදීම මෙම සාකච්ඡාවල කොන්දේසි බවට මධ්‍ය වර්තා පළවුවත් දෙපාර්ශ්යම එය ප්‍රතික්ෂේප කර තිබේ.

පෙරේදා උත්සවයකින් අනතුරුව මාධ්‍ය ඇමතූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දෙපාර්ශ්වය අතර පැවැත්වෙන සාකච්ඡා ගැන සුබවාදීව අදහස් පළ කළේය.

“අපේ මන්ත්‍රී කණ්ඩායම තුන්දෙකෙන් පත්කරලා තියෙනවා. එයාලට වගකීමක් බාරදුන්නා. ඒගොල්ලෝ ඒක අපිට දැන් වාර්තා කරයි”

“සමහර අය ප්‍රකාශ කරනවා වගේ අගමැතිකම හෝ විපක්ෂ නායකකම ගන්න අපි කෙටි මාර්ග හෙව්වේ නැහැ. කරන්නෙත් නැහැ. ඒවා සම්පුර්ණ මඩගැහිල්ලක්” එක්වීමේ කොන්දේසි තමන්ට තනතුරු ලබාගැනීමට යැයි පළකර ඇති අදහස් හිටපු ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළේය.

අපේ ජනාධිපති අපට දෙන්න :

”ශ්‍රීලනිපය එක්කල හැක්කේ ජනපති මෛත්‍රීට පමණයි”

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වුවහොත් එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය හා එක්ව ආණ්ඩුවක් පිහිටුවන බවට පළකර ඇති අදහසක් ගැන මාධ්‍යවේදියෙක් හිටපු ජනාධිපතිවරයාගෙන් විමසු විට ඔහු පැවසුවේ “ඒක තමයි අපිටත් ඕන යන්න කියන්නකෝ බලන්න, අපේ කට්ටිය අපිට දෙන්න, එතකොට ඉවරයි, අපේ ජනාධිපති එතකොට අපි බලාගන්නම්” යනුවෙනුයි.

හිටපු ජනාධිපතිවරයා සතිඅන්ත සන්ඩේ ටයිම්ස් පුවත්පතට පවසා තිබුණේ පක්ෂය එකමුතු කළ හැක්කේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පමණක් බවය.

“වෙන කිසිවකුටත් බැහැ. ඔහු විධායක ජනාධිපතිවරයා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා” යනුවෙන් හිටපු ජනාධිපතිවරයා පැවසූ බව එම පුවත්පතේ සඳහන් විය.

අපේක්ෂකයින් රැසක් අපහසුතාවයට :

මේ අතර මෙලෙස දෙපාර්ශ්වය අතර සාකච්ඡා ඉදිරියට යද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හා එක්බද්ධ විපක්ෂයේ පොදු ජන පෙරමුණෙන් ඉදිරි මැතිවරණයට තරග කිරීමට සුදනම්වූ අපේක්ෂකයන් දැඩි අපහසුතාවයට පත්ව තිබේ.

මෙම ලැයිස්තු දෙක එක් ලැයිස්තුවක් වුවහොත් ඡන්ද අපේක්ෂකයන් රැසකට අවස්ථාව අහිමිවේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයන්ට 40%ක අවස්ථාවකුත්, ඒකාබද්ධ විපක්ෂයේ අපේක්ෂකයන්ට 40%ක අවස්ථාවකුත්, අනිකුත් පක්ෂවල අපේක්ෂකයන්ට 20%කුත් ලබාදීමේ පදනම මත දෙපාර්ශ්වයේ සාකච්ඡා සිදුවන බව වාර්තා වේ.

මේ ගැන බීබීසි සිංහල සේවයට අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරයෙක් පැවසුවේ අපේක්ෂක ලැයිස්තු ගැන ගැටලුවක් පැවතියත්, දෙපාර්ශ්වයක් තරග කළහොත් එක්සත් ජාතික පක්ෂය ශක්තිමත්වීම වැළැක්විය නොහැකි බවය.

BBC සිංහල

Related posts

මන්ත්‍රී ජොන්ස්ටන් නිදොස්කොට නිදහස්…

colombotoday

උසාවි තහනමත් නොතකා මුතුරාජවෙල ගොඩකරයි

colombotoday

ත්‍රීරෝද රථ මීටර් අනිවාර්ය කිරීම අගමැති වෙන්න හීන දකින නිදියන ඇමතිගේ මෝඩ තීරණයක් !

colombotoday

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිදු පාර්ශ්වයක් සමග ඩීල් දැමීමේ අවශ්‍යතාවක් නැහැ – ජනපති කියයි

colombotoday

නළලේ කොටාගෙන නොසිටියාට මා හොඳ බෞද්ධයෙක් – හර්ෂ ද සිල්වා පිළිතුරු දෙයි

colombotoday

එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවේ හමුදා භටයින් එක් කර නොගන්න – කොටි හිතවාදීන් ඉල්ලයි

colombotoday