Colombo Today Local News

ලොව ප්‍රබලතම භූමි කම්පාව මෙම වසර අවසානයට පෙර ඉන්දියන් සාගරයේ..!

පසුගිය සැප්තැම්බරයේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝදි මහතාට ලැබුණා යෑයි කියන ලිපියකින් කියෑවුණු ආරංචියක්‌ ගැන සමාජ ජාල මාධ්‍යයන් තුළ ආන්දෝලනාත්මක කතාබහක්‌ මතුවිය. ලිපියේ සඳහන් වූයේ 2017 වසර අවසාන වන්නට පෙර ඇති වන මහා භූ කම්පනයක්‌ හා සුනාමියක්‌ පිළිබඳවය. ඒ ලිපිය පහත පරිදිය.

ගරු අගමැතිතුමනි,

2017 දෙසැම්බැර් මස 31 වැනි දිනට පෙර ඉන්දියානු සාගරයේ මහා භූ කම්පනයක්‌ සිදු වන්නට නියමිතය. මෙම මහා භූ කම්පනයෙන් ආසියානු මහද්වීපයට අයත් සියලු වෙරළ තීරයන්ට මහත් බලපෑමක්‌ එල්ල වනු ඇත. තව ද මෙම භූ කම්පනයේ බලපෑම ඉන්දියාව, චීනය, ජපානය, පාකිස්‌තානය, නේපාලය, බංග්ලාදේශය, තායිලන්තය, ඉන්දුනීසියාව, ඇෆ්ගනිස්‌ථානය හා ශ්‍රී ලංකාව යන රටවල් හැම එකකටම බලපානු ලබනු ඇති අතර, එයින් නොනැවතී ගල්ෆ් කලාපයේ රටවල් බලා ද මෙහි බලපෑම විහිදී යනු ඇත.

පැයට කිලෝමීටර් 120 ත් 180 ත් අතර වේගයකින් හමා යන ෂීශ්මා කුණාටුව ද මෙකී කාලසීමාව තුළ බලාපොරොත්තු විය හැකි අතර අධික වර්ෂාව ද සමඟ සුනාමි රළ ද මතුවිය හැකිය.

මෙකී නිරීක්‌ෂණයන් කරන ලද්දේ ප්‍රගුණ කළ ඓන්ද්‍රීය සංජානනය මඟිනි.

ස්‌තුතියි,
මෙයට අවංක,
බාබු කාලයිල්.

බාබු කාලයිල් යනු ඉන්දියානු මහාචාර්යවරයෙකි. ඓන්ද්‍රීය සංජානනය පිළිබඳ පර්යේෂණ කරන කේරලයේ B’ K’ Research Association for E’S’P හි පර්යේෂකයෙකි.මේ ඉන්දියානු මහාචාර්යවරයා වරෙක තම ඓන්ද්‍රීය සංජානන බලය භාවිතයෙන් අනාවැකි කීමේ හැකියාව පිළිබඳව ස්‌වදේශීය මාධ්‍ය නාළිකාවකට විස්‌තරයක්‌ ද ඉදිරිපත් කර තිබිණ.“මට එවැනි දර්ශනයක්‌ පේන්න කලින් මගේ මොළයත් ශරීරයත් අධික ලෙස රත්වෙනවා. මට එක දිගට රූප රාමු වැලක්‌ පේන්න පටන් ගන්නවා. හරියටම චිත්‍රපටියක දර්ශන වගේ ඒ දර්ශන පෙළ පැහැදිලියි. ඒ ආකාරයෙන් තමයි මම සුනාමිය පිළිබඳ සිදුවීමත් දැක්‌කේ. මගේ මනස මෙහෙයවලා ඒ සුනාමියෙන් සිදුවන බලපෑම පිළිබඳව මම වැඩිදුර විස්‌තර අනාවරණය කරගත්තා”. ඔහු එහිදී පැවසීය.ඔහු විසින් ප්‍රබල භූ කම්පනයක්‌ පිළිබඳ මේ ලිපිය ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝදි මහතාට එවා ඇත්තේ පසුගිය සැප්තැම්බරයේදී ය. රටවල් එකොළහකට බලපාන දැවැන්ත සුනාමියක්‌ ගැන කියෑවෙන මේ ලිපිය එතැන් පටන් ඒ රටවල් වල මිනිසුන් නොසන්සුන් කරවන්නටත්, ලොව කළඹන්නටත් පටන් ගත්තේය.ක්‌ෂේත්‍රයට අදාළ විවිධ විද්වතුන් හා ආයතන මේ පිළිබඳව අදහස්‌ දක්‌වන්නට පටන් ගත්තේ ඒ නොසන්සුන්භාවයත් සමඟිනි.ඉන්දියානු සාගරයේ හටගන්නා මහත් වූ භූ කම්පනයකින් හා සුනාමියකින් ආසියාතික රටවල් එකොළහක්‌ විනාශ වෙතැයි යන මේ මතය ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව විසින් දැඩිව ප්‍රතික්‌ෂේප කරයි. එරට ජාතික කාලගුණ මෙහෙයුම් සහ භූ භෞතික විද්‍යා මධ්‍යස්‌ථානයේ අධ්‍යක්‌ෂක ආචාර්ය මොහොද් හිෂාම් මොහොමද් අනිප් පවසන්නේ එවන් ව්‍යසනයක්‌ සිදුවන බව තහවුරු කෙරෙන කිසිම විද්‍යාත්මක සාධකයක්‌ නැති බවයි. එසේම භූමි කම්පාවක ක්‍රියාකාරීත්වය මාස ගණනකට පෙර ප්‍රකාශ කළ හැකි අන්දමේ තාක්‌ෂණයක්‌ දැනට ලෝකයේ කොතැනකවත් සොයාගෙන නැති බව ද ඔහු පවසයි.“දැනට තියෙන්නේ භූමි කම්පාවක්‌ සිදුවන්නට ආසන්න කාලයකදී එය සිදුවෙන දිනය ප්‍රකාශ කිරීමේ තාක්‌ෂණයක්‌ පමණයි. මාස ගණනකට කලින් භූමි කම්පාවක ස්‌වරූපය, එය බලපාන රටවල් ආදී හැම එකක්‌ම කියන්න පුළුවන් විදිහේ තාක්‌ෂණයක්‌ තාමත් ලෝකෙ කෙහෙවත් නෑ”. ඔහු පවසයි. “ඉන්දියානු සාගරයේ යම් තැනක අවුරුද්ද අවසානයේදී භූ කම්පනයක්‌, සුනාමියක්‌ කුණාටුවක්‌ ඇතිවන බව අවුරුද්ද මැදදී කිව හැකි කිසිම විද්‍යානුකූල උපකරණයක්‌ නෑ. බාබු කාලයිල් මේ අනාවැකි විදිහට ප්‍රකාශ කරන්නේ ඔහුගේම හිතලුවක්‌”.මැලේසියාවේ සාබාන් විශ්වවිද්‍යාලයේ, ස්‌වභාවික ව්‍යසන පර්යේෂණ මධ්‍යස්‌ථානයේ අධ්‍යක්‌ෂක මහාචාර්ය ෆෙලික්‌ස්‌ ටොන්ග්කුල් පවසනුයේ ද මෙකී සුනාමිය හා භූ කම්පනය පිළිබඳව ප්‍රකාශ කොට ඇත්තේ කිසිදු පිළිගතහැකි විද්‍යානුකූල තහවුරු කිරීමකින් තොරව වන බවයි. කිසිම ආකාරයකින් පර්යේෂණයක්‌ නොකොට මෙවැනි ප්‍රකාශ නිකුත් කරන්නේ කෙසේ ද යන්නත්, ඔහු ප්‍රශ්න කරයි. ඉන්දියානු විද්‍යාඥයාව ඔහු කිසිදු ආකාරයකින් විවේචනය නොකරන නමුත් නිසි තහවුරු කිරීමක්‌ නොමැතිව සමාජ ජාලවල පතුරුවා හැරෙන මෙබඳු පුවත් නිසා ජනතාව බියට පත්විය හැකි බව ඔහු පවසයි. මෙතෙක්‌ එවැනි දෙයක්‌ විද්‍යාත්මකව තහවුරු වී නැති බැවින් අනවශ්‍ය ලෙස කලබල වීමෙන් වැළකෙන්නැයි ඔහු ජනතාවට කියා සිටියි.එහෙත් මීට දින කිහිපයකට පෙර ඉන්දියානු ටිබෙට්‌ දේශ සීමාවේ ඇතිවුණු රිච්ටර් මාපක 6.9 ක ප්‍රබල භූ කම්පනය හේතුවෙන් බාබු කාලයිල්ගේ අනාවැකිය සාර්ථක වේ දැයි මිනිසුන් අතර යළිත් බියක්‌ පැතිර යමින් පවතියි.

Related posts

මාළිගාවත්ත දුම්රිය අංගනයේ නියාමකවරුන් වර්ජනයක

Admin

10 වැනිදා සිට එජාප තනි ආණ්ඩුවක්…

colombotoday

මාධ්‍යවේදියාට කොරෝනා නැති බව තහවුරු වෙයි

colombotoday

අභ්‍යන්තර පරීක්ෂණයකට තමිල්ණාඩුව විරුද්ධයි, කෝටියක් එක්ක පාරට බහිනවා

colombotoday

හම්බන්තොට ඉඩම් චීනයට දෙන්න “රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථාව“ පිහිටුවයි

colombotoday

පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10 දක්වා කල් තැබෙයි

colombotoday