Colombo Today Local News

“සරත් විජේසූරිය ඇතුළු එන්.ජී.ඕ. නඩය සෝභිත හිමි නාමයට මුවාවී රට අරාජික කරනවා” – පාහියන්ගල ආනන්ද සාගර හිමි

සරත් විජේසූරිය ඇතුළු එන්.ජී.ඕ. නඩයක් මාදුළුවාවේ සෝභිත හිමිගේ නම ඉදිරියට දමා පටු අරමුණු වෙනුවෙන් රට අරාජික කිරිමට කටයුතු කරමින් සිටින බව ජාතික සංඝ සම්මේලනයේ ලේකම් පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ පැවැසූහ.

උන්වහන්සේ එසේ පැවැසුවේ කොළඹ 07, ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමින්ය.

උන්වහන්සේ වැඩිදුරටත් මෙසේද පැවැසූහ.

පසුගියදා බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී පැවැති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දෙවැනි ගුණ සමරු වැඩසටහනට අපිත් ගියා. එහිදී මහාචාර්ය සරත් විජේසූරිය මහත්තය කරපු කතාව පොතක් වශයෙන් මුද්‍රණය කොට බෙදා දුන්නා.

ඔහු කළ කතාවට විරුද්ධව භික්‍ෂුන් වහන්සේ පිරිසක් ඒ අවස්ථාවේ සභාවෙන් පිටව ගියා. මාදුළුවාවේ සෝභිත හිමිගෙත් ප්‍රගතිශීලී ස්වාමීන් වහන්සේගේත් අදහස් සම්පූර්ණයෙන් විකෘති කිරීම ඊට හේතුවයි. සෝභිත හිමිගේ අදහස වෙනුවට වැරැදි අදහසක් සමාජගත කිරීමට සරත් විජේසූරිය ඇතුළු රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීන් විසින් එම ගුණ සමරු වැඩසටහන වෙනත් ආරකට යොමු කොට තිබුණා.

එහිදී රාජ්‍ය ද්‍රෝහී, දේශද්‍රෝහී, ශාසන විරෝධී ප්‍රකාශ ගණනාවක් සරත් විජේසූරිය සිදුකළා. පොලිස් නිලධාරීන් භාවනා කරන නිසා අපරාධකරුවන්ට අසාමාන්‍ය නිදහසක් උරුමවී ඇති බවත්, බුද්ධි අංශ නිලධාරීන් සෝවාන් වී ඇද්දැයි සැක සිතන බවත් ඔහු කියනවා. මේ ආකාරයට භාවනාව, සෝවාන්වීම ආදී නිර්ලජ්ජිත ලෙස ගර්හාවට ලක් කරනවා.

සරත් විජේසූරිය ඇතුළු එන්.ජී.ඕ. පිරිසක් රට අස්ථාවර කිරීම ඉතා හොඳින් සිදු කරමින් තිබෙනවා. විධායක ජනාධිපති ධුරය අහෝසි විය යුතුයි කියලා සෝභිත ස්වාමින් වහන්සේටත් පෙර සටනක් තිබුණා. හැබැයි ඒ සටන මේ රටේ මිනිස්සු විසින් පරාජය කළා.

2010 ජනාධිපතිවරණයේදී ඒ සටන පරාජය කළා. ඊට පස්සේ සෝභිත ස්වාමින් වහන්සේ පරිවර්තනයක් වුණා. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමෙන්, පළාත් සභාවලට බලය යෑමෙන් රට අස්ථාවර වන බව දැනගත් උන්වහන්සේ විධායක ජනාධිපතිගේ අනිසි බලතල පමණක් ඉවත් විය යුතුයි කියන කාරණයට එකතු වුණා.

මෛත්‍රිපාල මහතාට සහාය පළ කළ සියලු දෙනාත් ඊට එකතු වුණා. ඒ එකතුවීමේ ප්‍රතිඵලය මත ‘මෛත්‍රි පාලනයක් ස්ථාවර රටක්’ කියන ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් විධායක ජනාධිපති ධුරයේ අනිසි බලතල ඉවත් කරන බවට පොරොන්දු වුණා.

ඒවගේම ජනමත විචාරණයට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනවලට නොයන බවටත් පොරොන්දු වුණා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ නැහැ.
19 වැනි සංශෝධනය මඟින් ඒ පොරොන්දුව ඉටු කළා.

ඒත් රාජ්‍ය නොවන සංවිධානවල බෙදුම්වාදීන්ගේ වුවමනාව මත විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කළොත් ස්ථිර වශයෙන්ම අපේ රට අස්ථාවර වෙනවා. ඒත් බලය බෙදිය යුත්තේ මේ රටේ මිනිසුන්ට අධ්‍යාපනය, සෞඛ්‍ය ආදී අයිතීන් ලබා දීමටයි. දෙමළ නිසාම අසාධාරණයක් වෙනව කියල මම විශ්වාස කරන්නේ නැහැ. සියලු ජාතීන්ටම ප්‍රශ්න තිබෙනවා. ඒත් කරුණා මෛත්‍රිය පෙරදැරිව ඔවුන් කෙරේ දේශපාලන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ.

විධායකය අහෝසි කළොත් පැහැදිලිවම රට බෙදෙන බව අවබෝධ කරගත් නිසයි සෝභිත හිමියන් විධායකය අහෝසි කිරීමට විරුද්ධ වුණේ. උන්වහන්සේ ගත් ක්‍රියාමාර්ග 2015දී ජයග්‍රහණය කළා.

ඒත් සෝභිත හිමියන්ගේ ක්‍රියාමාර්ගය ආපසු හරවමින්, රට අස්ථාවරභාවයට පත් කිරීමට අද පිරිසකට අවශ්‍ය වී තිබෙනවා. එන්.ජී.ඕ. නඩවල වුවමනාවට ජනාධිපතිතුමා කටයුතු නොකරාවි කියන විශ්වාසයක් තවමත් ජනතාවට තිබෙනවා. සරත් විජේසූරියලා ඒ ප්‍රගතිශීලී බලවේග නෙවෙයි. ඒ පිරිසට කරන්න පුළුවන් දෙයක් නැහැ.

සරත් විජේසූරියගේ කතාවේදී එයාර් ලංකා දූෂණ, සිරිලිය දූෂණ කතා කරනවා. ඒත් දූෂණ නැති කරන්න ආව මේ පිරිසගෙ මහ බැංකු වංචාව මේ පොතේ නැහැ. ඉතින් මේ කතාව සිරිකොතේ නිර්මාණයක් කියලා පැහැදිලියිනෙ. වෛරය මත දේශපාලනය කරන්න ලෑස්ති වෙන්න එපා.

-මව්බිම

 

Related posts

වැල්ලෙ සුරංගගෙ ගෝලයෙක් පාසල් සිසුන් ට මත්පෙති අලෙවි ක්ලරද්දී අල්ලයි

Admin

පාර්ලිමේන්තුව ගිනියම් වෙයි… සභාගැබේ ගුටි කෙළියක්…

colombotoday

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට බෝම්බ ප්‍රහාරයක් !

colombotoday

සූර් වෙන්න අලුත් කාලසටහනක් එයි !

colombotoday

20 සංශෝධනයේ පෙනෙන නොපෙනෙන අරමුණු

colombotoday

අමෙරිකානු තානාපති, යාපනේදී වියානා සම්මුතිය අමු අමුවේ කඩයි.. බලධාරීන් නෑසූ කන්ව සිටී !

colombotoday