Colombo Today Local News

“13 නොදීම නිසා උතුරේ ජනතාවට අසාධාරණයක් වෙලා.. බලය බෙදීමක් ඕනෑ” – මහින්දානන්ද

දිගින් දිගටම අසාධාරණයට ලක්වූ උතුරේ ජනතාව වෙනුවෙන් බලය බෙදීමක් සිදුවිය යුතුයැයි ඒකාබද්ධ විපක්‍ෂ විශ්වාස කරන බව මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවසීය.

ඒ සඳහා 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තමන් සූදානම් යැයිද මන්ත‍්‍රීවරයා කීය.

ඒකාබද්ධ විපක්‍ෂය පාර්ලිමේන්තු සංකීර්ණයේදී පෙරේදා (1) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා මෙසේද පැවසීය.

යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ප‍්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක අතර මත ගැටීමක් ඇතිව තිබෙනවා. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම, බලය බෙදීම හා මැතිවරණ ක‍්‍රමය සංශෝධනය නව ව්‍යවස්ථාවේ හරය ලෙස සලකන්න පුළුවන්. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට ජනතා විමුක්ති පෙරමුණ හා එක්සත් ජාතික පක්‍ෂය එකඟයි. එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට විරුද්ධයි.

නව මැතිවරණ ක‍්‍රමයකට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එකඟයි. නමුත් එක්සත් ජාතික පක්‍ෂය හා ආණ්ඩුවේ අනෙක් දේශපාලන පක්‍ෂ නව මැතිවරණ ක‍්‍රමයකට විරුද්ධයි. මේ ආකාරයට ප‍්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක කඹ ඇදීම නිසා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි වීම හෝ මැතිවරණ ක‍්‍රමය වෙනස් වීමක් සිදුවෙන්නේ නැහැ. මෙම විවාදයේදී විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම හෝ මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වන්නේ නැහැ. බලය බෙදීම සම්බන්ධයෙන් පමණක් විවාදයට සහභාගීවන සියලූම දෙනා අදහස් දක්වනවා.

පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නා අතුරු කමිටු වාර්තාව සම්බන්ධයෙන් මේ වනවිට රටේ මහා ආන්දෝලනයක් ඇතිව තිබෙනවා. මහා සංඝරත්නය ඇතුළු උගතුන්, බුද්ධිමතුන් සියලූම දෙනා මෙයට තමන්ගේ විරෝධය පළකර තිබෙනවා. මෙම අතුරුවාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ලෙස අපිටත් බරපතළ සැකයක් මතුව තිබෙනවා. පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙන මෙම අතුරු වාර්තාවේ සිංහල, දෙමළ හා ඉංග‍්‍රීසි පිටපත්වල ඒකීය වචනය සඳහන්කර තිබෙන්නේ වෙනස් විදියටයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මතය, ඒකාබද්ධ විපක්‍ෂයේ මතය මේ අතුරු කමිටු වාර්තාවට ඇතුළත් කර නැහැ. මේ විවාද කරන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ මතය ඇතුළත් ව්‍යවස්ථා කෙටුම්පතක් පිළිබඳවයි. කෙටුම්පත හදපු ප‍්‍රධාන කමිටුවල තනතුරු දැරුවේ සුමන්තිරන් මහතායි. ඔවුන්ගේ අතීත  ක‍්‍රියාකාරකම් පිළිබඳව රටවැසියන් දන්නවා. ඒ නිසා මේ කෙටුම්පත සකස් කළ පුද්ගලයන්ගේ චරිත සම්බන්ධයෙන් රට වැසියන්ට විශාල බියක් තිබෙනවා.

උතුරේ ජනතාව වෙනුවෙන් බලය බෙදීමක් සිදුවිය යුතු බව අපි ඉතාම පැහැදිලිවම පිළිගන්නවා. උතුරේ ජනතාවට සිදුවූ අසාධාරණය නිසා ඔවුන් වෙනුවෙන් යමක් සිදුවිය යුතුයි. 13වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලියෙන් උතුරේ ප‍්‍රශ්න සඳහා යම් විසඳුමක් ලබාදුන්නා. නමුත් ජේ.ආර්. ජයවර්ධන මහතා සියලූම බලතල දුන්නේ නැහැ. ඒ නිසා 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සිට සාකච්ඡා කරන්න අපි සූදානම්. අපි බලය බෙදීමට විරුද්ධ නැහැ. නමුත් අගමැතිවරයා හා සුමන්තිරන් මහතා මූලාසනයේ තියාගෙන හදන මෙවැනි අතුරු වාර්තාවලින් බලය බෙදීම සම්බන්ධව සාකච්ඡා කිරීම ගැන අපිට සැකයක් තිබෙනවා.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සියලූම දේශපාලන පක්‍ෂවල සහභාගීත්වයෙන් සර්වපාක්‍ෂික සමුළුවක් කැඳවන බව ජනාධිපතිවරයා ප‍්‍රකාශකර තිබෙනවා. එහෙම සමුළු කැඳවනවා නම් මේවා ගැන පාර්ලිමේන්තුවේ සාකච්ඡා කිරීම අනවශ්‍ය දෙයක්. ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා අගමැතිවරයාට ජනවරමක් ලැබුණේ නැහැ. හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතාත් මේ ව්‍යවස්ථා ක‍්‍රියාවලිය වැරදි බව සඳහන් කරමින් නිවේදනයක් නිකුත්කර තිබුණා. ඒකීය වචනය ඉංග‍්‍රීසි භෂාවෙන් යුනිටරි යනුවෙන් සඳහන් වෙන්නේ නැත්නම් තමන් අත උස්සන්නේ නැති බව අජිත් පී. පෙරේරා නියෝජ්‍ය ඇමතිතුමා ප‍්‍රකාශකර තිබුණා. ආණ්ඩුව හදපු මිනිස්සුත් ආණ්ඩුවේ ප‍්‍රධානියා වන ජනාධිපතිවරයාත් මේ ව්‍යවස්ථා කෙටුම්පතට එකඟ නැහැ.

ඒ නිසා නිසි ආකාරයෙන් සර්ව පාක්‍ෂික සමුළුවක් කැඳවා මහානායක හිමිවරුන්ගේ හා සියලූම දෙනාගෙන් අදහස් ලබාගෙන උතුරේ ජනතාවටත් සාධාරණයක් වන ආකාරයෙන් ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලිය සිදුවෙනවා නම් ඒ සඳහා ඒකාබද්ධ විපක්‍ෂය සම්පූර්ණ සහයෝගය ලබාදෙනවා. මේක 2020 ජනාධිපතිවරණයේදී තමන්ට ඡන්දගන්න බලාගෙන කරන සෙල්ලමක්. මේක උතුරේ ජනතාවට දෙන අයිසින් කේක් කෑල්ලක්. ඒ නිසා මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් බලය බෙදීමක් සිදුවෙන්නේ නැතැයි පැවසීය.

 

Related posts

දුම්රිය මැදිරි 120ක් ධාවනයෙන් ඉවතට

colombotoday

රනිල් ජනපති කර එජාප ආණ්ඩුවක් හැදීමට සූදානම්.. එජාප කෘත්‍යාධිකාරිය හදිසියේ රැස්වෙයි..

colombotoday

වජිර එජාප නායකත්වයට යන මග සකසමින්

colombotoday

ගෝඨාගේ හොර අල්ලන්න ඇමරිකා ගිය FCID ලොක්කා නූලෙන් බේරෙයි !

colombotoday

පානදුර කාන්තා බූරු පිටියක් වටලයි. | පොලීසියෙන් මිදී පැනයාමටත් උත්සාහ කරලා

colombotoday

හන්තාන බෞද්ධ මධ්‍යස්ථාන කඩා දැමූවන් කෝ? මහනාහිමිවරු පොලිසියෙන් විමසති

colombotoday