Colombo Today Local News

නාමල්ගෙන් මිලදී ගත් “මස්ටෑන්ග්” එක මුදාහරින්නැයි අධිකරණය නියෝග කරයි !

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත්ව තිබී පසුව වෙනත් පුද්ගලයෙකු විසින් මිලදී ගත් බව කියන සුපිරි රථයක් මුදාහැරීම සඳහා සති 3ක් ඇතුළත මූලික කටයුතු සිදුකරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.

අදාළ නඩුව අද (03) කැඳවූ අවස්ථාවේදී කඩුවෙල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් විසින් මෙම නියෝගය ලබාදුන් බව අද දෙරණ වාර්තාකරු පවසයි.

නාමල් රාජපක්ෂ මහතාට අයත්ව තිබී පසුව වෙනත් පුද්ගලයෙකු විසින් මිලදී ගනු ලැබූ “ෆෝඩ් මස්ටෑන්ග්“ වර්ගයේ  මෙම සුපිරි මෝටර් රථය කඩුවෙල ප්‍රදේශයේ ගරාජයක තිබී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් සොයාගැනීමෙන් පසුව ඊට එරෙහිව නඩු පවරා තිබුණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් ඩොලර් 49,850ක ණයවර ලිපියක් (LETTER OF CREDIT) මගින් මෙරටට ගෙන්වා ඇති එම සුපිරි මෝටර් රථය පසුව ‘ශාන්ති’ නමැති තැනැත්තියකට රුපියල් ලක්ෂ අසූවකට විකුණා ඇති බව FCID විසින් අධිකරණයට දැනුම් දී තිබිණ.

අද දිනයේ විත්තියේ නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත විසින් අධිකරණයට කරුණු දක්වමින් ඉල්ලා ඇත්තේ මෙම මෝටර් රථය අව් වැසිවලට නිරාවරණයවී එක්තැනක දිරාපත්වෙමින් පවතින නිසා එය මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බැවින් එය මුදාහැරීමට විරෝධය දක්වන බව පැමිණිල්ලේ නීතිඥයින් එහිදී පවසා තිබේ.

කෙසේ වුවත් මේ දක්වා සිදුකරන ලද පරීක්ෂණවලට අදාළව හෝ මෝටර් රථයට නඩු පවරා ඇතිවා මිස වෙනත් කිසිවෙකු හෝ සැකකරුවෙකු ලෙස නම්කර නොමැති තත්ත්වයක් තුළ මෝටර් රථය පවා දිරාපත්වෙමින් පැවතීම කනගාටුවට කරුණක් බැව් විත්තියේ නීතිඥවරයා පෙන්වාදී තිබේ.

මේ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කඩුවෙල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් විසින් මෙම මෝටර් රථය මුදාහැරීම සඳහා මූලික කටයුතු සති 3ක් ඇතුළත සිදුකරන ලෙස නියෝග කළ අතර අදාළ නඩුව යළි එළඹෙන 31 වන දිනට කැඳවීමට තීරණය කර තිබේ.

Related posts

මොරටුවේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට

colombotoday

එජාප මංත්‍රී හේෂා හා තේවරප්පෙරුම අත්අඩංගුවට !

colombotoday

මෙරට කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 1000ත් ඉක්මවයි

colombotoday

මහින්ද අයවැය ඡන්දයට නොආ හේතුව ගම්මන්පිල කියයි

colombotoday

උද්ඝෝෂකයෝ ලෝටස් පාර වසති – දැඩි වාහන තදබදයක්

Admin

මැති සබේ ලිංගික හිරිහැර සොයන්න විශේෂ කමිටුවක්

Admin