Colombo Today Local News

‘දූෂණයට වංචාවට නම් මේ දෙගොල්ලම එකයි‘ – මහාචාර්ය ප්‍රේමා පොඩිමැණිකේ

ජනතාවගේ සාක්‌කු මුදලින් පිරෙන ආර්ථිකයක්‌ ඇති කරන බවට ප්‍රතිඥා දුන් වර්තමාන ආණ්‌ඩුවට පසුගිය ජනවාරි මාසයට දෙවසරක්‌ පිරුණ නමුත් ජනතාව කියන්නේ තමන්ගේ සාක්‌කු නම් තවමත් හිස්‌ බවයි.

මේ පිළිබඳ අප කළ විමසීමකදී මහාචාර්ය ප්‍රේමා පොඩිමැණිකේ පවසන්නේ රටේ ආර්ථිකය වර්ධනය කිරීමට නිසි ක්‍රියාමාර්ග ගැනීමට ආණ්‌ඩුවට නොහැකි වීම නිසා ජනතාවට විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුව ඇති බවයි.

ආණ්‌ඩුව බලාපොරොත්තු වූ විදේශ ආයෝජන නොලැබීම, රුපියල ශීඝ්‍රයෙන් අවප්‍රමාණ වීම සහ මේ ආණ්‌ඩුව යටතේත් ඇතැමුන් මහා පරිමාණ දූෂණ හා වංචා සිදුකිරීම නිසා ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීමට හැකි ආර්ථික සංවර්ධනයක්‌ ඇතිකිරීමට වර්තමාන ආණ්‌ඩුවත් අසමත් වී ඇති බවද ඇයගේ මතයයි.

අපේ රටේ ආර්ථිකයේ ඇතිවී තිබෙන පසුබෑම පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය ප්‍රේමා පොඩිමැණිකේ සමග සිදුකළ සාකච්ඡාවකි මේ.

ආණ්‌ඩුවට දෙවසරක්‌ පිරුණත් ජනතාවට පොරොන්දු වූ ආර්ථික සහන ලබාදීමට තවමත් ආණ්‌ඩුවට නොහැකි වී තිබෙනවා?

දිගින් දිගටම බිඳවැටෙමින් තිබෙන රටේ ආර්ථිකය නංවාලීමට නිසි ක්‍රියාමාර්ගයන් ක්‍රියාත්මක නොවීම නිසා ඇතිවී තිබෙන තත්ත්වයක්‌ හැටියටයි මා මෙය දකින්නෙ. මේ නිසා ජනතාව තුළ ආණ්‌ඩුව කෙරෙහි කලකිරීමකුත් ඇතිවී තිබෙනවා. මේ ආණ්‌ඩුව පිහිටුවා ගැනීමේදී ජනතාව තුළ ආණ්‌ඩුව කෙරෙහි තිබූ විශ්වාසයත් බිඳවැටෙමිනුයි තිබෙන්නෙ. නමුත් ආණ්‌ඩුව කෙරෙහි ජනතා විශ්වාසය බිඳවැටීමට එකම හේතුව ආර්ථිකයේ පසුබෑම පමණක්‌ම නොවෙයි.

පසුගිය ආණ්‌ඩුවේ ඇතැමුන් කළ හොරකම් නතර කළාම ජනතාවට සහන දෙන්න පුළුවන් යෑයි මේ ආණ්‌ඩුවේ බලධාරීන් ජනතාවට පොරොන්දු වුණා. නමුත් අදත් බදු බර වැඩිවෙන්නේ, බැංකු පොලී අනුපාත වැඩිවෙන්නේ අත්‍යාවශ්‍ය භාණ්‌ඩ මිල ඉහළ යන්නේ මේ ආණ්‌ඩුව යටතේත් දූෂණ අක්‍රමිකතා නොඅඩුව සිදුවෙන නිසාද?

අපේ රට දූෂණ අක්‍රමිකතාවලින් ඉහවහා ගිය රටක්‌. දූෂණ අක්‍රමිකතා වළක්‌වාගත්තොත් ආර්ථිකය දියුණු කරල රට සංවර්ධනය කළ හැකි බව ඇත්ත. පසුගිය ආණ්‌ඩුව ඇතැමුන් මහා පරිමාණ දූෂණ වංචා සිදුකළා නම් මේ ආණ්‌ඩුවේ සමහරුත් ඒ පාරෙම යනව නම් ඒ ආණ්‌ඩුව වෙනුවට මේ ආණ්‌ඩුව පත් කරගත්ත කියල රටටවත් ජනතාවටවත් සිදුවන සෙතක්‌ නෑ. දූෂණ වංචා වළක්‌වල ඒ මුදල් රටේ සංවර්ධනයට යොදවන බවට මේ ආණ්‌ඩුව ජනතාවට දුන් පොරොන්දු ක්‍රියාත්මක වෙලා නෑ.

මාධ්‍ය තුළින් හෙළිවන තොරතුරු අනුව දූෂණය හා වංචාව සම්බන්ධයෙන් නම් මේ ආණ්‌ඩුවේ සමහරු යන්නෙත් ගිය ආණ්‌ඩුවේ සමහරු ගිය පාරෙම තමයි. මේ ආණ්‌ඩුව පත්වනවිට ජනතාවට ප්‍රකාශ කළ සහ ඔවුන් මේ රට බාරගන්නා විට ක්‍රියාත්මක කරන බවට පොරොන්දු වුණු ආර්ථික වැඩපිළිවෙළ ක්‍රියාත්මක වුණා නම් ජනතාවගේ ජීවන තත්ත්වය මේ තරම් දුෂ්කර වෙන්නේ නෑ.

මහබැංකුවේ සිදුවුණු වංචාව රටේ සමස්‌ත ආර්ථිකයටම බලපා ඇති බව මහබැංකුවේ ඉහළ නිලධාරීන් කරන ප්‍රකාශ තුළින් දැන් හෙළි වී තිබෙනවා. බැංකු පොලී අනුපාත වැඩිවීමටත් මේ වංචාව හේතු වී ඇතැයි ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා?

මහ බැංකු වංචාව රටේ ආර්ථිකය අඩාල වීමට සෘජුව බලපෑ හේතුවක්‌ වුවත් ආණ්‌ඩුව ඒ සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ගයක්‌ අනුගමනය කළේ නෑ. ඒ ක්‍රියාමාර්ගය අතපසු කිරීමත් රටේ ආර්ථිකය දුර්වල වීමට හේතුවක්‌. වංචාව හා දූෂණයට එරෙහිව දැඩි පියවර ගන්නා බවට ජනතාවට පොරොන්දු වී බලය ලබාගත් ආණ්‌ඩුවක්‌ මෙලෙස කටයුතු කිරීම කිසිසේත්ම සුදුසු නෑ. බැංකු පොලී අනුපාත වැඩිවීම ජනතාවට කෙළින්ම බලපාන දෙයක්‌. ඒවගේම බැංකුවලටත් එය අයහපත් ලෙස බලපාන කාරණයක්‌. රටේ ආර්ථිකයේ වර්තමානයේ සිදුවී තිබෙන පසුබෑමට මේ සියලු දේම හේතු වී තිබෙන බවයි මගේ අදහස.

පෙබරවාරි මාසයේ උද්ධමනය 8.2 ක්‌ ලෙස වාර්තා වී තිබෙනවා?

ජනවාරි මාසයේ 6.5 ක්‌ ලෙස පැවති උද්ධමනය පෙබරවාරි මාසයේ 8.2 ක දක්‌වා වැඩිවී තිබෙනවා. රුපියල අවප්‍රමාණ වීම අද අපේ රටට මුහුණදීමට සිදුව ඇති බරපතළ ප්‍රශ්නයක්‌. විදේශ වෙළඳපළත් සමග ගනුදෙනු කිරීමේදී එම ගනුදෙනු තීරණය වෙන්නෙ රුපියලේ අගය මතයි. ඩොලරයට සාපේක්‌ෂව රුපියලේ අගය ශක්‌තිමත් නම් එය අපට වාසිසහගතයි. නමුත් අද ඩොලරයට සාපේක්‌ෂව රුපියලේ අගය පිරිහිලා තිබෙනවා. එමනිසා ඩොලර් ආදායම අඩුවීමත් රුපියල මත ලබාගත හැකි භාණ්‌ඩ හා සේවා ප්‍රමාණය පහත වැටී තිබෙනවා. උද්ධමනය වැඩිවීමට ප්‍රධාන හේතුව මේක.

රුපියල අවප්‍රමාණ වීම අද ඊයේ ආරම්භ වූ දෙයක්‌ නෙමෙයි. නමුත් කිසිම ආණ්‌ඩුවක්‌ මේ ප්‍රශ්නයට නිසි පියවරක්‌ අරගෙන නෑ. මේ නිසා ඉදිරි කාලයේදීත් අපේ රටේ ආර්ථිකයට ඉතාමත් අහිතකර තත්ත්වයක්‌ නිර්මාණය වෙන්න පුළුවන්. පසුගිය ආණ්‌ඩුව මෙයට විසඳුමක්‌ ලෙස විදේශ සංචිත වෙළඳපොළට මුදාහැරල භාණ්‌ඩ හා සේවා මිල ඉහළ යැම කෘත්‍රිමව පාලනය කළා. නමුත් එය මේ ප්‍රශ්නයට සුදුසු ක්‍රියාමාර්ගයක්‌ නෙමෙයි.

එයින් සිදුවන්නේ මහබැංකුව සතු විදේශ මුදල් සංචිතවල අගය අඩුවෙනව. එවිට විදේශ මුදල් සංචිත ශක්‌තිමත් කිරීම සඳහා වෙනත් ක්‍රියාමාර්ග ගැනීමට සිදුවෙනවා. එමනිසා රුපියල අවප්‍රමාණ වීම වළක්‌වාගැනීමට තිරසාර වැඩපිළිවෙළක්‌ අවශ්‍යයි.

විදේශ ආයෝජන මගින් රටේ ආර්ථිකය ශක්‌තිමත් කරන බව ආණ්‌ඩුව ජනතාවට පොරොන්දු වුණත් බලාපොරොත්තු වූ විදේශ ආයෝජන රටට ලැබුණෙ නෑ. විදේශ ආයෝජකයො ඇයි අපේ රටේ ආයෝජනය කරන්න අකැමැති?

පෞද්ගලික ආයෝජන නැතිව රටක්‌ දියුණු කිරීමට අපහසුයි. දේශීය ආයෝජන තුළින් පමණක්‌ ආර්ථිකය ශක්‌තිමත් කරන්න අමාරුයි. විදේශ ආයෝජන ඕනෑම රටක ආර්ථිකයේ ප්‍රධාන බලවේගයක්‌. පසුගිය කාලේ අපේ රටේ ආයෝජනය කළ සමහරු ඒවා ඉවත් කර ගත්තා.

රටක දේශපාලන ස්‌ථාවරත්වයක්‌ නැතිවන විට ආයෝජකයෝ තමන්ගෙ මුදල් ඒ රටේ ආයෝජනය කරන්න කැමති වෙන්නෙ නෑ. රටක ආර්ථිකය ගමන් කරන ආකාරය පිළිබඳ නිශ්චිත තත්ත්වයක්‌ නොමැති විටත් ආයෝජකයො එන්නෙ නෑ. ඒවගේම තමන්ගෙ ව්‍යාපාර දියුණු කරගත හැකි ආකාරයේ යටිතල පහසුකම් ගැන ඔවුන් සොයා බලනවා.

ඔවුන් මුදල් ආයෝජනය කරන්නෙ අලාභ ලබන්න නොවෙයි. එමනිසා ආයෝජකයින් දිරිමත් වන ආකාරයේ වැඩපිළිවෙළක්‌ අවශ්‍යයි. විදේශ ආයෝජකයින් ඕනෑම රටක තම මුදල් ආයෝජනය කරන්නේ ඒ තුළින් ශක්‌තිමත් විය හැකි බවට ඔවුන් තුළ විශ්වාසයක්‌ ගොඩනැගුණොත් පමණයි. අපේ රට පිළිබඳ එබඳු විශ්වාසයක්‌ විදෙස්‌ ආයෝජකයින් තුළ නැත්නම් ඔවුන් අපේ රටේ මුදල් ආයෝජනය කරන්නෙ නෑ.

අපේ රටේ බදු ප්‍රතිපත්තිය පිළිබඳවත් මේ වනවිට නොයෙක්‌ විවේචන තිබෙනවා. ජනතාවට අධික බදු බරක්‌ පැටවූ බව වර්තමාන ආණ්‌ඩුව පසුගිය ආණ්‌ඩුවේ බලධාරීන්ට කළ ප්‍රධාන චෝදනාවක්‌. නමුත් මේ ආණ්‌ඩුවත් අද ඒ ක්‍රියාමාර්ගයම අනුගමනය කිරීමෙන් ජනතාව දැඩි පීඩනයකට පත්වී සිටිනවා නේද?

බදු ආදායම නැතිව රටක්‌ පාලනය කරන්න බෑ. බදු කියන්නෙ ඕනෑම ආණ්‌ඩුවක ප්‍රධාන ආදායමක්‌. සෘජු බදු සහ වක්‍ර බදු ලෙස අද බදු වර්ග දෙකක්‌ ක්‍රියාත්මක වෙනවා. අපේ රටේ සෘජු බදු ආදායම සියයට 18 ක්‌ පමණ වෙනවා. ඉතිරි සියල්ල වක්‍ර බදු. වක්‍ර බදු කියන්නෙ තමුන් ලබාගන්නා භාණ්‌ඩ හා සේවා වෙනුවෙන් ජනතාව වෙත පැටවෙන බද්දක්‌. මෙය වැඩි වශයෙන් දැනෙන්නෙ සාමාන්‍ය ජනතාවටයි.

බදු බර වැඩිවන විට ජනතාවගෙ ජීවන තත්ත්වය දුෂ්කර වෙනවා. අපේ රටේ මේ තත්ත්වය ඇතිවී තිබෙන්නේ වක්‍ර බදු ප්‍රතිශතය වැඩිවීම නිසයි. වක්‍ර බදු නිසා අද අපේ රටේ අත්‍යාවශ්‍ය භාණ්‌ඩ ඇතුළු සියලුම භාණ්‌ඩ හා සේවා සඳහා වැය කළ යුතු මුදල ඉහළ ගොස්‌ තිබෙනවා. මේ නිසා සාමාන්‍ය ජනතාවට තම එදිනෙදා ජීවිතය පවත්වාගෙන යැම සඳහා වැඩි වියදමක්‌ දරන්නට වී තිබෙනවා.

රටක බදු ප්‍රතිපත්තිය තිබිය යුත්තේ මල නොතලා රොන් ගන්නා බඹරෙකු වගෙයි. බදු ප්‍රතිපත්තිය ජනතාවට පීඩාවක්‌ ගෙන දෙන ආකාරයට ක්‍රියාත්මක වෙනවා නම් භාණ්‌ඩ හා සේවා සඳහා ජනතාවට වැය කරන්නට සිදුවන මුදල ඉහළ යැම අනිවාර්යයි. මෙය අපේ රටේ ජීවන වියදම ඉහළ යැමට ප්‍රධාන හේතුවක්‌.

අපේ රටේ වර්තමාන බදු ප්‍රතිපත්ති සංශෝධනය නොකර මේ තත්ත්වය වෙනස්‌ කරන්න බෑ. අපේ රටේ ක්‍රියාත්මක වෙන්නෙ ඉහළ ආදායම් ලබන පුද්ගලයින්ට වැඩි පීඩනයක්‌ නැති, අඩු ආදායම් ලබන රටේ බහුතර ජනතාවට වැඩි පීඩනයක්‌ ඇති වෙන ආකාරයේ බදු ක්‍රමයකුයි. සෘජු බදු සඳහා වැඩි පිරිසක්‌ දායක කරගැනීමෙන් මේ ක්‍රමය වෙනස්‌ කරන්න පුළුවන්. බදු ක්‍රමයේ සමබරතාවක්‌ ඇතිවන්න ඕන.

අපේ රටේ ක්‍රියාත්මක වන බදු ප්‍රතිපත්තියේ දුර්වලතා නිසා සෘජු බදු ගෙවිය හැකි සහ ගෙවිය යුතු විශාල පිරිසක්‌ බදු ගෙවීමෙන් වැළකී සිටිනවා. රටේ ජාතික ආදායම ශක්‌තිමත් කිරීම සඳහා ඔවුන්ගේ දායකත්වයත් ලබාගත හැකි බදු ක්‍රමයක්‌ ක්‍රියාත්මක වන්නේ නම් සාමාන්‍ය ජනතාව වෙත අද පැටවී තිබෙන බදු බර යම් ප්‍රමාණයකට අඩුකර ගැනීමට හැකිවෙනවා.

Related posts

සීනි ආනයන බද්ද ශත 25 දක්වා අඩු කරයි

colombotoday

නව මුස්ලිම් අන්තවාදයේ සොඳුරු සලකුණ අලි ෂබ්රි

colombotoday

“උතුරේ ගිනි ඇවිළෙනවා.. ‘ආවා ගෲප්’ එකකට පණ දෙනවා.. මේක තමා ඇතිකළ වෙනස“ – විමල්

colombotoday

අර්ජුන මහේන්ද්‍රන් ගැන නීතිපති තෙවැනි වරටත් සිංගප්පුරුවට කළ දැනුම්දීම

colombotoday

ජවිපෙ ජනාධිපති අපේෂකයා අනුර !

colombotoday

මුස්ලිම් නීතිය තහනම් කරන්න.. කාන්තා සංවිධාන අටකින් ඉල්ලීම්

colombotoday