Colombo Today Local News

සැලසුම් ක්‍රියාත්මක කිරීමට පෙර කුණු කන්ද කඩා වැටුණා.. සිදුවූ ඛේදවාචකය ගැන කණගාටුයි

මීතොටමුල්ල කුණු කන්ද ඉවත්කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර ක්‍රියාමාර්ග ගනිමින් තිබුණා. එහෙත් එම වැඩ කටයුතු අවසන්වීමට පෙර මේ ඛේදවාචකය සිදුවූ බවත් ඒ පිළිබඳ රජයේ කනගාටුව ප්‍රකාශ කරන බවත් අග්‍රාමාත්‍යවරයා ජපානයේ සිට මීතොටමුල්ල කුණු කන්දෙන් විපතට පත්වූවන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටී.

එහි වැඩිදුරටත් මෙසේ දැක්වේ.

සිංහල අවුරුද්ද උදාවීමත් සමඟ නොසිතූ විපතකට මුහුණදීමට සිදුවූ මීතොටමුල්ල ප්‍රදේශයේ ජනතාවට අපේ කනගාටුව ප්‍රකාශ කරනවා. මීතොටමුල්ල කුණු කන්ද ඉවත්කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර ක්‍රියාමාර්ග ගනිමින් තිබුණා. එහෙත් එම වැඩකටයුතු අවසන්වීමට පෙර මේ ඛේදවාචකය සිදුවුණා. ඒ පිළිබඳව රජයේ කනගාටුව ප්‍රකාශ කරනවා.

මේ සිද්ධිය දැනගත් විගස අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කළා. මේ සම්බන්ධයෙන් මම ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කරද්දි ඒ වනවිටත් සහනදායි සේවා සම්බන්ධීකරණය ක්‍රියාත්මක කර ඒ වැඩකටයුතු ආරම්භ කර තිබුණා. ප්‍රදේශයේ ආරක්ෂාව පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමා සමඟ සාකච්ඡා කළා. එමෙන්ම කතානායකතුමාත් මේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළා.

එදින නිවාඩු දවසක් වූවත්, ඇති වූ තත්ත්වයට මුහුණදීම සඳහා ස්වදේශ කටයුතු ඇමැතිතුමා නිලධාරින් ඒකරාශි කරගෙන අවශ්‍ය වැඩකටයුතු සිදුකළා. බිම් මට්ටමේ ක්‍රියාමාර්ග පිළිබඳ පොලිස්පතිතුමාත්, හමුදාපතිතුමාත්, එස්. එම්. මරික්කාර් මන්ත්‍රීතුමා සමඟත් සාකච්ඡා කළා. මේ පිළිබඳ මූලික වාර්තා (15) දින පෙරවරුවේ ලැබුණු විගසම කොළඹ දිස්ත්‍රික්ක සම්බන්ධීකරණ කමිටුව ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ රැස්වී විෂය භාර ඇමැතිතුමා සහ නිලධාරින් ඉදිරි වැඩ කටයුතු ගැන සාකච්ඡා කළා. අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, හර්ෂ ද සිල්වා, මරික්කාර්, මුජිබුර් රහුමාන් ඇතුළු මැති ඇමැතිවරු, පළාත් සභා මන්ත්‍රීවරු, පළ‍ාත් ඇමැතිවරු සියලුදෙනාම එක්වී අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලැබුවා. ජනාධිපතිතුමාත් මේ සියලු පාර්ශව සමඟ සාකච්ඡා කළා.

විපතින් ජීවිත හානි වූ තුවාල ලත්, දේපළ අහිමි වූ සියලුදෙනා වෙනුවෙන් සහන ලබාදීමේ ක්‍රියාමාර්ග ගැන එකඟත්වයකට පැමිණ ඒ සම්බන්ධයෙන් පත්කර ඇති කමිටුව කුණු කන්ද ඉවත්කිරීම සම්බන්ධයෙන් ජනතාවට ලබාදුන් පොරොන්දුව කිසිසේත්ම වෙනස් නොකරන බව කිව යුතුයි. ඊට අවශ්‍ය සැලසුම් වේගයෙන් ක්‍රියාත්මක කරමින් සිටින බවත් පැවසීමට කැමතියි. මේ පිළිබඳව ජනාධිපතිතුමා සමඟ මා සාකච්ඡා කළ විට ජනාධිපතිතුමා කියා සිටියේ එම කටයුතු වේගවත් කළ යුතු බවයි. පසුගිය මාස කිහිපය තුළ එස්. එම්. මරික්කාර් මන්ත්‍රීතුමාගේ යෝජනා කිහිපයක් අප පිළිගත්තා. ඒවාත් එම සැලසුම්වලට ඇතුළත් වෙලා තිබෙනවා.

මේ කුණු කන්ද ඉවත්කිරීමේ සියල්ල පරිසරයට හිතකර සහ නීතියට අනුකූල ඒවා. කුණුකන්ද ඉවත්කිරීම නිසා ප්‍රදේශයේ පරිසරයට හානියක් හෝ පරිසර දූෂණයක් සිදුවන්නේ නැහැ. ඒවා බොරු කතා. මේ නිසා ප්‍රධාන ප්‍රශ්නය විසඳීමට රජය ක්‍රියාකරනවා. එය රජයේ වගකීමක්. අහිංසක ජනතාවගේ ජීවිතවලින් මීට වන්දි ගෙවිය යුතු නැහැ. සමහර පාර්ශව සටන්පාඨ ඉදිරියට දමමින්, කොළොන්නාවේ ජනතාව බිල්ලට දෙන එක මම නම් අනුමත කරන්නේ නැහැ.

අපිට තිබෙන්නේ විශේෂයෙන්ම ජනතාව ගැන බලා සහන ලබා දීමයි. විශේෂයෙන්ම මේ නිවාස නැතිවුණ අයට හා ඉවත්කරන අයට අලුත් නිවාස ලබාගැනීමට සාධාරණ වන්දියක් ලබාදිය යුතුයි. ඇත්ත වශයෙන්ම සෑහීමකට පත්විය යුතු විසඳුමක් ඔවුන්ට ලබාදිය යුතුයි. නැත්නම් ඔවුන්ට සිය ජීවිතය ඉදිරියට ගෙන යාමට අමාරු වෙනවා. මට ඕනෑ සෑම කෙනෙකුම සෑහීමකට පත්වන විදිහට එම ක්‍රමවේදය ඉදිරියට ගෙන යාමටයි.

විපතට පත් වූ අය ගලවා ගැනීම සඳහා සිංහල අවුරුදු නිවාඩු කාලයේ සහන සේවා කටයුතු කරගෙන ගිය සියලුදෙනාටම අපි ස්තුති වෙනවා. සම්පූර්ණ වාර්තා ලැබුණු පසු මේ ගැන සවිස්තර ප්‍රකාශයන් කිරීමට රජය බලාපොරොත්තු වෙනවා.

Related posts

ජීවනෝපාය අහිමිවූවන්ට රජයෙන් රුපියල් 2000ක දීමනාවක්

colombotoday

විශ්වවිද්‍යාල වල නව පාඨමාලා 10කට ආචාර්යවරුන්ගේ බරපතළ හිඟයක්

colombotoday

අග්‍රාමාත්‍ය ආගමික කටයුතු සම්බන්ධීකරණ ලේකම් කිත්සිරි ගංගානාත් මහතාගෙන් පින්කම් රැසක්

colombotoday

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ඉන්ධන කාන්දුව ගැන සොයන්න කමිටු 02ක් පත් කරයි

colombotoday

මාර්තු 1 වනදා සිට 9 දා දක්වා කාලය ඇතුලත මෙරටට ඉතාලියෙන් පැමිණි 1000ක් වෙන්නප්පුව, හලාවත, මීගමුවේ නිදැල්ලේ…

colombotoday

ව්‍යවස්ථා කමිටු අතුරු වාර්ථාවෙන් “බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය අහිමි කරලා” – සිංහල බෞද්ධයා නොමග යවන ආණ්ඩුවේ කූට වෑයම මහා සංඝරත්නය හෙළා දකී

colombotoday