Colombo Today Local News

සම්බන්ධන්ලා, සුමන්තිරන්ලා අගමැති රනිල්ව නටවනවා… අර්බුධය අවසන් නෑ – ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක හිමි

වත්මන් දේශපාලන අර්බුදකාරී තත්ත්වය පිළිබදව ඇමරිකාවේ   ප්‍රධාන සංඝනායක පූජ්‍ය වල්පොළ පියනන්ද ස්වාමීන්වහන්සේ  සමග කල සාකච්ඡාවකි මේ.

ශ්‍රී ලංකාවේ ඇතිවූ දේශපාලන අර්බුදය විදේශ ධර්මදූත සේවාවේ නිරත ඔබ වහන්සේ දුටුවේ කෙසේද?

මේ රටේ පාලනයට ඇවිත් සිටින බොහෝ දෙනෙක් අගතිගාමීවෙලයි සිටින්නේ. පක්ෂයක් බදාගත්තම තම තමන්ගෙ නායකයො කියන ඒවා විතරයි නිවැරැදි කියලා හිතන්නෙ. අනිත් සියල්ල වැරැදිය කියන හැඟීමෙන් නායකයො වැඩ කරනවා වගේ පේනවා. ඒ වගේම දේශපාලන පක්ෂයක් තිබූ පළියට කථානායකවරයකුවත්, විනිසුරුවරයකු, භික්ෂුන් වහන්සේ කෙනකු වගේ අය පක්ෂග්‍රාහී වෙන්න හොඳ නැහැ. රනිල් වික්‍රමසිංහ මැතිතුමාලා පාලනයට ආවට පසුව ද්වේෂයෙන් පළිගැනීම් කළා. ඒ අයගෙ පිරිහීමට ඒක හේතු වුණා. මිනිසුන්ගෙ විශ්වාසය නැති වුණා.

ඒත් වරදක් කරලා තියෙනවා නම් ඒකට දඬුවමක් දීම නරකද?

වරදක් කරපු අයට දඬුවම් දීමට ජනතාව විරුද්ධ නැහැ. ඒ එක්කම තමන්ගෙ පැත්තෙ වැරැදි කරන අය හංගන්නව නම් එතැන තිබෙන්නේ කුමන සාධාරණයක්ද? මහ බැංකු හොරකම ගැන කවුරුත් දන්නවා. ඒත් ඒවට දඬුවම් කරන්න කැමැති නැහැ. නමුත් අනිත් අයට එළව එළවා ගහනවා. මහින්ද මහත්තයා රනිල් මහත්තයා හෝ කවුරු බලයට ආවත් හිතට ගන්න ඕන පළිගන්න හොඳ නැහැ කියලා. වරදට දඬුවම් දෙන්න ඕන පළිගැනීමේ චේතනාවෙන් නෙවෙයි. ධර්මාශෝක රජතුමාගේ ප්‍රධාන ප්‍රතිපත්ති 3ක් තිබුණා. ඒ නිසා තමයි මුළු ලෝකයම අදත් එතුමාට ගෞරව කරන්නෙ. සියලු ජනතාව තමන්ගෙ දරුවන් ලෙස හැඳින්වුවා.

දේශපාලනය කුමක් වුවත් දරුවන් හදන තාලෙට රට වැසියන් බලාගන්න ඕන. ඒ වගේම හැම ආගමකටම උදවු කළා. එවැනි ප්‍රතිපත්ති තිබෙන පාලකයන් විනාශ වෙන්නෙ නැහැ. ඒත් අපේ රටේ කුමන පාලකයෙක් බලය ගත්තත් නාස්තිය අඩු වෙන්නෙ නැහැ. මෙවැනි රටකට ඉදිරියට යන්න පුළුවන්ද?

මේ අය කාලෙකට කියනවා දසරාජ ධර්මය අනුව පාලනය කරනවා කියලා. තවත් කාලෙකට සප්ත අපරිහානි ධර්ම ගැන, යහපාලනය ආදී විවිධ කතා කියනවා. ඒ වගෙන් කරන්නෙ වචනවල අගයත් විනාශ කිරීමයි. ඒක හරිම අපරාධයක්. දේශපාලකයන් බොරු නොකියනවා නම්, හොරකම් නොකරනවා නම් බය විය යුතු නැහැ. ඒත් මේ අය එකිනෙකාට බයක් තිබෙනවා වගේ පේනවා. ඒ බය නිසා තමයි තමන්ගෙ ආරක්ෂාවට මේ වැඩ කරන්නෙ. රටට ආදරෙන් නොවෙයි බලය ඉල්ලන්නෙ.

මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති වෙන්න ගත් තීරණය ගැන මොකක්ද අදහස?

මම දැනගත්ත හැටියට මහින්ද මහත්තයා ගත් තීරණය ගැන හාමුදුරුවන්ගෙ වැඩි කැමැත්තක් නැහැ. හැබැයි 2/3 පාර්ලිමේන්තු බලය අරගෙන නව ව්‍යවස්ථාව සම්මත කරගන්න උත්සාහයක් තිබුණා. මන්ත්‍රිවරු වැඩි දෙනෙක් මොළය ඇතිව වැඩ කරන බවක් පෙනෙන්නට නැහැ. වැඩි දෙනෙක් පනත් කියවන බවක් පේන්නෙත් නැහැ. මං හිතන්නෙ ඔය වැඩි දෙනෙක් පනත් කියවල සම්මත කළාද කියන එකත් සැකයි. 19 වැනි හෝ 18 වැනි සංශෝධනවල පරමාර්ථ මොනවද කියලා දැනගෙන වැඩ කළා නම් මේ ප්‍රශ්න මෙහෙම ඇති වෙන්නෙ නැහැ. මේ ඔක්කොම ප්‍රශ්න වෙලා තියෙන්නෙ 19 වැනි සංශෝධනය නිසානෙ. ජනාධිපතිතුමා වුණත් ඒක කියවපු බවක් පේන්නෙ නැහැ. බලතල අඩු වෙන කොට හෝ ඒක ජනාධිපතිතුමා තේරුම් ගෙන දැන්වත් එඩිතරව සිටීම හොඳ දෙයක්.

ජාත්‍යන්තරයේ මැදිහත්වීම් මත මේ අර්බුද උත්සන්න වූ බව ඇතැම් අයගේ අදහස?

ඒක රනිල් වික්‍රමසිංහ මහත්තයල ඕනෑකමින් ජාත්‍යන්තරයට මේ ප්‍රශ්නය දුන්නා. ජාත්‍යන්තරයේ ඉන්න අන්ත දක්ෂිණාංශික කණ්ඩායම් මේ රටේ බලය අල්ලාගෙන ඒ බලය තුළින් තමන්ගෙ ශක්තිය පෙන්වන්නට ලෑස්ති වෙනවා. ඉතිං ඒ අයට මොවුන් ‍ෙදාර ඇරල දුන්නා. මොවුන් බලයට පත්වුණු පසුව ඇතැම් තානාපතිවරු මාධ්‍ය සාකච්ඡා පවත්වන තත්ත්වයට පත්වුණා. මට මතකයි ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමා බි්‍රතාන්‍ය තානාපතිවරයකු පැය 24න් රටින් පිටුවහල් කළා. හොර ඡන්ද දැමීම කියලා පොලිසියකට පැමිණිලි කිරීම තමයි ඊට හේතුව. තානාපතිවරුන් කියන්නෙ මේ රටේ පාලකයන් නොවන බව කියමින් පරිපාලනයට ඇඟිලි ගහන්න ඉඩ දුන්නෙ නැහැ. ඒත් මේ අය දණින් වැටිලා ආරාධනා කරනවා. මුදල්, ආශීර්වාද, උපදෙස් පතනවා. 2015 මැතිවරණයෙදීත් විදේශ රටවල් ඊට මැදිහත් වෙලා තිබෙනවා. ඉන්දියාව ප්‍රසිද්ධියේ කළා. ඇමෙරිකාව කළා කියලා කියනවා. නෝර්වේ කළා. යුරෝපා සංගමය ආදී රටවල් සල්ලිවලින් විවිධ බලපෑම් කරනවා. එදත් කළා. අදත් කරනවා. රටට ආදරේ කරන කණ්ඩායම මේ ගැන හිතන බවක් පේන්න නැහැ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී බවට ලබාදුන් තීන්දුවෙන් පසුව ඊළඟට කුමක් විය යුතු වූවා කියලද ඔබ වහන්සේ සිතන්නෙ..?

මං හිතන්නෙ ජනමත විචාරණයකට යොමු වීම තමයි හොඳම විකල්පය. පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කලියෙනුත් කරන්න තිබුණේ ඒක. පාර්ලිමේන්තුව කල්දමා ගන්න ජේ.ආර්. ජනාධිපතිතුමාත් ඒක කළා. දැනුත් පාර්ලිමේන්තුව තියා ගන්න ඕනද එපාද කියලා ජනතාවගෙන් විමසන්න පුළුවන්කම තිබුණා. ඒකෙදි ජනතාව හිතනවා නම් රට කැබැලි වුණත් අද කාල ජොලියෙන් ඉන්නවා කියලා ඒකට කරන්න දෙයක් නැහැ. ඒත් ඉන් මෙපිට තිබෙන ව්‍යවස්ථාදායකයේ සහ විධායකයේ ප්‍රශ්නය විසඳන්න ක්‍රමයක් නැහැ. ජනමත විචාරණයකට යෑමට අවස්ථාව ඇත නැත ආදී තර්ක තියෙන්න ඇති. නමුත් මෙච්චර දුර ගියපු එකේ ඒකත් උරගාල බලන්නයි තිබුණෙ.

ඒත් දැන් යළිත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත්වෙලා? දේශපාලන අර්බුදය අවසන් වේවිද?

මෙහෙමයි, ඔය ප්‍රශ්න ඇති වෙන්න මූලික හේතුව තමයි මම කලින් කිව්වෙ. ඒ ආණ්ඩුවට මහජන විශ්වාසය ආරක්ෂා කරගන්න නොහැකි වුණා. ජාතික සම්පත් විකුණන, විදේශිකයන්ට, එන්.ජී.ඕ. පිරිස්වලට ඕන විදියට වැඩ කරන පිරිසක් ලෙසයි බහුතර ජනතාව හිතන්නෙ. ඒ නිසා තමයි ඔවුන් පෙබරවාරි 10 පළාත් පාලන මැතිවරණයෙන් ප්‍රතික්ෂේප වෙන්නෙ. දැන් වුණත් එජාප ආණ්ඩුවක් ඇති කළේ දෙමළ සන්ධානයේ සහාය ලබා ගත් නිසයි. ඒ අයට මොන පොරොන්දු දීලද කවුද දන්නෙ? වැඩ කරන කොටයි මේවා එළියට එන්නෙ. එහෙම වුණොත් ආයෙත් ජනතාව තමයි පරාජයට පත් වෙන්නේ. ඒ කියන්නෙ අර්බුදය විසඳිලා නැහැ කියන එකයි. මේ අවිනිශ්චිත බව නිසා තමයි අපි මුල සිටම කිව්වෙ ජනතාව ඉදිරියට ගිහිල්ල මේ ප්‍රශ්නය විසඳගන්න කියලා.

මෙවැනි අවස්ථාවක මහජනතාවගේ වගකීම කුමක් විය යුතුද?

අපේ ජනතාව බුද්ධිමත් වෙන්න ඕන. රට, ජාතිය, ආගම විකුණල හරි සමහරු බලය ලබා ගන්න හදනවා. ඒ අතර ඇතැම් අය උසිගැන්වීම් කරනවා. සමහර හාමුදුරුවන් පවා ජනාධිපතිතුමා ඇතුළු අයට බනිනවා. ඒ තුළින් මිනිස්සු ඇවිස්සිලා මිනීමැරුම් සිදුවනවට නම් අපි කැමැති නැහැ.

දෙමළ සන්ධානය ආණ්ඩුවක් සකස් කරන්න සහාය දෙන්න එකඟවීම නව ප්‍රවණතාවක්ද?

සුමන්දිරන්, සම්පන්දන් මහත්වරු පිටුපස එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව ඉන්නවා. කැනඩාව, බි්‍රතාන්‍ය, ඇමෙරිකාව වගේ එම ඩයස්පෝරාව ඉතා බලවත්. ඒ රටවල පාර්ලිමේන්තුව හා රාජ්‍ය නායකයන් පවා නොමඟ යවන්න ඒ අයට පුළුවන්. ඒ බලපෑම් තුළින් රනිල් වික්‍රමසිංහ මහත්තයල නටවනවා. ඔවුන්ට කෙසේ හෝ බලයේ සිටීමනෙ වැදගත් වෙලා තියෙන්නෙ. එජාපයට පාර්ලිමේන්තුවේ 117 බලය හදන්න තමන්ගේ කොන්දේසිවලට එජාපය එකඟ වූ බව සිද්ධාර්ථන් මන්ත්‍රිතුමා දැනටමත් අනාවරණය කොට තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයත් පාර්ලිමේන්තුවෙදි කිව්වා උතුරට දීමනා ටිකක් දෙන්න ඕන කියලා.

ඇතිවූ ගැටලු එක්ක විධායක ජනාධිපති ක්‍රමයත් අභියෝගයට ලක්වෙච්ච නිසා එය තවදුරටත් පවත්වාගෙන යා යුතු නැති බවටත් ඇතැමුන් පවසනවා නේද?

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ස්ථාපිත කරපු පළාත් සභා නිසා විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යෑම අත්‍යවශ්‍යයි. ජනාධිපති බලතල 19 සංශෝධනයෙන් කපපු එක මහා අපරාධයක්.
ජනාධිපති බලතල ඉවත් කිරීම ඉතාම වැරැදියි. ජනාධිපති බලතල තවත් ස්ථාපිත කළ යුතුයි මේ රට ඒකීය රාජ්‍යයක් ලෙස පවතින්න නම්.

ඔබ වහන්සේ වැඩ සිටින ඇමෙරිකාවේ මෙවැනි අර්බුද ඇති වෙන්නෙ නැද්ද..?

වසර හතළිහක් තිස්සෙ මට තියෙන අද්දැකීම් අනුව එරටේ කොංග්‍රස් මණ්ඩලයට හෝ සෙනෙට් සභාවට පත්වෙන්නෙ රටට ආදරේ ඇති බුද්ධිමත් පිරිසක්. ජෝර්ජ් වොෂින්ටන් ජනාධිපති හදපු ව්‍යවස්ථාව අදටත් වෙනස් කරන්න වුවමනාවක් එරටට නැහැ. අද වුණත් පනතක් ගේනව නම් කොංග්‍රසය සාකච්ඡා කරලා ඉහළ සෙනෙට් මණ්ඩලයට යොමු කරනවා. ඒකෙ සංශෝධනය කළ යුතු නම් ඒක සකස් කරල යළි කොංග්‍රසයට යවනවා. ඉන් පසු යළි සෙනෙට් මණ්ඩලයට යවල තමයි සම්මත කරන්නෙ. ඒත් අපේ රටේ දවසෙන් පනත් සම්මත කරනවා.

මෙවැනි ප්‍රශ්නවලදී මහා සංඝරත්නය පවා බෙදී සිටින බවක් පේනවා. කොහොමද මෙහෙම පාලකයන් නිවැරැදි කරන්නේ?

මම හිතන්නෙ හාමුදුරුවරුන්ගෙන් සියයට අනූවකටම මේ වරද පේනවා. සුළු අතළොස්සක් පෞද්ගලික අමනාපකම්, ලාභ ප්‍රයෝජන සඳහා එහෙම වැඩ කරන අවස්ථා තියෙනවා. අර එක හාමුදුරු කෙනකුට ලිට්රෝ ගෑස් සමාගමෙන් මුදල් ගෙව්ව කියලත් හෙළිවෙලා තියෙනවා. නමුත් ඒකෙන් මුළු රටේම සංඝයා වහන්සේලා මනින්න බැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයට හාමුදුරුවරු කැමැති එතුමා හාමුදුරුවරුන්ට ඇහුම්කන් දෙන නිසයි.
ඇමෙරිකා ආර්ථිකය සමඟ ජීවත් වන ඔබ වහන්සේට මෙරට ආර්ථිකය ගැන මොකද හිතෙන්නෙ?

ශ්‍රී ලංකාව හැම අතින්ම එන්න එන්න පිරිහෙනවා කියන එක තමයි අපට පෙනෙන්නෙ. සිරිමාවෝ මැතිනියගෙ කාලයේ දේශීය දේවලට මුල් තැනක් දුන්නා. ගොටුකොළ පවා අපනයනය කළා. අද එවැනි වැඩපිළිවෙළක්, හැඟීමක් පාලක පිරිසට නැහැ. මේ රටින් පිටරටට යන දෙයක් නැති නිසා විදේශ ආදායම අහිමි වෙලා. ජාත්‍යන්තර ආර්ථික ක්‍රමයක් යටතේ යැපෙන්න එක පිරිසක් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා විදේශවලට ජාතික සම්පත් බදු දෙනවා. ඒක ඇමැතිවරයෙක් කිව්ව චීනය හා ඉන්දියාව “බැලන්ස්” කරන්න මේවා දෙනවා කියලා. මෙහෙම බැලන්ස් කළාම අපට මොකක්ද ඉතිරි වෙන්නෙ..? ඇයි මෙච්චර හිඟන තත්ත්වයට, නිවට තත්ත්වයට පත්වෙන්නෙ?

ඇමෙරිකාවේ ප්‍රතිපත්ති මෙහාට හරියන්නෙ නැහැ.

හාමුදුරුවනේ ඇමෙරිකාවේ බුදු දහමට තිබෙන උනන්දුව කෙබඳුද?

ඇමෙරිකාවේ ඉන්නේ ඉතා බුද්ධිමත් පිරිසක්. ඒ අය නිතරම සහනශීලීත්වයක්, කොහෙන් හරි හොඳ දෙයක් එනව නම් පිළිගන්නවා.

සමාජ විද්‍යාවෙදි පවා බුදු දහම උගන්වනවා. මනෝ විද්‍යාව උගන්නන්න බැහැ බුද්ධාගම නැතිව. අනිත් විෂයනුත් එහෙමයි. ඒ නිසා බුද්ධිමත් ආගමක් වන බුදු දහමට ඉහළ පිළිගැනීමක් තිබෙනවා.

දෙනගම ධම්මික රණවීර

Related posts

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයට පනවා තිබූ සීමා ඉවතට

colombotoday

ටෙස්ට් ආකෘතිය වෙනස් කිරීමට මහේල විරුද්ධ වේ.

colombotoday

ජූලි 29 ඉතිහාසයේ කලු දිනයක්.. එදා මාමා කළ දේම අද බෑණා කරයි !

colombotoday

රන්ජන් ද සිල්වා ඝාතනයේ ප්‍රධාන සැකකරු අබුඩාබියේදී අත්අඩංගුවට

colombotoday

ඉතිහාසයේ ප්‍රථම වරට ජනපතිවරයෙක් බලය කප්පාදු කරගන්නේ මෙන්න මෙහෙමයි

colombotoday

ගාල්ලලෙන් බුස්ස‍ට එවූ බන්ධනාගාර රැඳවියෙක් උපවාසයක

Admin