Colombo Today Local News

මානව හිමිකම් ගැන කාදිනල්තුමන්ගේ මතයට එරෙහි වියහැක්කේ මංගල වැනි බටහිර ගැති කලු සුද්දෙකුට පමණයි…

බටහිර මානව හිමිකම් පිළිබඳව අගරදගුරු  මැල්කම් රංජිත් කාදිනල්තුමන් පැවැසූ මතය වැරැදි යැයි පැවැසිය හැක්කේ බටහිර ගැති බව සාඩම්බරයට කාරණයක් යැයි සිතන ඇමැති මංගල පින්සිරි සමරවීර වැනි කළු සුද්දකුට පමණක් යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පවසයි.

අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමන් බටහිර මානව හිමිකම් සංකල්පය පිළිබඳව කළ ප්‍රකාශය ගැන ඇමැති මංගල සමරවීර සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මන්ත්‍රිවරයා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා ඇත.

එහි මෙසේද සඳහන් වේ.
මැල්කම් රංජිත් කාදිනල්තුමන් බටහිර මානව හිමිකම් සංකල්පය බැහැර කරමින් සිදු කරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශය අමාත්‍ය මංගල පින්සිරි සමරවීර මහතාගේ උදහසට හේතු වී තිබේ. මැල්කම් රංජිත් කාදිනල්තුමන්ගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් මංගල පින්සිරි අමාත්‍යවරයා පවසන්නේ, කතෝලිකයන් අන්‍යාගමිකයන්ට එරෙහිව දියත් කරන ලද වද හිංසා හේතුකොට ගෙන මිනිස් අයිතිවාසිකම් පිළිබඳ සංකල්පය බිහිව තිබෙන බවය. මෙමඟින් අමාත්‍යවරයා උත්සාහ කරන්නේ මිනිස් අයිතිවාසිකම් පිළිබඳ බටහිර සංකල්පය ඉහළට නැංවීමට බව පෙනේ.

මංගල පින්සිරි සමරවීර නොදන්නවා වූවාට ශ්‍රී ලංකාව ක්‍රිස්තු පූර්ව සියවස්හි සිට ‘මිනිස් අයිතිවාසිකම්’ පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කර තිබේ. මිනිසාගේ අයිතිවාසිකම්වලට ගරු කළ යුතු බවත් එහි ප්‍රතිඵල වශයෙන් යහපත් සමාජයක් ගොඩනැඟෙන බවත් බුදුන් වහන්සේ දෙසා වදාළේ ක්‍රි.පූ. 6 වැනි සියවස තරම් අෑත අතීතයේදීය. සිඟාලෝවාද සූත්‍රයේදී උන්වහන්සේ පුද්ගලයා සතු අයිතිවාසිකම්වල පැවැත්ම යුතුකම් මත සාපේක්ෂව ආරක්ෂා වන අන්දම පැහැදිලිව දේශනා කරලා තියෙනවා.

ඒ වගේම බුදුන් වහන්සේ වේළුද්වාර සූත්‍රයේදී පැහැදිලි කරලා තියෙන්නේ මිනිසාගේ ජීවත්වීමේ අයිතිය පිළිබඳවය. තමා ජීවත්වනු කැමැති සේම අන්‍යයන්ද ජීවත්වීමට කැමැති බව උන්වහන්සේ එහිදී මනාව පෙන්වා දී ඇත. ප්‍රාණ ඝාතයෙන් වැළකිය යුතු බව බුදුන් වහන්සේ පෙන්වා දුන්නේ ඒ අනුවයි. වාසෙට්ඨ සූත්‍රයේ නිරවුල්ව පෙන්වා දී තිබෙන්නේ අයිතිවාසිකම් අනුව මනුෂ්‍යයන් සෑම පුද්ගලයකුම සමාන විය යුතු බවයි. ලොව තණකොළ, ගස්, වැල් සහ සතුන් අතර විවිධ වෙනස්කම් පැවැතියද මිනිසුන් කෙරෙහි වන විවිධත්වය ඔවුන්ගේම ව්‍යවහාර මාත්‍රයක් බවද මෙමඟින් උන්වහන්සේ අවධාරණය කර ඇත.

ලෝකයේ විවිධ කායික ලක්ෂණ ඇති, විවිධ වර්ණ ඇති, බොහෝ ජාතීහු වාසය කළද ලොව සියලුම ජාතීන් එකම මානව වර්ගයකට අයත් බව නවීන විද්‍යාව පිළිගෙන තිබේ. එහෙත් ඒ බව බුදුන් වහන්සේ දෙසා වදාළේ බටහිර නවීන විද්‍යාවේ ‘අ’ යන්නවත් එළිදක්වා නැති ඉතා අෑත අතීතයේදීය. ශ්‍රී ලංකාව හා එහි වෙසෙන ජනතාව මූලික වශයෙන් පෝෂණය කෙරුණේ එබඳු බුදු දහම තුළිනි.

බදුලු ටැම් ලිපියේ සඳහන් ‘සම්වතා’ යන පදය මහාචාර්ය සෙනරත් පරණවිතානයන් විසින් හඳුන්වා දී තිබෙනුයේ ‘අයිතිවාසිකම් ප්‍රඥප්තිය’ යනුවෙනි.

වෝහාරික තිස්ස රජ සමය (ක්‍රි.ව. 214-236) සියලුම ශාරීරික දඬුවම් ඉවත් කර, හිංසාවෙන් තොර නීති ක්‍රමයක් ඇති කරන ලද්දේ මෙම බෞද්ධ සභ්‍යත්වයේ බලපෑම හේතුකොට ගෙනය.

නිශ්ශංකමල්ල රජ දවසට අයත් ගල්පොත ලිපියෙන් අනාවරණය වූයේ විවිධ රෝගාබාධවලට ලක් වූ අසරණ පුද්ගලයන් වෙත රැකවරණය සලසා ඔවුන්ගේ අයිතිවාසිකම් රැකීමට රාජ්‍යතන්ත්‍රය කටයුතු කළ අන්දමය.

මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ඉතිහාසය අපට උගන්වන බටහිර විද්වත්හු ‘මැග්නකාටා ප්‍රඥප්තිය’ ඒ අරබයා බිහි වූ මුල්ම ලේඛනය ලෙස හඳුන්වති. එහෙත් මෙරට ඉතිහාසය මිනිස් අයිතිවාසිකම් කෙරෙහි සැලකිලිමත්වීමට පටන්ගෙන ඇත්තේ ඊට බොහෝ අෑත අතීතයේ සිට බව පැහැදිලිය. ඉතිහාසය නිවැරැදිව අධ්‍යයනය කරන ලද විට, මෙබඳු උදාහරණ හා තොරතුරු රැසක් ඉදිරිපත් කළ හැකිය.

අපට මානව හිමිකම්, තවත් ජාතියක් පෑගීමට උපකරණයක් වූයේ නැත. එහෙත් බටහිර, මානව හිමිකම් අවිය යොදා ගන්නේ තමාට යටත්කරගත යුතු යැයි සිතන ජාතීන් යටත් කර ගැනීම පිණිසය. මංගල පින්සිරි සමරවීරලා වැනි උපන්ගෙයි බටහිර ගැත්තන්ට මේ බව තේරෙන්නේ නැති වීම පුදුමයක් නොවේ.

මැල්කම් රංජිත් කාදිනල්තුමන් පැවැසුවේ ඒ අන්දමට බෞද්ධ ධර්මයෙන් පෝෂණය වූ සභ්‍යත්වයකට හිමිකම් කියන අපට බටහිර මානව හිමිකම් සංකල්ප පැටවීමේ අවශ්‍යතාවක් නැති බවය. එම මතය වැරැදි යැයි පැවැසිය හැක්කේ බටහිර දැනුම හා බලය හිස්මුදුනින් පිළිගෙන ඊට ගැතිව ක්‍රියා කිරීම සාඩම්බරයට හේතුවක් ලෙස දකින මංගල පින්සිරි සමරවීරලා වැනි කළු සුද්දන්ට පමණි.

එබැවින් මැල්කම් රංජිත් කාදිනල්තුමන්ගේ නිවැරැදි ප්‍රකාශය වටහා ගැනීමේ ඥානයක් නොමැති වීම හේතුකොට ගෙන මංගල පින්සිරි සමරවීර අමාත්‍යවරයා ඒ කෙරෙහි දක්වන ලද පිළිකුල් කටයුතු ප්‍රතිචාරය කෙරෙහි අපි අපේ අනුකම්පාව පළකර සිටින්නෙමු.

 

Related posts

දිස්ත්‍රික්ක දෙකකට නායයෑමේ අනතුරු ඇඟවීම්

Admin

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුම් අංශ ප්‍රධානී අත්අඩංගුවට

colombotoday

කොරෝනා වයිරසය ශීතකරණ තුළ සුරක්ෂිතයි. කල් පැවැත්ම ඉහලයි. අධ්‍යන වාර්තාවකින් හෙළි වේ.

colombotoday

සන්ධානයෙන් කොළඹට අසාද් සාලි.. එජාපයෙන් රෝසි !

colombotoday

සුව සේවා විරුවන්ට උපහාර පිණිස නොමිලේ නිවාඩු පැකේජ 1000ක්

colombotoday

“හත් සැරයක් ගණන් කර එක ඡන්දෙකින් පැරදුණා“ – බේරුවල පරාජය ගැන රාජිත කියයි

colombotoday