අග්‍රාමාත්‍ය වැය ශීර්ෂය කපා හැරීම පිළිබද යෝජනාව සම්මත කිරීමේදී බහුතරයක් තිබේ නම් යෝජනාව පරාජය කරන්නැයි ද බහුතරයක් නැතිනම් ඊට බාධා කරන්නට උත්සාහ කරනු ඇතැයි ද එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (21) පැවසීය. 

විශ්වාසභංගය තහවුරු වී ඇතැයි කතානායකවරයා ප්‍රකාශ කිරීමත් සමඟ කැබිනට් මණ්ඩලය අහෝසි වී යන හෙයින් අගමැතිවරයාට මුදල් වෙන් කිරීමට හැකියාවක් නැති බවට වන යෝජනාව ඉදිරිපත් කළ බව කී වික්‍රමසිංහ මහතා දැන් එම අභියෝගය බාර ගන්නා ලෙසද පැවසීය.

පාර්ලිමේන්තුවේ මෙන්ම රටේ බහුතරය තමා ඇතුළු පුළුල් පෙරමුණට තිබෙන බව කී රනිල් වික්‍රමසිංහ මහතා ඒ නිසා ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම් බවද සඳහන් කළේය.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවේ දී ක්‍රියාකරන ආකාරය දෙස බලා රටට සැබෑ පණිවුඩය ලබාදීමෙන් පසුව ඉදිරියට යන බවද වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් කීය.

කොළඹ අරලියගහ මන්දිරයේ දී එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන් සමඟ පැවති  සාකච්ඡාවකදී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.