Colombo Today Local News

බටහිර දොස්තරලාට බෙහෙත් නෑ. ඔවුන් හොරෙන් දෙන්නේ ආයුර්වේද බෙහෙත්. – ආයුර්වේද දොස්තරලා කොරෝනා නසන්න අවස්තාව ඉල්ලති.

උපාධිදාරී රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ එකමුතුව විසින් ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබෙනවා.. එම ලිපිය…

අතිගරු ජනාධිපතිතුමා
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
කොළඹ.
2020.04.08

විශ්වසනීය ජනාධිපතිතුමනි,

උපාධිදාරී රජයේ ආයුර්වේද වෛද්‍යවරුන් කොරෝනා මර්දනයට සහභාගී කරගනිමු…

බටහිර වෛද්‍ය අධිකාරිය මේ සැරසෙන්නේ බොරදියේ මාළු බෑමට ද? corona ආසාදිත රෝගීන් මෙරටින් හමු වීමත් සමගම ආයුර්වේද වෛද්‍ය දෙපාර්තමේන්තුව යටතේ සේවය කරනු ලබන රජයේ උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන් සහ ආයුර්වේද වෛද්‍ය විද්‍යා ආයතන (විශ්වවිද්‍යාල) මගින් රජය, corona සඳහා ජනාධිපති කාර්ය සාධක බලකාය ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයට දිගින් දිගට ම ඉතා පැහැදිලිව කරුණු දක්වමින් මෙම රෝගීන් සඳහා ආයුර්වේද ප්‍රතිකාර ලබා දීම තුළින් එම රෝගය සුව කරගත හැකි බව දක්වන ලදී. විවිධ අවස්ථාවල දී ප්‍රසිද්ධ මාධ්‍යයන් මගින් ද බොහෝ දැනුවත් කිරීම් සිදු කරන ලදී .

ඒ නමුත් මාස දෙකකට අධික කාලයක් මෙම රෝගී තත්ත්වය ශ්‍රී ලංකාව පුරා පැතිරී යමින් පැවතුනද මේ මොහොත වෙන තෙක්ම ඒ සඳහා අවස්ථාවක් ලබා දී නොමැති බව ඉතා කණගාටුවෙන් වුවද දන්වමු. මාධ්‍යයන් මගින් බටහිරවෛද්‍යවරුන් ගෙන් මෙම ප්‍රශ්නය නගන ලද බොහෝ අවස්ථාවලදී ඔවුන් විවිධ හේතූන් කියාපාමින් ප්‍රශ්නය මග හැර ගියෝය.

විටෙක සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්තුමා පවසන ලද්දේ ආයුර්වේද ප්‍රතිකාර පර්යේෂණ මඟින් තහවුරු කර නොමැති බවයි. එතුමා එම ප්‍රකාශය සිදු කරනු ලැබූවේ වගකීම් සහිතව ද? කරුණු හරිහැටි දැනගෙන දැයි නො දනිමු. ආයුර්වේද ප්‍රතිකාර සඳහා භාවිතා කරන ඖෂධ වල ගුණාත්මක භාවය ලොව පුරා පර්යේෂණ රැසක් සිදුකර තහවුරු කර අවසන්‍ ය.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා ඇතුළු සෞඛ්‍ය කමිටුව වෙනුවෙන් වෙනම ඔප්පු කර පෙන්වීමට අවශ්‍යතාවයක් ඇතැයි නො සිතමු. ඒ පිළිබඳව සොයා නොබලා ප්‍රකාශ නිකුත් කිරීම ඔවුන්ගේ දුර්වල තාවයක් පමණි. තමන් නොදන්නා විෂයක් අධ්‍යයනය නොකොට හිතලු කතා කීම එවැනි තරාතිරමක පුද්ගලයකුට රිසි නොවේ.

තම රට වෙනුවෙන් සේවය කිරීමට සූදානමින් සිටින උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන් හට අවස්තාව නොදී ඔවුන් යටපත් කරමින් බටහිර වෛද්‍ය ඒකාධිකාරයේ බලය පැතිරවීමෙන් මෙම වෛද්‍යවරුන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? සමාජය තුළ ඔවුන් ගොඩනංවා ඇති ප්‍රතිරූපය බිඳවැටීමට බියෙන් මෙලෙස ක්‍රියා කරන්නේද? මහජනතාව වෛද්‍යවරුන් දේවත්වයෙන් සලකන බව සැබෑවකි. එය එසේ වූවාට කම් නැත. නමුත් මේ මාන්න ඇටවීමට අවස්ථාව නොවෙයි.

වෛද්‍ය පාදෙනිය මහතා ද විවිධ අවස්ථා වලදී මාධ්‍ය ඔස්සේ ප්‍රචාර සිදු කරන ලදී. විටෙක ඔහු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලෙස ආයුර්වේද වෛද්‍යවරුන් විසින් වග කියවිය යුතු නිලධාරීන් හරහා ලිඛිතව ඔවුන්ගෙන් ඉල්ලීම් කර නොමැති බව දක්වන අතර තවත් අවස්ථාවක දක්වන්නේ ආයුර්වේද වෛද්‍යවරුන් එක් පොදු චිකිත්සා පද්ධතියක් නොපෙන්වන බවයි.

මේ සියල්ල අසත්‍යය. වගකිවයුතු ආයුර්වේද වෛද්‍යවරුන්ගේද, කථිකාචාර්යවරුන්ගේ සහ අමාත්‍යංශය ප්‍රධානීන්ගේ මැදිහත්වීමෙන් සකස් කරන ලද ක්‍රමවත් යෝජනාවලියක් මේ වන විට ද ඔවුන් වෙත ඉදිරිපත් කර ඇත. ඒ සඳහා තවමත් ඔවුන් අනුමැතිය ලබා දී නොමැත. එයට අනුමැතිය ලබා දීමට ඔවුන් මෙතරම් පසුබට වන්නේ ඇයිද? මෙලෙස ක්‍රියාත්මක වන අතරම ඔවුන් හෙල සුවය කැඳ මුට්ටියක් හා දුම් හට්ටියක් ප්‍රචාරණය කෙරෙමින් යන්නෝය.

ජනාධිපතිතුමනි හෙළ සුවය යනු රජයේ ආයුර්වේද දෙපාර්තුමේන්තුව නොවේ. එය හුදෙක් පෞද්ගලික සංවිධානයකි. ඔවුන් ඖෂධ නොමිලේ ලබා දීමක් ද නොකරයි. රජයේ දෙපාර්තමේන්තුවෙහි රෝහල් සහ ප්‍රජා සෞඛ්‍ය සේවය කරන වෛද්‍යවරුන් විසින් දක්වනු ලබන යෝජනා අනුමත නොකිරීමටත් පෞද්ගලික හෙළ සුවය ප්‍රචාරණය කරමින් යෑමටත් හේතුව කුමක්ද? මෙය ඔවුන්ගේ පෞද්ගලික වාසි මුදුන් පමුණුවා ගැනීම සඳහා සිදු කරනු ලබන්නක් බව පැහැදිලි වේ.

නාථ දෙවියන් සහ වෙනත් නොපෙනෙන බලපෑම් සමග ඉදිරිපත් කරන්නා වූ මෙම හෙළ සුවය ප්‍රතිකාර ක්‍රමය පිළිබඳව වගකීම ගන්නේ බටහිර වෛද්‍යවරුන් ද? ආයුර්වේද දෙපාර්තුමේන්තුව ද? මෙතරම් පැහැදිලි චිකිත්සා පද්ධතියක් ආයුර්වේද රෝහල් තුළ සිදු කෙරෙද්දී එහි විද්‍යාත්මක බව පර්යේෂණ මඟින් පෙන්වන ලෙස පවසන අතරම දේශීයත්වය යන නම ඉදිරියට දමමින් වෙනත් පෞද්ගලික ආයතන වලට වගකීම් පවරනු ලබන්නේ කෙලෙස ද?

බටහිර වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය තුළ මෙම අවස්ථාව සඳහා නිශ්චිත ප්‍රතිකාරයක් නොමැති බව දැන දැනම මිනිසුන් මුළාවට පත් කිරීම යුතු නොවේ. මිනිස් ජීවිත විනාශ වීම සහ වසංගත පැතිරීම පාලනය කරගත නොහැකි අවස්ථාවට ලගාවන විට ඔවුන් පවසන්නේ කුමක්ද? කොරෝනා රෝගය මැඩ පැවැත්වීම සඳහා ඖෂධීය දුම සුදුසු බවත් ඒ බව බටහිර වෛද්‍යවරුන් විසින් තහවුරු කරන බවයි. ඔවුන් පෙන්නන්නෙ මේ සියල්ල ඔවුන් විසින් සොයා ගත් බවයි. මෙහි ඔවුන්ට සොයා ගැනීමට දෙයක් නොමැත. ස්වේද කර්ම හෙවත් ඖෂධීය දූමායන ක්‍රම, දුම් කුටි(steam box), වේදු (inhalation) බොහෝ කාලයක සිට ආයුර්වේද රෝහල් තුළ පවත්වාගෙන යනු ලබන චිකිත්සා ක්‍රමවේද වේ.

එපමණක් නොව මේ සඳහා තවත් ප්‍රතිකාර රාශියක් පවතින අතර දුම් ඇල්ලීම යනු එයින් එක් ප්‍රතිකාරයක් පමණි. එපමණක් නොව මෙම වෛද්‍යවරයා විසින් පවසන ලද්දේ ආයුර්වේද වෛද්‍යවරුන් සතුව යම් දැනුමක් ඇද්ද එය ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණ කමිටුව වෙත ඉදිරිපත් කරන ලෙසයි. එයින් ඔහු හුවා දක්වන්නේ ප්‍රතිකාරය සිදු කරන්නේ ඔවුන් විසින් බවයි.

ගරු ජනාධිපතිතුමනි බටහිර වෛද්‍ය ක්‍රමය තුළ ඉතා විශිෂ්ට ප්‍රතිකාරයන් පවතින බව සත්‍යයකි නමුත් ඔවුන් සර්වබලධාරී දෙවියන් නොවෙයි. නොදන්නා චිකිත්සාවක් කිරීමට ගොස් තම වරිගේ නහගන්නේ නැතිව සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරුන් හට ඔවුන්ගේ කාර්යභාරය රට වෙනුවෙන් ඉටු කිරීමට බාධා නොකොට අවස්ථාව ලබාදීම මේ මොහොතේ කළ යුතු එක ම දෙයයි.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ට නිග්‍රහ කරමින්ම රෝහල් තුළ කොරෝනා රෝගීන් සදහා රහසේ එම ප්‍රතිකාරම ලබාදීම බටහිර වෛද්‍යවරුන් විසින් මේ දක්වා සිදු කරන ලදී. බටහිර ප්‍රතිකාර ක්‍රමය මෙන් නොව ආයුර්වේද ප්‍රතිකාරයේදී සියලුම පුද්ගලයින්ට එකම ඖෂධ ලබා දීමෙන් ප්‍රතිඵලයක් නැත. එම ප්‍රතිකාරය රෝගියාගෙන් රෝගියාට ඔවුන්ගේ ලක්ෂණයන්ට අනුකූලව වෙනස් වේ. ඒ පිළිබඳ අධ්‍යනය කිරීමට බටහිර වෛද්‍ය වරුන්ට අවුරුදු ගණනාවක් ගතවනු ඇත.

corona වසංගතය යනු මේ මොහොතේ පවතින්නක් බැවින් මිනිස් ජීවිත වල වටිනාකම මිල කළ නොහැකි බැවින් මෙම අවස්ථාවේ බටහිර වෛද්‍ය ඒකාධිකාරී බලය විදහා පාමින් අන් අය යටත් කිරීමේ අවස්ථාවක් නො කොට පවතින ව්‍යසනයෙන් රට ගලවා ගැනීමට එම ක්‍රියාව සිදු කළ හැකි සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරුන් සඳහා (රාජ්‍ය සේවයේ නියුතු උපාධිදාරී ආයුර්වේද වෛද්‍යවරුන්) ද එම අවස්ථාව ලබා දෙමින් ඔවුන් සමග එක්ව සහයෝගයෙන් කටයුතු කර ජනතාව වෙත සේවය ලබාදීමට නිහතමානී විය යුතු නොවේ ද? එය අප සියලු සියලුදෙනාගේ යුතුකම මෙන්ම වගකීමයි. මෙය කුලල් කා ගැනීමට අවස්ථාව නොවේ.

මෙම ලිපිය ඔබතුමන් වෙත යොමු කිරීමට අදහස් කළේ පවතින තත්වය යටතේ සිදුවන සියල්ල හොඳින් බලා සිට එය සිදු නොවිය යුත්තක් බැවින් තව තවදුරටත් නිහඬව සිටීමට නො හැකි නිසාවෙනි.

ස්තුතියි
මෙයට විශ්වාසී
උපාධිදාරී රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ එකමුතුව

Related posts

ප්‍රමිති ගැටලු හමුවේ ඖෂධ 65 ක් භාවිතයෙන් ඉවතට…

Admin

අමාත්‍ය ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය කතානායකට බාර දෙයි.

colombotoday

රිෂාඩ්ට පාර්ලිමේන්තු එන්න පසුකම් සලසන්න – පාර්ලිමේන්තු වේත්‍රධාරීවරයා CIDයට දන්වයි

colombotoday

ඉන්ධන අර්බුදය නිසා පාර්ලිමේන්තුවත් වැසෙයි

colombotoday

ජාතික නිදහස් දිනය දා මත්පැන් – මස් අළෙවිසල් වහයි

colombotoday

අගමැති යටතේ ඇති නීතිපති දෙපාර්තමේන්තුව ජනපති යටතට ?

colombotoday