Colombo Today Local News

පාස්කු ප්‍රහාරයේ වගකීම IS ත්‍රස්තයින් භාරගත් හැටි

සමාජ ජාලා ගිණුම් මගින් දැඩි අන්තවාදී මත පතුරවමින් සිටි සහරාන් හෂිම්ට එරෙහිව පියවර ගත යුතු බව සඳහන් කරමින් එවක පොලිස්පති පූජිත් ජයසුන්දරට ලිපි ගොනු යොමු කළද ඔහු ඒ සම්බන්ධයෙන් නියෝගයක් සිදු කර නැතැයි පාස්කු ප්‍රහාරය ගැන සොයන ජනාධිපති කොමිසමේදී ඊයේ (1)දින අනාවරණ වුණි.

පාස්කු ප්‍රහාරයට පෙර සහරාන් දිවයිනේ ස්ථාන 06 කදි පවත්වා ඇති පුහුණු කඳවුරු ගැනත් මෙහිදී කරුණු හෙළි කෙරුණි.

ඉකුත් සිකුරාදා කොමිසම හමුවේ සාක්ෂි දුන් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා යළි ඊයේ දිනයේත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියේය.

පාස්කු ප්‍රහාරයට පෙර මාර්තු මස 28 වන දිනය වන විටත් මාවනැල්ල බුදු පිළිම වලට හානි කිරීමේ සිදුවීම සහ වනාතවිල්ලුව ලැක්ටෝවත්තෙන් සොයාගත් පුපුරන ද්‍රව්‍ය වලට සහරාන් හශිම් සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී තිබුණේ යැයි එහිදී ඔහු හෙළිදරව් කළේය.

පාස්කු ප්‍රහාරයට පෙර සහරාන් විසින් දිවයිනේ ස්ථාන 06 කදි පුහුණු කදවුරු 11ක් පවත්වා ඇති බවද සාක්ෂිකරු මෙහිදී පැවසුවේය.

එම කඳවුරු තිබී ඇත්තේ හම්බන්තොට සෙට්ටිකුලම, මහනුවර ලේවැල්ල, මල්වාන, නුවරඑළිය බ්ලැක්පූල්, නුවරඑළිය ශාන්තිපුර හා මැදවච්චියේ තල්ගහවැව යන ස්ථාන වලයි.

ඒවායේ පුහුණුවීම් සඳහා 25 -30ත් අතර පිරිසක් සහභාගි වී ඇති බවත් ඇතැම් පුහුණුකරුවන් මියගොස් ඇති අතර සෙසු පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවත් සාක්ෂිකරු පැවසුවේය.

එමෙන්ම පාස්කු ප්‍රහාරයට පෙර දින ත්‍රස්තවාදින් රූගත කර, පසුව ප්‍රසිද්ධියට පත් වූ වීඩීයෝව පටිගත කර ඇත්තේ ගල්කිස්සේ Span Towers මහල් නිවාස සංකීර්ණයේදී බව අනාවරණ වී ඇතැයි සාක්ෂිකරු මෙහිදී සඳහන් කළේය.

කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරයෙන් පසු මිය නොගිය ත්‍රස්තවාදින් අත්අඩංගුවට ගැනීමට පෙර අයි.එස් ත්‍රස්තවාදින්ට සම්බන්ධ අමාක් පුවත් සේවයට අදාළ විඩීයෝ දර්ශන යවා ඇති බවත්, පසුව අයි.එස් සංවිධානය එම විඩීයෝව අධ්‍යයනය කිරීමෙන් පසු ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති බවත් සාක්ෂිකරු ජනාධිපති කොමිසම හමුවේ පැහැදිලි කළේය.

අනතුරුව සහරාන් හෂීම් ඔහුගේ ෆේස් බුක් ගිණුමේ පළ කර තිබූ අන්තවාදී ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා 2018 ජනවාරි 06 වැනි දා සිට අවස්ථා රැසකදීම සහරාන් විවිධ අන්තවාදී මාතෘකා යටතේ වූ ප්‍රකාශ තම ෆේස් බුක් ගිණුමට එක් කර තිබූ බව පෙන්වා දුන්නේය.

සමාජ ජාලා ගිණුම් මගින් දැඩි මත සහ සමාජයේ කරුණු විවේචනය කරමින් කල ප්‍රකාශවලින් ජාතික තවුහිද් ජමාත් සංවිධානයට මෙතෙක් එක් නොවුණු මුස්ලිම් තරුණ පිරිස් ඒ වෙත එක් කර ගැනීමක් සිදුවී ඉදිරි කාලයේදී රට තුළ කලබලයක් ඇති විය හැකි නිසා මොහුට විරුද්ධව පියවර ගත යුතු යැයි සඳහන් කරමින් 2018 මාර්තු 16 වැනිදා එවක පොලිස්පතිවරයාට ලිපි ගොනු යැවූ බවද විමර්ශන නිලධාරියා පැවසුවේය.

මෙලෙස තමන් සිදුකළ විමර්ශනය සම්බන්ධයෙන් වූ තොරතුරු අවස්ථා රැසකදී පොලිස්පතිවරයාට යවා තිබුණත් ඔහු ඒ සම්බන්ධයෙන් කිසිදු අවස්ථාවක නියෝගයක් නොකළ බවත්, සිදු කර තිබුණේ වැඩි දුර වාර්තා ඉල්ලීම පමණක් බවත් සාක්ෂිකරු සඳහන් කළේය.

ඉන් අනතුරුව කොමිසම හමුවේ ඉදිරිපත් කෙරුණේ ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා විසින් පොලිස්පතිවරයාට 2018 අප්‍රේල් 12 වැනිදා යොමු කරන ලද ලිපියක්.

සහරාන් 2018 මාර්තු 5 වැනි දා ඔහුගේ ෆේස්බුක් ගිණුමට එක් කර තිබූ අන්තවාදී ප්‍රකාශයක් සම්බන්ධයෙන් වූ තොරතුරු එහි සටහන්ව තිබූ අතර ජාතික බුද්ධි ප්‍රධානියා පොලිස්පතිවරයාට දැනුම් දී තිබුණේ සහරාන් හෂීම්ගේ අදාළ ප්‍රකාශය තවත් පුද්ගලයින් 96 දෙනෙකු විසින් බෙදා හැර තිබූ නිසා අවශ්‍ය පියවර ගෙන සහරාන්ව වළක්වන ලෙසයි.

එමෙන්ම සහරාන් හෂීම්ට එරෙහිව අධිකරණයෙන් විවෘත වරෙන්තුවක් ලබාගෙන ඔහු අත්අඩංගුවට ගැනීමට සිටින බවත්, ඒ පි‍ළිබඳ ඉදිරි පියවර ගැනීම සඳහා සිය කොට්ඨාශය සකස් කළ ලිපි ගොනුවක් 2017 ජුනි 07 වනදා නීතිපති දෙපාර්තමේන්තුවට යැවූ බවත් විමර්ශන නිලධාරියා ප්‍රකාශ කළේය.

නීතිපති දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් ක්‍රියා මාර්ගයක් ගෙන තිබුණේ දැයි කොමිසම නැගූ ප්‍රශ්නයට සාක්ෂිකරු සඳහන් කළේ ‘නැත’ යන්නයි.

සහරාන් හෂීම් ප්‍රමුඛ ජාතික තවුහිද් ජමාත් සංවිධානයට දේශපාලන රැකවරණය ලැබී තිබුණේ දැයි කොමිසම විමසා සිටියේය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ හිටපු නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී සිබ්ලි ෆාරුක් මහතා සහරාන්ට දේශපාලන රැකවරණය දුන් බවට බුද්ධි අංශයෙන් තමාට දැන ගන්නට ලැබුණත් තමා සිදු කළ විමර්ශනයේ දී එවැනි දෙයක් අනාවරණ නොවුණු බවයි සාක්ෂිකරු කොමිසමට පැවසුවේ.

කෙසේවෙතත් පාස්කු ප්‍රහාරයෙන් පසු සමාජ මාධ්‍ය හරහා මෙම ඡායාරූපය සංසරණය වූ අතර එහි දැක්වෙන්නේ සහරාන්ගේ සොහොයුරා වන රිල්වාන් රෝහල් ගතව සිටින අවස්ථාවේදී හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා සමඟ හිටපු පළාත් සභා මන්ත්‍රී සිබ්ලි ෆාරුක් මහතාද රෝහලට ගොස් සිටි ආකාරයයි.

සහරාන් හෂීම් වසර ගණනාවක සිට අන්තවාදී ප්‍රකාශ සිය ෆේස්බුක් ගිණුම හරහා සිදු කරමින් සිටි පසුබිමක සිය කොට්ඨාශය ෆේස්බුක් ආයතනයෙන් ඔහුගේ ගිණුම අත්හිටුවන්නැයි අවස්ථා රැසකදී ඉල්ලීම් කළ බවද සාක්ෂිකරු පැවසුවේය.

නමුත් ඊට නිසි පිළිතුරක් නොලැබුණු පසුබිමක එහි අවසාන උත්සාහය ලෙස 2019 අප්‍රේල් 10 වනදා ශ්‍රී ලංකා හදිසි පරිගණක ප්‍රතිචාර සංසදයේ ද මැදිහත් වී ඒකාබද්ධ ඉල්ලීමක් සිදු කොට දින දෙකකට පසු සහරාන්ගේ ෆේස්බුක් ගිණුම අත්හිටුවීමට ෆේස්බුක් ආයතනය පියවර ගත් බව සාක්ෂිකරු සඳහන් කළේ.

Related posts

ත්‍රස්තවාදයට මුදල් ලබාදීම: ජර්මානු රජය විසින් අන්සාර් ඉන්ටර්නැෂනල් තහනම් කරයි. | ශ්‍රී ලංකාව සමගත් සබඳතා.

colombotoday

ආරක්ෂක ලේකම්ට සහ පොලිස්පතිට ඉල්ලා අස්වෙන ලෙස ජනපති දන්වයි. නව ආරක්ෂක ලේකම් මේජර් දයා රත්නායකද?

colombotoday

හිටපු නීතිපති දප්පුලගෙන් පෙත්සමක්

Admin

වඳ දොස්තර CID භාරයට !

colombotoday

අටලූගම මුස්ලිම් කතගේ පැමිණිල්ලෙන් පසු එවැනි පැමිණිලි සිය ගණනක් බොදුබල සේනාවට ලැබුණා

colombotoday

මහවිල මූකලාන රක්ෂිතයේ අක්කර 30ක වසර සිය ගණනක් ඉපැරණි ගස් කපා විනාශ කරයි

colombotoday