Colombo Today Local News

ගෝඨාභය ජනාධිපති වුනොත් ජාතික ආරක්ෂාව අනතුරකලු. ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වාගෙන් දැඩි විවේචන

හිටපු අරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි නඩුව පවරා ඇත්තේ ද්වේශ සහගත පහත් දේශපාලන අරමුණක් ඉටුකර ගැනීමට බවත්, පෙත්සම්කරුවන් ගොනුකර තිබූ පෙත්සම සකස් කර ඇති ආකාරයෙන්ම ඒ බව පැහැදිලිව පෙනී යන බවත් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ඊයේ (03 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ රටේ ජනාධිපති ධුරයට පත් වුවහොත් රටේ භෞමික අඛණ්ඩතාවට, ජාතික ආරක්ෂාවට හානියක් වියහැකි බැවින් එය වළක්වා ගැනීම සඳහා පෙත්සම ගොනු කළ බව පෙත්සමේ සඳහන් කර තිබෙන බවත්, එවැනි චෝදනාවක් එල්ලකර ඇත්තේ වසර 30 ක් පුරා පැවති කුරිරු යුද්ධය දිනා රට රැකදුන්, ජනතාවට නිදහසේ ජීවත් වීමට අවස්ථාව සලසා දුන් පුද්ගලයාට බව පැවසූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා එවැනි ප්‍රකාශ දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුතු බවත් කීය.

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා එසේ පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසි බලපත්‍රය, ජාතික හැඳුනුම්පත සහ විදේශ ගමන් බලපත්‍රය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ඊයේ වැඩිදුරටත් විභාගයට ගත් අවස්ථාවේදීය.

අභියාචනාධිකරණයේ සභාපති යසන්ත කෝදාගොඩ, මහින්ද සමයවර්ධන, අර්ජුන අබේසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම් විභාගය පැවැත්වේ. ඊයේ පෙත්සම් විභාගය අවසන් වූයේ සවස 6.15 ටය.

නඩු විභාගය නැරඹීම සඳහා පැමිණ සිටි නීතිඥවරු හා සෙසු අයගෙන් උසාවි ශාලාව පිරී තිබුණ අතර උසාවිය අවටද විශාල පිරිසක් රැස්ව සිටියහ. ජ්‍යෙෂ්ඨ නීතිඥවරු කීප දෙනෙක් පැවසුවේ මතක ඇති කාලයක මෙතරම් රෑ බෝවන තෙක් අභියාචනාධිකරණයේ නඩු විභාගයක් පැවැත් වී නැති බවය.

ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මෙසේද පැවසීය.

‘‘මේ නඩුවේ පස්වැනි වගඋත්තරකරු ලෙස නම් කර ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ. හයවැනි වගඋත්තරකරු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, තුන්වැනි වග උත්තරකරු ඇමැති වජිර අබේවර්ධන. ඔහු අතිගරු යැයි හඳුන්වා ඔහු දරන අමාත්‍යාංශයත් පෙත්සමේ සඳහන් කර ඇත.

එහෙත් මහින්ද රාජපක්ෂ දැනට දරන විපක්ෂ නායක ලෙසවත් සඳහන් කරන්නේ නැතිව ඔහුගේ නම පමණක් සඳහන් කර තිබෙනවා. පෙත්සම්කරුවන් වෛරීය හැඟීමකින් යුතුව නඩුව පවරා ඇති බව ඉන් පෙනී යනවා.

ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසි සහතිකයට අත්සන් කළේ එවකට ජනාධිපති ලෙස පත්ව සිටි මහින්ද රාජපක්ෂ. මේ වන විට ඔහු ද්විත්ව පුරවැසිභාවය ලබා වසර 15 ක් වෙනවා. රජයේ ඉතාම වගකිව යුතු ඉහළ තනතුරක් වන ආරක්ෂක ලේකම්ධුරය ඒ කාල සීමාව තුළ ඔහු දැරුවා. ඔහුගේ ද්විත්ව පුරවැසි සහතිකයේ වරදක් කිසිවෙක් දුටුවේ හෝ කවුරුත් ඊට අධිකරණයක අභියෝග කළේවත් නැහැ. වරද පෙනුණේ ජනාධිපති ධුරයට තරග කරන බව කීවාට පසුවයි. රට රැකදුන් ගෝඨාභයට පෙත්සමෙන් අභූත චෝදනා එල්ල කරලා. ඔහුගේ ද්විත්ව පුරවැසි සහතිකය, ජාතික හැඳුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය බලරහිත කරන්න. අවලංගු කරන්න දැන් ඉල්ලා සිටින්නේ ඇයි? මේ තරම් නඩු පවරා ඇත්තේ ජනාධිපති ධුරයට තරග වදින ඔහුට මඩ ප්‍රහාරයක් එල්ල කරන්න. ඔහුගේ හොඳ නමට කැළලක් එල්ල කරන්නයි.

අනිත් වැදගත් කාරණාව නම් ඔහු ලබාගෙන ඇති ඒ සහතික තුනම ප්‍රෝඩාකාරී ලෙස ලබාගත් බවට චෝදනා කරමින් ඔහුට එරෙහිව මේ පෙත්සම්කරුවන් දෙදෙනාම එකතුවෙලා කොළඹ මහෙස්ත්‍රාත් උසාවියේ නඩුවක් පවරා තිබීමයි. ඒ නඩුව කැඳවූ මුල් දවසේම රහස් පොලිසිය කීවා ඒ පැමිණිල්ල ගැන පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව. පරීක්ෂණය තවම අවසන් වී නැහැ. ඒ අතරතුරයි හනික අභියාචනාධිකරණයට ඇවිත් තවත් නඩුවක් දාලා ඉල්ලා සිටිනවා ඒ සහතික තුන අවලංගු කරන්න කියලා. මේ වගේ පදනමක් නැති ඉල්ලීම් කවර අධිකරණයකවත් දාන්න බැහැ. මෙවැනි නඩු පවත්වා ගෙන යන්නේ නැතිව අහක දැමිය යුතුයි.

ගෝඨාභයට ද්විත්ව පුරවැසි සහතිකය දී ඇත්තේ 2005 දී එවකට රටේ විධායක ජනාධිපති ලෙස පත්ව සිටි මහින්ද රාජපක්ෂ. ඒ වන විට ඇමැතිවරු කිසිවෙක් පත් කරලා තිබුණේ නැහැ. අමාත්‍යාංශ වෙන් කරලා, අලුතින් ලේකම්වරු පත් කරලත් නැහැ. ඒ සියලු බලය තිබුණේ ජනාධිපතිවරයා අතේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සියලුම ඇමැතිවරු පත් කරන්නේ විධායක ජනාධිපති. විෂයන් බෙදා දෙන්නෙත් ජනාධිපති.

ඇමැතිකම් දෙන්නත්, ඇමැතිවරු දරන විෂයයන් තමන් අතට පවරා ගන්නත් ජනාධිපතිට බලය තිබුණා. හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විධායක ජනාධිපති බලතළ සියල්ල පාවිච්චි කළා. ඔහුට ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. කවුරුත් ඔහු කළ කටයුතු වැරදියි කිව්වෙත් නෑ.

පුරවැසි පනත් රෙගුලාසිවලට අනුව ද්විත්ව පුරවැසි සහතිකය නිකුත් කරන්නේ ඒ විෂය භාර ඇමැතිවරයාය. නමුත් ගෝඨාභය ඒ සහතිකය ඉල්ලා අයැදුම්පතක් ඉදිරිපත් කරන විට ඇමැතිවරයෙක් පත්කර සිටියේ නැහැ. ඒ නිසයි ජනාධිපති මහින්ද රාජපක්ෂ ඔහුට සහතිකය දුන්නේ. ඔහු කළ ක්‍රියාව නීතියට අනුකූලයි. ගෝඨාභය සමග තවත් විසිඑක් දෙනකුට ද්විත්ව පුරවැසි සහතික දුන්නා. නමුත් ගෝඨාභයට දුන් සහතිකයට පමණයි දැනි අභියෝග කරන්නේ.

Related posts

යහපාලන ආණ්ඩුව ජනතාවගේ අපේක්‍ෂා භංගත්වයට පත්කරනවා – රතන හිමි

colombotoday

ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 4ක් දිවයිනට

colombotoday

ලංකාවෙන් පලස්තීනයට ඉඩම් පරිත්‍යාගයක් !

colombotoday

ඕමල්පේ සෝභිත හිමිගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

colombotoday

තවත් ගූගල් බැලූනයක් ලක් ගුවනට

colombotoday

පිල්ලෙයාන් මඩකලපුවෙන් පෙරමුණේ

colombotoday