Colombo Today Local News

අප්‍රේල් 20 දා සිට සයිලන්ට් කර තිබූ ජාතික බුද්ධි ප්‍රධානියාගේ ජංගම දුරකථනය

අප්‍රේල් 04 ලද පළමු විදෙස් බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් මෙරට බුද්ධි අංශ නිසි පරිදි ආවේශන රාජකාරි සිදුකර සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළේ නම් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට පැහැදිලි හැකියාවක් තිබූ බව හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා පැවසීය.

ඊයේ (17)දින කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා ඒ බව සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සිදුකරන ජනාධිපති කොමිසම හමුවේ හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා ඊයේ සාක්ෂි ලබා දුන්නේ 07 වන දිනටය.

එහිදී රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය සිසිර මෙන්ඩිස් මහතාගේ හරස් ප්‍රශ්න විමසමින් ප්‍රශ්න කළේ, අප්‍රේල් 4, විදෙස් බුද්ධි අංශයකින් ලද පෙර දැනුවත් කිරීමේ තොරතුර නිලන්ත ජයවර්ධන මහතා, සිසිර මෙන්ඩිස් මහතාට යොමු කර උපදෙස් පැතූ අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබා නොදුන්නේ මන්ද යන්නය.

එයට පිළිතුරු දෙමින් මෙන්ඩිස් මහතා කියා සිටියේ,

“නිලන්ත වැඩ කළේ මගේ යටතේ නොවෙයි. ඒ නිසා එයා කරන සමහර වැඩ ගැන මම දැනගෙන හිටියේ නැහැ. දෙන්න ඕන උපදෙසුත් මම දන්නෙ නැහැ. එයා මීට කලින් කවදාක්වත් මගෙන් උපදෙස් විමසලා නැහැ. මම නිලන්තව හමුවෙන්න එයාගේ කාර්යාලයට ගිහිල්ලා තියෙනවා. හැබැයි එයා කවදාවත් මාව හොයාගෙන ආවේ නැහැ. නිලන්ත මම ප්‍රධානත්වය ගත් බුද්ධි සමාලෝචන රැස්වීම්වලටවත් ආවේ නැහැ. වෙනත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ආවේ. 21 හෝ ඊට පෙර ප්‍රහාරයක් වෙනවා කියලවත් ප්‍රහාරයට කලින් දවසෙ නිලන්ත මට කිව්වේ නැහැ. එහෙම කිව්ව නම් මම ආරක්ෂක ලේකම්ගේ නිවසටම ගිහිල්ලා හරි සුදුසු ආරක්ෂක පියවරක් ගන්නවා. නිලන්ත මට නොකිව්වට පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් කිහිපදෙනෙකුට 21 හෝ ඊට පෙර ගහනවා කියලා දැනුම් දීලා තිබ්බා.”

මෙහිදී ජයවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය යළි ප්‍රශ්න කළේ පාස්කු ඉරුදින ප්‍රහාරය ප්‍රහාරයක් එල්ල වූ බව ඔබ දැන ගත්තේ කිනම් මාර්ගයකින්ද යන්නය.

ප්‍රහාරයක් එල්ල වූ ප්‍රදේශයක සිටි තම ඥාතියකු මාර්ගයෙන් ඒ බව දැනුවත් වූයේ යැයි මෙන්ඩිස් මහතා කියා සිටියේය.

එහිදී නීතිඥවරියක් පෙරළා ප්‍රශ්න කළේ ජාතික බුද්ධි ප්‍රධානියා වූ ඔබ එවැනි වැදගත් තොරතුරක් පවා ඥාතියකුගේ මාර්ගයෙන් දැන ගැනීම ගැන ලැජ්ජාවක් නැද්ද යන්නය.

“නැහැ. ඒක සාමාන්‍ය දෙයක් සිද්ධියක් වූ විට එම ස්ථානය අසල සිටි අයෙකුගෙන් ඒ පිළිබඳ දැනගන්න පුළුවන්. මොකද ප්‍රහාරයක් සිදුවුණා කියලා මට මගේ කාර්යාලයෙන්වත් දැන්වුයේ නැහැ, ” යනුවෙන් මෙන්ඩිස් මහතා එයට පිළිතුරු දුනි.

එහිදී ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා විමසා සිටියේ ප්‍රහාරය සිදුවීමට පෙර දිනයේ සිට ප්‍රහාරය සිදුවන දිනයතුරුම ඔබගේ ජංගම දුරකථනය ක්‍රියාවිරහිත කර තිබුණේ ද යන්නය.

එයට පිළිතුරු දෙමින් මෙන්ඩිස් මහතා කියා සිටියේ අප්‍රේල් 20 වන දින පස්වරුවේ සිට තම ජංගම දුරකථනය Silent තත්ත්වයට පත්කර තිබු අතර එකී කාලය තුළ දුරකථන ඇමතුම් පැමිණියේද යන්න පරික්ෂා කිරීමට තමන්ට අවස්ථාවක් නොලැබුණු බවය.

මෙහිදී ජනාධිපති කොමිසමේ සාමාජික කොමසාරිස්වරිය විමසා සිටියේ අප්‍රේල් 4 විදෙස් බුද්ධි අංශයකින් ලද තොරතුර සම්බන්ධයෙන් මෙරට බුද්ධි අංශ විධිමත් ලෙස ආවේශන රාජකාරි සිදු කර සහරාන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගත්තේනම් මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට ඉඩ තිබුණා නොවේද යන්නය.

එයට පිළිතුරු දෙමින් මෙන්ඩිස් මහතා කියා සිටියේ,

“ඔව්, රාජ්‍ය බුද්ධි සේවය සහ පොලීසියේ පොලිසියේ බුද්ධි අංශ අදාළ කාලසීමාව තුළ මෙම සැකකරුවන් ගැන තොරතුරු සොයාගැනීමට අසමත් වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් රාජ්‍ය සේවයේ හිටපු අධ්‍යක්ෂ සහ පොලිස්පතිවරයා වගකියන්න ඕනේ.”

මේ අතර, 2015 සැප්තැම්බර් මාසයේ සිට 2017 ජුලි මස දක්වා මෙරට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ විශ්‍රාමික ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතාද ඊයේ (17)දින ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුනි.

එහිදි කොමිසම හමුවේ සාක්ෂිදෙමින් ඔහු කියා සිටියේ මෙරට ආරක්ෂක ලේකම් ධුරයට පත්වන පුද්ගලයෙකුට ඕනෑම හදිස්සි අවස්ථාවක ජනාධිපතිවරයාගේ පෞද්ගලික ආරක්ෂක හරහා ජනාධිපතිවරයා සම්බන්ධ කරගත හැකි බවය.

එසේම තම ධුරකාලය තුළ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලික ජංගම දුරකථනයක් භාවිතා නොකළ බැවින්, හැකි සෑම අවස්ථාවකම පෙරවරු 6ට පමණ ජනාධිපතිවරයාගේ නිවසට කථා කිරීමෙන් සහ පෞද්ගලික ආරක්ෂක හරහා ජනාධිපතිවරයා සම්බන්ධ කරගැනීම සිදුවු බවට හෙට්ටිආරච්චි මහතා සාක්ෂි ලබාදුනි.

එසේම තමන් ධූරයේ රැඳීසිටි කාලය තුළදී මුස්ලිම් කාන්තාවන් පැළඳි නිකාබය ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව පවසා එය තහනම් කරන ලෙස යෝජනාවක් ඉදිරිපත් කළද ඒ පිළිබඳ එවකට පැවති ආණ්ඩුව සැලකිල්ලක් නොදැක්වූ බව හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් ජනාධිපති කොමිසම හමුවේ කියා සිටියේය.

Related posts

පොලිස් වෙස් ගෙන කොල්ලකෑ කල්ලියක් අත්අඩංගුවට

colombotoday

පිළිකා එන්නත් ටෙන්ඩරයෙන් මිලියන ගණනක පාඩුවක්… ටෙන්ඩරය ඇමති හිතවතාගේ මස්සිනාට

colombotoday

අත්අඩංගුවට පත්වන සැකකරුවන් ගැන ක්‍රියාත්මක වීමට පොලිසියට මානව හිමිකම් කොමිසමෙන් නව උපදෙස්..

Admin

මැකෝ – සජිත් ගැටෙති

colombotoday

අවුරුදු 12ට වැඩි පාසල් දරුවන්ට කොරෝනා මර්දන එන්නත ලබාදීමට අවධානය

colombotoday

නොරොච්චෝලේ පළවන හා දෙවන ජනන යන්ත්‍ර මේ මාසය තුළ ජාතික පද්ධතියට

Admin