Colombo Today Local News

මැතිවරණය එපා: සමගි ජන බලවේගයත් ශ්‍රේෂ්ඨාධිකරණයට

රටපුරා කොරෝනා වයිරසය තවදුරටත් ව්‍යාප්තවීමේ තත්ත්වයක් පවතින බැවින් ලබන ජුනි 20 වැනිදා මහා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිකුත් කර තිබෙන අති විශේෂ ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත්කර ඇති ගැසට් නිවේදනය ද බලරහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ජාතික සමගි ජනබලවේගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (06) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත.

ජාතික සමගි ජන බලවේගය පක්ෂයේ මහ ලේකම් සහ හිටපු එක්සත්ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් පෙත්සම ගොනු කරනු ලැබ ඇත.

එහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, එහි සාමාජිකයින් වන එන්.ජේ. අබේසේකර සහ රත්නජීවන් හූල් මෙන්ම නීතිපතිවරයාද නම් කරනු සිටිති.

විදානපතිරණ ඇසෝසියේටඩ් නීතීඥ සමාගම මාර්ගයෙන් ගොනුකර තිබෙන මෙම පෙත්සම මෙසේද සදහන් වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදු වූ දින සිට මාස තුනක් ඇතුළත මහ මැතිවරණයක් පවත්වා මීළඟ නව පාර්ලිමේන්තුව රැස් විය යුතු බවට ප්‍රතිපාදන සලසා ඇත.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් ඉකුත් මාර්තු මස දෙවනදා එවක පැවැති පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර ඒ තුළින් මහ මැතිවරණය අප්‍රේල් මස 25 වනදා පැවැත්වීමට දින නියම කෙරුණි.

නමුත් පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් අප්‍රේල් මස 25 වන දා මහමැතිවරණය පැවැත්වීමට නොහැකි තත්වයක් උද්ගතව තිබෙන හෙයින් එය ජුනි මස 20 වැනිදා දක්වා කල් තැබීමට මැතිවරණ කොමිසම තීරණය තීරණය කර ඇත.

මෙලෙස ජුනි මස 20 වනදා මැතිවරණයකට දින නියම කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට පටහැනි වේ.

මෙලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරිය දින සිට මාස තුනක් ඇතුළත නව පාර්ලිමේන්තුවක් රැස් කිරීමට ඇති හැකියාව අහිමි වීම තුළින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ද නීතිය ඉදිරියේ බල රහිත වේ

2019 වසරේ ඔක්තෝබර් මස 23 වන දා පාර්ලිමේන්තුව මගින් සම්මත කළ විසර්ජන පනතට අනුව වත්මන් රජයට රාජ්‍ය අරමුදල් වැය කිරීමට බලය හිමි වන්නේ පසුගිය අප්‍රේල් මස 30 දක්වා පමණකි.

මෙම තත්වය හමුවේ විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව යළි කැඳවා අවශ්‍ය මුදල් අනුමත කර ගැනීම සිදුකරන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් විසින් ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළද එම ඉල්ලීම ද ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළ බවද පෙත්සම්කරු කියා සිටී.

මෙම තත්වය හමුවේ පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව රජය විසින් රාජ්‍ය අරමුදල් වැය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවකි.

මෙම ක්‍රියාවන් තුලින් රජය සිය මූලික අයිතීන් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටි.

කොරෝනා වසංගතය අවසන් වීමට පෙර මැතිවරණයක් පැවැත්වීම තුළින් මූලික අයිතීන් උල්ලංඝණය වූ බවට නියෝගයක් නිකුත් කරන ලෙසද ඊට අමතරව මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු ජූනි මස 20 දා මහමැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය සහ ඉකුත් මාර්තු මස 2 වනදා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කාර ජාතික සමගි ජනබලවේගයේ මහලේකම්වරයා සිය පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.

Related posts

යහපාලන හවුලේ සහනාධාර කප්පාදුවට එරෙහිව ගොවි රජවරු මහ පාරට

colombotoday

රටවල් 7කට හොරෙන් ලංකාවට මල්ටිබැරල් ගෙනා විශ්මිත මෙහෙයුම.. යුද ජයේ තීරණාත්මක හැරවුම ගැන නොකියූ කතාවක්

colombotoday

අගමැතිගේ වැය ශීර්ෂය කපා දමන්න එජාපයෙන් යෝජනාවක්… කතානාකට බාරදෙයි…

colombotoday

අන්තරේ කැදවුම්කරු අත්අඩංගුවට

Admin

කොටුවෙන් හමුවූ කොවිඩ් ආසාදිත නාවික සෙබලා සමග සිටි 200ක් නිරෝදායනයට

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

colombotoday