Colombo Today Local News

පාස්කු ප්‍රහාරය – මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය කල්යයි

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් මූලික අයිතීන් කඩ කලායැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම් 12 කට අදාළ විභාගය නොවැම්බර් මස 10 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, එල්.ටී.බී. දෙහිදෙණිය, මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩල්ල ඉදිරියෙහි මෙම පෙත්සම් විභාගය අද (02)දින ආරම්භ වීමට නියමිතව තිබුණි.

එහෙත් එම පෙත්සම්වල වග උත්තරකරුවන් ලෙස නම් කර සිටි හිටපු ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න, හිටපු අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක ඇතුළු වගඋත්තරකරුවන් කීප දෙනෙකු එම ධුරවල වර්තමානයේ කටයුතු නොකරන හෙයින් ඔවුන් වෙනුවෙන් තවදුරටත් පෙනී සිටීමක් නොකරන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් ෆර්සානා ජමිල් මහත්මිය අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව අද දින අධිකරණය හමුවේ පෙනී නොසිටින වගඋත්තකරුවන් වෙත යළි නොතීසි නිකුත් කරන ලෙස නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.

ඒ අනුව නඩුවට අදාළ විරෝධතා මේ මස 25 වනදා ඉදිරිපත් කරන ලෙසත් එම විරෝධතාවලට අදාළ ප්‍රතිවිරෝධතා ඔක්තෝබර් මස 9 වන දා ඉදිරිපත් කරන ලෙසත් නඩුවේ පාර්ශවකරුවන්ට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම් පිළිබඳව විභාගය නොවැම්බර් මස 10 වන දා සිදුකරන බවත් නියෝග කළේය.

මේ අතර පාස්කු ඉරුදින ෂැංග්‍රිලා හෝටලයට එල්ල කෙරුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා දිවි ගලවාගත් නීතිඥවරයෙකු වන මුදිත ඒකනායක මහතා සිය මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළව අද දින අධිකරණයට මෝසමක් ඉදිරිපත් කරමින් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ජනාධිපති විමර්ශන කොමිසම ඉදිරියේ ඊට අදාළව වැදගත් සාක්ෂි රැසක් අනාවරණය වී තිබෙන හෙයින් එම සාක්ෂි සටහන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට කැඳවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම හෙට (03) දින සලකා බලන බව ද අග විනිසුරුවරයා ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය, අදාළ ප්‍රහාරය හේතුවෙන් පීඩාවට පත් වූ පිරිස් හා ඔවුන්ගේ ඥාතීන්, කතෝලික පියතුමන්ලා ඇතුළු පාර්ශව විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් ඉදිරිපත් කර තිබුණි.

එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ගොනුකර තිබූ පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද නම් කර තිබීම විශේෂත්වයකි.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව එම වසරේ අප්‍රේල් මස 04 වනදා වන විට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු හිටපු පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙත ලැබී තිබූ බවය.

එසේ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් අදාළ ප්‍රහාරය වළක්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පැහැර හැරීම තුළින් විශාල මිනිස් ජීවිත හා දේපළ හානියක් සිදුවූ බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් ඊට ඔවුන් වගකිවයුතු බව කියා සිටියේය.

ඒ අනුව වගඋත්තරකරුවන් විසින් සිය මූලික අයිතීන් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඔවුන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පවරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා තිබේ.

Related posts

“ගොවි සමුළුවට කීයක් ගියත් කමක් නෑ.. මේක සැණකෙළියක් නෙවෙයි” – ජනපති

colombotoday

මාවනැල්ලේ බුද්ධ ප්‍රතිමාවකට හානි කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday

අතිපූජ්‍ය නාපාන පේමසිරි මහ නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ

colombotoday

කිරිබත්වැල්ල කඳුයායේ ගින්නකින් අක්කර 50ක් විනාසයි

colombotoday

බාහිර ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන තීරණයක්

Admin

‘දෙසැම්බරයේ තීරණයක් ගන්නවා‘.. ජනපති වමට සිග්නල් දමයි !

colombotoday