Colombo Today Local News

නාකොටික් පොලිස් නිලධාරීන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට CIDයට නියෝග

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් මත්කුඩු තොග කූඨ ලෙස විකිණීම ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද එම කාර්යාංශයේ නිලධාරීන් දොළොස් දෙනෙකු මේ මස 08 වන දා දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගන්නා ලද එම නිලධාරීන් පිරිස අද (02)දින සවස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණි.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් ජූනි මස 12 වන දා මිනුවන්ගොඩ ප්‍රදේශයේ දී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 05 ක් සමග අත්අඩංගුවට ගන්නා ලද චන්දන ප්‍රියංකර නමැති සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය කර ගත් තොරතුරු මත මෙම සැකකරුවන් පිරිස අත් අඩංගුවට ගත් බව කියා සිටියේය.

ඉකුත් අප්‍රේල් මස 15 වනදා නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගන්නා ලද කිලෝ ග්‍රෑම් 500 ක මත්ද්‍රව්‍ය තොගය මෙන්ම අප්‍රේල් මස 30 වනදා සහ මැයි මස 15 වනදා අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් මත්කුඩු තොග පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නඩු ගබඩා කාමරයේ ඇසුරුම් කිරීමේදී එම මත්ද්‍රව්‍ය වලට වෙනත් ද්‍රව්‍ය මිශ්‍ර කොට අඩු මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අධිකරණයට ඉදිරිපත් කිරීමට මෙම සැකකරුවන් කටයුතු කර ඇති බවට විමර්ශනවලින් හෙළි වී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

මෙහිදී මහෙස්ත්‍රාත්වරිය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා මෙම අපරාධ ක්‍රියාවට මෙම සැකකරුවන් සම්බන්ධ බවට බැලූ බැල්මටම සාක්ෂි ඉදිරිපත් වී තිබෙන බවත් ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවත් සඳහන් කළේය.

මෙම සැකකරුවන් භාරයේ තිබී රුපියල් තුන්සිය විසි තුන් ලක්ෂ අනු දහසක මුදලක් සහ වාහන කිහිපයක් මෙන්ම ටී. 56 වර්ගයේ ගිනි අවියක් ද සොයාගෙන ඇති බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් පැවසීය.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ තවත් නිලධාරින් 4 දෙනෙකු මෙන්ම සිවිල් වැසියන් තුන් දෙනෙකු දැනටමත් අත්අඩංගුවට ගෙන රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් කීය.

මෙහිදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙය ඉතා සංකීර්ණ අපරාධ සිද්ධියක් බැවින් එම සැකකරුවන් පොලීසිය භාරයේ දින හතක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අවසර දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණ හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයින් මෙම අපරාධයට සම්බන්ධ බවට කිසිදු සාක්ෂි සම්පිණ්ඩනයක් මේ දක්වා පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බව දැනුම් දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති නිසා ඊට අදාළ විමර්ශන පැය විසි හතරක් තුළ අවසන් කිරීමට නොහැකි තත්ත්වයක් පවතින බව පැවසුවාය.

ඒ අනුව සැකකරුවන් දින 07 ක කාලයක් එනම් මේ මස 08 වනදා තෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දුන් මහේස්ත්‍රාත්වරිය එදින ඔවුන් යළි අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද නියෝග කළාය.

රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කළ ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය මෙම සිද්ධියට අදාළ නඩු ගොනුව රහසිගත ලේඛනයක් ලෙස සලකා එය ආරක්ෂිත සේප්පුවේ රඳවා තැබීමට ද නියෝග කළාය.

Related posts

රනිගේ ව්‍යවස්ථා යෝජනා පිළිගනු.. බැරිනම් පුනරුත්ථාපනය වෙනු – දඹර හිමියෝ අස්ගිරි-මල්වතු නාහිමිවරුන්ට ගෑස් පෙන්නයි…

colombotoday

කොරෝනා නිසා විදෙස්ගත ලාංකිකයින් 8000 කට රැකියා අහිමි වෙයි

colombotoday

2021 සා/පෙළට අයදුම්පත්‍ කැඳවීම අදින් අවසන්

colombotoday

අගමැති ධූරය කවුරුත් බාර නොගන්නේ ක්ෂණික විසඳුම් නැති නිසයි

colombotoday

බිබිල ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයෙකුගේ ඉඩමකින් ජීව අත්බෝම්බ ඇතුළු උපකරණ අත්අඩංගුවට

colombotoday

“සුපර් මෑන්“ බස්නාහිරටත් එපා.. පනත වැඩි ඡන්දයෙන් පරාදයි

colombotoday