Colombo Today Local News

පාර්ලිමේන්තුවට ඉදිරිපත්කළ බැදුම්කර කොමිෂන් වාර්තාවේ නිර්දේශ මෙන්න

මහ බැංකුවේ 2015-2016 අතර කාලයේ සිදුවූ වංචාසහගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට පසුගිය ජනවාරි මස 27 වනදා ජනාධිපතිවරයා විසින් පත් කළ කොමිෂන් සභාවේ වාර්තාව පසුගිය 30වනදා ජනාධිපතිවරයා වෙත ලබාදුන් අතර එහි ඉංග්‍රීසි පිටපත් 26ක් අද (17) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත භාර දී තිබිණි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී චිත්‍රසිරි මහතාගේ සභාපතිත්වයෙන් පත් කළ එම කොමිෂන් සභාව විසින් නිකුත් කළ උක්ත වාර්තාවේ නිර්දේශ 30 අතරින් වැදගත්ම නිර්දේශ කිහිපය පහතින් දැක්වෙන අතර එහි මහ බැංකුවේ එවකට අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම, අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන ඇතුළු පිරිස සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැන සඳහන් වේ.

(15) සේවක අර්ථසාධක අරමුදල (EPF) භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධ ගනුදෙනුවලදී කටයුතු කර ඇති සැකකටයුතු අවස්ථා ගණනාවක් අප විසින් හඳුනා ගනු ලැබ ඇත.

මූල්‍ය මණ්ඩලය විසින් සිදු කරනු ලබන සියුම් පරීක්ෂාවකදී EPF වෙත සිදුව ඇති සම්පූර්ණ පාඩුව සහ ඊට වගකිව යුතු අය හඳුනා ගැනීමටත් වගකිව යුත්තන්ගෙන් ඒවා ආපසු ලබා ගැනීමටත් කටයුතු කළ හැකි වෙතැයි අපි විශ්වාස කරමු.

(17) 2015 පෙබ. 27 බැඳුම්කර ගනුදෙනුවේදී අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ මැදිහත්වීමේ සෘජු ප‍්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා රජයට සිදුව ඇති, වළක්වාගත හැකිව තිබූ පාඩුව රුපියල් හැටඅටකෝටි අසූහත් ලක්ෂ හැටදෙදහස් එකසියයකි (රු. 688,762,100).

මේ පාඩුවට මහේන්ද්‍රන් මහතා වගකිව යුතුය. මෙය ඔහුගෙන් අයකර ගැනීමට නිර්දේශ කරමු.

(18) මහේන්ද්‍රන් මහතා රුපියල් බිලියන 10,058ක වටිනාකමක් ඇති බැඳුම්කර නිකුත් කරන ලෙසට නියෝග කර ඇති අතර එමගින් සාවද්‍ය ලෙස පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට වෙන්දේසියේදී වැඩි අගයක් ලබා ගැනීමට හැකි වී ඇත. පෙබරවාරි 27 වෙන්දේසියේදී ලාභ ලැබීම සඳහා මහේන්ද්‍රන් මහතා පර්පෙචුවල් සමාගමට අභ්‍යන්තර තොරතුරු (මිල සංවේදී තොරතුරු) ලබාදී ඇත.

මෙලෙස ඉපයූ රුපියල් හැටඅටකෝටි අසූහත් ලක්ෂ හැටදෙදහස් එකසියයක (රු. 688,762,100) මුදල පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් අයකර ගැනීම සඳහා අදාළ පියවර ගත යුතුය.

අර්ජුන ඇලෝසියස් සහ කසුන් පලිසේන කොටස් සහ ස්කන්ධ කොටස් ආඥාපනතට අනුව වරදකරුවන් වන බැවින් ඔවුන්ට අදාළ නීතිමය පියවර ගත යුතුය.

(19) මහේන්ද්‍රන් මහතා විසින් සිදු කරන ලද වරද අල්ලස් පනතේ ‘දූෂණය’ ලෙස හැඳින්විය හැකි අතර ඔහුට ඊට අදාළව සහ අදාළ අනෙකුත් නීති යටතේ නඩු පැවරීමට කටයුතු කළ යුතුය.

(21) පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම EPF සහ තවත් රාජ්‍ය ආයතනවලට බැඳුම්කර අලෙවිය මගින් රුපියල් අටසිය පනස් දෙකෝටි අනූනවලක්ෂ හැට හතරදහස් හාරසිය අනූ පහයි ශත හැට එකක් (රු. 8,529,964,495.61) උපයාගෙන ඇත. ඒ අභ්‍යන්තර තොරතුරු මගින් සහ වෙළඳපොළ කෘත්‍රීම ලෙස ඉහළ නැංවීම මගිනි.

මෙම මුදල් මහේත‍්‍රාත් අධිකරණයක ලඝු නඩු විභාගයකින් පසු දඩයක් ලෙස අයකර ගත යුතුය.

(24) පර්පෙචුවල් සමාගමට අනුබද්ධ වෝල්ට් ඇන්ඩ් රෝ ඇසෝෂියේට්ස් සමාගම විසින් ප‍්‍රතිලාභ ලැබූ එවකට මුදල් අමාත්‍ය රවි කරුණායක මන්ත්‍රීවරයාට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිෂම විසින් නීතිමය පියවර ගත යුතුය.

(25) ඔහු විසින් කොමිසම වෙත වැරදි තොරතුරු ලබාදීම පිළිබඳව ඔහුට එරෙහිව දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ සහ අනෙකුත් නීති යටතේ නඩු පැවරිය යුතුය.

(26) මෙම වැරදි සහගත ක්‍රියාව පිළිබඳ තොරතුරු සැඟවීම සඳහා පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් දුරකථන පටිගතවීම් මකා දැමීමට ගන්නා ලද උත්සාහය හේතුවෙන් අර්ජුන් ඇලෝසියස් හා කසුන් පලිසේන දණ්ඩ නීති සංග‍්‍රහයේ අපරාධ වරදක් සිදු කොට ඇති බැවින් ඒ පිළිබඳව නීතිපතිවරයා සහ අනෙකුත් ආයතනයන් විසින් අදාළ පියවර ගැනීමට නිර්දේශ කරමු.

(27) කසුන් පලිසේන විසින් කොමිසම හමුවේ තබන ලද දුරකථන ඇමතුම් පටිගත වාර්තා සම්පූර්ණයෙන්ම සාවද්‍ය ඒවා බැවින් ඔහුට එරෙහිව දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ නඩු පැවරිය යුතුය.

(28) පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේද එහි ප‍්‍රතිලාභී හිමිකරුවන් වන අර්ජුන් ඇලෝසිස් සහ ජෙෆ්රි ඇලෝසියස්ගේද එහි දෛනික ක්‍රියාවලිය පාලනය කළා වූ අර්ජුන ඇලෝසියස් සහ කසුන් පලිසේන වැන්නවුන්ගේද වත්කම්, සමාගම නමින් මහ බැංකුවෙන් ලැබීමට ඇති සියලු මුදල් එයට අයත් වෙනත් බැංකුවල ඇති මුදල්, ජාතික සංවර්ධන බැංකුවේ පර්පෙචුවල් සමාගම සතු කොටස්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් විසින් මිලියන 641,556ක මුදලට අදාළව එහි ප‍්‍රතිලාභී හිමිකරුවන්ට ගෙවන ලද ලාභාංශ අත්හිටු විය යුතු අතර ඒවා ඉවත් කිරීමට ඉඩ නොදිය යුතුය.

(29) මෙම කොමිසමට අදාළව සිදුවූ වියදම් පර්පෙචුවල් ට්‍රෙරෂරිස් සමාගමෙන් අයකර ගැනීමට නිර්දේශ කරමු.

(30) මෙම සිදුවීමේ බරපතළකම සලකා මෙමගින් අපේ ආර්ථිකයට, ජාතියට සිදුවූ අලාභයන් අයකර ගැනීම සඳහා ඉහත මුදල් ආපසු අයකර ගැනීම වෙනුවෙන් තම ව්‍යවස්ථාදායක බලය පාවිච්චි කරමින් පාර්ලිමේන්තුව විසින් අවශ්‍ය පියවර ගැනීම සුදුසු යැයි අපි සිතමු.

Related posts

ත්‍රිරෝද රථ ගාස්තු අද සිට අඩුවෙයි

colombotoday

ජනපති නිව් යෝර්ක් නුවර බලා පිටත්ව යයි

colombotoday

ආගමික උම්මත්තවාදය පරාජය කිරීමේ වගකීම භික්ෂූන් වහන්සේලා අතට ගත යුතුයි. – ඥානසාර හිමි

colombotoday

නව පාර්ලිමේන්තුව අගෝස්තු 20 වන දා කැඳවේ

colombotoday

“පුනර්ජනනීය බලශක්තිය” විදුලිබල පද්ධතියට කඩිනමින් එක් කිරීමේ හැකියාව ජනපති සොයා බලයි…

colombotoday

ගිනිගත් නැවේ හිමිකරුවන්ගෙන් ශ්‍රී ලංකාවට මූලික වන්දි ගෙවීමක්

colombotoday