කාන්තාවන්ට සම අයිතිවාසිකම් සහ සුරක්ෂිතතාවය සැලකීම මුළුමහත් සමාජයකම වගකීම බව නුතන ලෝකයේ ජීවත්වන අප සැම පිළිගත් සරළ කරුණකි. බෞද්ධ සංකල්පයෙන් පෝෂිත සංස්කෘතියක් තුල ලංකා වාසීනට මෙය නවමු අදහසක් නොවුනත් නූතන ලංකාවේ සමාජ යථාර්තය කාන්තාවට එතරම් සුභවාදී නොවෙන බව, අප සැමට නොරහසකි.
ලංකාවේ ජනගහනයෙන් 57% වඩා වැඩි ප්‍රතිශතයක් කාන්තාවන් වන මුත් ලංකාවේ රැකියා නියුක්තියේ (මැදපෙරදිග ගෘහසේවිකාවන් ඇරෙන්නට) හා අනෙක් සමාජ ස්ථරවල කාන්තා නියෝජනය සැලකියයුතු ලෙස අඩු අගයක පවතී. සමාජයක් ලෙස සැලකීමේදී මෙය ලහි ලහියේ විසඳුම් සෙවිය යුතු ප්‍රශනයක් ලෙස සැලකිය හැකිය. සමාජ කටයුතු හා සංවර්ධනය පිළිබඳ ශ්‍රී ලංකා ජාතික මානව සංවර්ධන වාර්තාවට අනුව ( NHDR ) ලංකාවේ පාර්ලිමේන්තුව තුළ කාන්තාවන්ගේ නියෝජිත ප්‍රතිශතය 5.7% වූ අඩු අගයක පවතී. අපගේ කලාපයේ අනෙක් රටවල් වන නේපාලය ( 33.2 %), බංග්ලාදේශය (19.7%) සහ ඉන්දියාව ( 10.9 %) ලංකාවට සාපේක්ෂව සැලකිය යුතු ලෙස ඉදිරියෙන් සිටී.
එක්සත් ජාතීන්ගේ සංඛ්යා ලේඛනවලට අනුව , 2015 ජනවාරි වන විට ලොව පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගෙන් 22% ක් කාන්තාවන්ය. මෙහි බරපතල තත්වය වන්නේ පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය අනුව ශ්‍රී ලංකාව සිටින්නේ ලෝකයෙන්ම 128 වැනි ස්ථානයේ වීමය. ශ්‍රී ලංකාවේ විනිසුරුවන් 280 ක් අතරින් කාන්තාවන් ඇත්තේ 64 කි (22.9%). වර්තමාන ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් 11 න් කාන්තාවන් ඇත්තේ එක් අයෙක් පමණි (9%), අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් 12 න් 5ක් කාන්තාවන් (41%) ය. දැනට හිස්ව පවතින ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩුවට ජෙෂ්ඨත්වයට අනුව ඉහලින්ම සිටින්නේ කාන්තාවන් දෙදෙනෙකි.
අභියාචනාධිකරණයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතමයා වන දීපාලි විජේසුන්දර මහත්මිය හා ජ්‍යෙෂ්ඨ විනිසුරුවරියක වන විනිසුරු මාලනී ගුණරත්න මහත්මිය මේ දෙපොලයි. පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශ්‍රාම ගියේ කාන්තාවක් වන චන්ද්‍රා ඒකනායක මහත්මිය වීම සහ ජෙෂ්ඨත්වයට අනුව ඉහලින්ම සිටින්නේ කාන්තාවන් දෙදෙනෙකු වීම යන කාරණා දෙකම සලක බලන කළ කාන්තාවක මෙම පුරප්පාඩුව සඳහා පත්කිරීම වඩා සුදුසු බව නීති ක්ෂේත්‍රයේ පිලිගැනිමයි. මේ කෙසේ වෙතත් දැනට වාර්තාවන කරුණු අනුව ලංකා නිතිවෙදිකයන්ගේ සංගමය තම අනුගාමිකයෙක් පත්කර ගැනීමට මේවන විට ජනාධිපති තුමන්ට හා ව්‍යවස්ථාදායක සභාවට බලපෑම් කරමින් පවතී. ඒ අනුව ජනාධිපති නිර්දේශය ලෙස ඉදිරිපත් වීමට නියමිතව ඇත්තේ තවත් නීතිඥයෙකුගේ නමකි. මෙය මෙසේ වීම තුල ශ්‍රේෂ්ඨාධිකරණයේ කාන්ත නියෝජනය තව දුරටත් සීමිත වීමක් වන අතර කාන්තාවන්ගේ හා ළමයිනට අදාළ ගැටලු විසදීමේදී මෙය මහත් අඩුපාඩුවක් හා හිඩැසක් වනු ඇතැයි නීති ක්ෂේත්‍රයේ මතයයි.
-NEL PEREIRA-