Colombo Today Local News

වෛද්‍ය සභාවේ පත්කිරීමට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන්නැයි පවිත්‍රා ඉල්ලයි

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සඳහා නව සභාපතිවරයෙකු සහ සාමාජිකයින් සිව් දෙනකු පත් කිරීම අභියෝගයට ලක් කරමින් එහි හිටපු සභාපතිවරයා ඇතුළු පිරිසක් ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන්නැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය මූලික විරෝධතාවයක් ඉදිරිපත් කරමින් අභියාචනාධිකරණයෙන් අද (14)දින ඉල්ලා සිටියාය.

වෛද්‍ය ආඥා පනතට අනුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයින්ගේ සේවය අත්හිටුවීමට හෝ ඉවත් කිරීම සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරියට බලය පැවරී තිබෙන බවත් මෙහිදී සඳහන් කෙරිණි.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සඳහා නව සභාපතිවරයෙකු සහ සාමාජිකයින් සිව්දෙනකු පත් කිරීම අභියෝගයට ලක් කරමින් එහි හිටපු සභාපති මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා ඇතුළු සාමාජිකයින් තුන්දෙනෙකු විසින් ගොනු කර ඇති රිට් පෙත්සම අද (14)දින අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවුනි.

එම රිට් පෙත්සමේ වගඋත්තරකාර පාර්ශවයක් ලෙස නම් කර සිටි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරීන් පුල්ලේ මහතා මෙම මූලික විරෝධතාවය ඉදිරිපත් කළේය.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරිය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කියා සිටියේ වෛද්‍ය ආඥා පනතට අනුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයින්ගේ සේවය අත්හිටුවීමට හෝ ඉවත් කිරීම සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරියට බලය පැවරී තිබෙන බවත් , එය නීතිය ඉදිරියේ අභියෝගයට ලක් කළ නොහැකි බවය.

එමෙන්ම පෙත්සම්කරුවන් සිය පෙත්සම් වලින් කරුණු සැඟවීමට සහ අධිකරණය නොමඟ යවන සුළු කරුණු ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

ඒබැවින් මෙම පෙත්සම විභාග කිරීමට තරම් සාධාරණ නීතිමය පදනමක් නොමැති හෙයින් නොතීසි නිකුත් කිරීමකින් තොරව එය නිෂ්ප්‍රභ කරන්නැයි ද සෞඛ්‍ය අමාත්‍යවරිය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ සභාපතිවරයා ප්‍රමුඛ විනිසුරු මඩුල්ල පෙත්සම පිළිබඳ වැඩිදූර සලකා බැලීම ලබන සිකුරාදා (18) තෙක් කල් තැබීමට නියම කළේය.එදින පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා විසින් කරුණු ඉදිරිපත් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සඳහා නව සභාපතිවරයෙකු සහ සාමාජිකයින් සිව් දෙනකු පත් කිරීම අභියෝගයට ලක් කරමින් එහි හිටපු සභාපති මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා ඇතුළු සාමාජිකයින් තුන්දෙනෙකු ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය ඇමති පවිත්‍රාදේවි වන්නි ආරච්චි , නීතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කරුවන් සිය පෙත්සම මගින් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති වරයා සහ සාමාජිකයින් වශයෙන් කටයුතු කළ තමා ඇතුළු පිරිස ඉවත් කර ඒ සඳහා නව සභාපතිවරයෙකු හා සාමාජිකයින් පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරිය ගනු ලැබූ තීරණය වෛද්‍ය ආඥා පනතට පටහැනි බවයි.

වෛද්‍ය ආඥා පනත යටතේ වෛද්‍ය සභාවේ සාමාජිකයින් ඉවත් කිරීමේ බලය සෞඛ්‍ය අමාත්‍යවරියට හිමි නොවන බවත්, ඒ අනුව තමන්ව ඉවත් කොට අදාල තනතුරු සඳහා නව සාමාජිකයන් පිරිසක් පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරීය ගත් තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන්නැයිද මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු පිරිස සිය පෙත්සමෙන් ඉල්ලා සිටිති.

Related posts

දැන් සතුටුද කියා මගෙන් අහනවා… නෑ මම සතුටු නෑ – ප්‍රතිසංවිධානය ගැන සජිත් කියයි

colombotoday

වකුගඩු රෝග නිවාරණය කෘෂි සමාගම් අතට.. වසවිස විරෝධීන් උද්ඝෝෂණයේ

colombotoday

හොර ගිවිසුමට කැමති නෑ. ජනාධිපතිවරණයට ඇප තබමින් සිවාජලිංගම් කී දේ

colombotoday

බුරියානි, වටලප්පම් දීලා ඡන්දය නොදී බොරු කරන්න එපා. එහෙම උනොත් විශාල දේවල් අපිට කරගන්න බැරි වෙනවා. අලි සබ්‍රි මුස්ලිම් ජනතාවට කියයි

colombotoday

වැල්ලම්පිටියේ දී අයෙක් වෙඩි කයි

Admin

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සියලුම පාඨමාලා ගාස්තු ඉහළට

Admin