විල්පත්තු උතුර, මරිච්චකඩ්ඩි, කරඩික්‌කුලි මහා වනාන්තර විනාශය ඇරැඹුණේ පසුගිය මහින්ද රාජපක්‍ෂ රජය සමයේදීය. එම රජයේ නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ධුරය දැරූ රිෂාඩ් බදියුදීන් මහතාගේ මැදිහත්වීම මත රජයේ රක්‍ෂිත ඝන වනාන්තරය අක්‌කර 2500 කට අධික ප්‍රමාණයක් විනාශ කර ජනාවාස ගොඩනැඟූ බව රහසක් නොවේ. නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය, එම ජනාධිපති කාර්ය සාධක බළකාය නම් ඊනියා රටේ සම්පත් විනාශය සඳහා කටයු කරන ලද ආයතන ව්‍යqහය හා අමාත්‍ය බැසිල් රාජපක්‌ෂ මහතා අමාත්‍ය ධුරය දැරූ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය එක්‌ව වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව (රජය) සතු මෙම අක්‌කර 2500 ක් පමණ වනගහනය කපා ජනාවාස ගොඩනැඟුවා පමණක් නොව, මෙම වනාන්තරවල තිබූ වටිනා දැව රාජ්‍ය දැව සංස්‌ථාවටත් නොදී හොර රහසේ විකුණා ගත්හ. කල්ලාරු සහ පෙරියමඩු ප්‍රදේශවලද මෙවැනිම විශාල වන විනාශයක් සිදු කෙරුණු අතර මෙම දැවැන්ත වන විනාශය මේ සියවසේ ලොව සිදුවූ දැවැන්තම වන විනාශය සේ පරිසරවේදීහු හඳුන්වති. එනිසා මෙම වන විනාශයට එරෙහිව සිවිල් සංවිධාන, පරිසරවේදීහු දැඩි විරෝධතා එල්ල කරමින් මරිච්චකඩ්ඩි ප්‍රදේශයට ගොස් උද්ඝෝෂණය කළහ. එහෙත් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙන්ම මන්නාරම දිස්‌ත්‍රික් ලේකම් දේශප්‍රිය යන මහත්වරුන් මෙම විනාශයන් සාධාරණීය කරන්නට උත්සාහ දැරූ අයුරු අපට මතකය. නමුත් ගූගල් වෙබ් අඩවියෙන් ගත් ඡායාරූප, මාධ්‍ය ආයතන මගින් ගුවනින් ගොස් ගත් ඡායාරූපවලින් මෙහි විනාශයේ තරම ලෝකයටම පෙන්නුම් කර දුන්නේය. ඉන්පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම විනාශය නවතා දමන්නටත් මෙහි නැවත පදිංචිය තාවකාලිකව නවතා දමන්නටත් නියෝග කර මේ ගැන සොයා බලන්නට එකල යහපාලන රජයේ පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් කමිටුවක්‌ද පත්කරන ලදී. ඔහුගේ කමිටුවේ තීරණය කුමක්‌ද යන්න අද දක්‌වාත් පැහැදිලි නැතත්, ඔහු විසින් කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවකදී වන සංරක්‍ෂණ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මෙසේ විනාශව ඇත්තේ තම දෙපාර්තමේන්තුව සතු රක්‍ෂිත වනාන්තරයක අක්‌කර 2500 ක් බව පිළිගත්තේය.
මේ දක්‌වා රජය පැත්තෙන් සිදුව ඇත්තේ මෙම පිළිගැනීම පමණි. මහින්ද රාජපක්‌ෂ රජයේ නැවත පදිංචි කිරීමේ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා යහපාලන රජයේ කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා පැති මාරු කළේය. අද ඔහු තවත් රාජ්‍ය ආයතන රැසක් පාලනය කරන වත්මන් රජයේද ප්‍රබල ඇමැතිවරයෙකි. අදත් නඩුත්, බඩුත් දෙකම හාමුදුරුවන්ගේය. නොහොත් විල්පත්තු උතුරු කල්ලාරු, මරිච්චකඩ්ඩි රජයේ වනාන්තර විනාශයට හා දැව කොල්ලයට සම්බන්ධ මෙම ඇමැතිවරුන්ට, නිලධාරීන්ට කිසිදු චෝදනාවක් නැත. දේශපාලන බඩගෝස්‌තරවාදය ඉදිරියේ නීතිය ගොළු වී ඇත. පාලනය ගොළු වී ඇත. වන සංහාරකයෝ චෝදනාවට ලක්‌වනවා වෙනුවට වරප්‍රසාද ලාභීන් බවට පත්වී ඇත.
විල්පත්තු උතුරු මරිච්චකඩ්ඩි වනාන්තර විනාශය ගැන දැන් කවුරුත් කතා නොකරති. රජයට, වන සංරක්‍ෂණයට ඒ ගැන වගේ වගක් නැත.
එහෙත් පසුගිය දිනෙක එහි ගිය අපට දැක ගන්නට ලැබුණේ මෙහි නැවත පදිංචිය නොකඩවා සිදු කරමින් පවතින බවකි. කැලෑව දෙසට කැපූ ගුරු පාරවලටත් “ත්‍රී ෙµaස්” විදුලිය පහසුකම් ලබාදී ඇති බවකි. ඒ මදිවාට වැලි, පස් කපා පටවාගත් ට්‍රැක්‌ටර්, ටිපර් රථ ඕනෑ තරම් මෝදරගම්ආරු වන රක්‍ෂිත ප්‍රදේශයෙන් මාර්ගවලට ප්‍රවිශ්ට වන බවකි. මුසාලි ප්‍රාදේශීය ලේකම්වරයාගේ බල ප්‍රදේශයේ පවතින මෙම වනාන්තර ප්‍රදේශවල තවදුරටත් වනාන්තර හෙළි පෙහෙළි කිරීම සිදු වන අතර දැන් ලැබී ඇති අලුත්ම ආරංචි මාර්ගවලින් කියෑවෙන්නේ මෝදරගම්ආරු (විල්පත්තු අධි ආරක්‍ෂිත රක්‍ෂිතයේ මායිම) ට යාබදව පිහිටි ප්‍රේරක වනාන්තර කලාපයද නැවත පදිංචි සඳහා නිදහස් කරන ලෙස රජයට ඉල්ලීම් ලැබෙමින් පවතින බවකි.
මෝදරගම්ආරු නදියේ සිට තවත් කිලෝමීටරයක් පමණ ගිය විට මොල්ලිකුලම නාවික හමුදා කඳවුර මුණගැසේ. එය වයඹ නාවික විධානයයි. මෙම කඳවුර පිහිටුවා ඇත්තේ මොල්ලිකුලම කලපුවට යාබද අක්‌කර 800 කින් පමණ සමන්විත රක්‍ෂිත වනාන්තරයකට යාබදවය. මෙම වනාන්තරය පැහැදිලිවම විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ස්‌වාරක්‍ෂක (ප්‍රේරත) කලාපය වශයෙන් විල්පත්තුවට ආරක්‍ෂාව සපයන්නකි. නොහොත් විල්පත්තු වනාන්තරයේ ජීවත් වන අලි ඇතුන් ඇතුළු අනෙකුත් වනසතුන් ගැවසෙන භූමියකි. කල්ලාරු ප්‍රදේශයේ සිට පැමිණෙන වන අලින්ගේ නිජබිමක් වන මෙම මොල්ලිකුලම වන රක්‍ෂිත ප්‍රදේශයද දැන් යළිත් අන්තරායකට ලක්‌ව තිබෙන්නේ එහිද ජනාවාස ගොඩනැඟීමට අදාළ ඇමැතිවරයා ඇතුළු මන්නාරම් දිස්‌ත්‍රික් බලධාරීන් උත්සාහ ගනිමින් සිටින නිසාය. මෙම උත්සාහය පැහැදිලි ලෙසම වන්නි දිස්‌ත්‍රික්‌ක නියෝජනය කරන දේශපාලකයන්ගේ වුවමනාවය. දැන් විල්පත්තු උතුරු ඉඩම් කොල්ලයේ උණුසුම මැකී ඇති කාලයක් බැවින් යළිත් පෙර කී අමාත්‍යවරයා මුට්‌ටිය දමා බලනු පෙනේ. ඔහු උත්සාහ කරන්නේ මොල්ලිකුලම නාවික කඳවුරු ප්‍රදේශයට අයත් වනාන්තර ප්‍රදේශයද තම සහෝදර ජනතාවගේ විහරණය පිණිස ලබාදීම සඳහාය. එසේ වුවහොත් තවත් අක්‌කර 800 ක පමණ ප්‍රමාණයක් විල්පත්තුවට උතුරින් යළිත් ජනාවාස වනු ඇත.
අහෝ· ශ්‍රී ලංකාවේ වනාන්තර පද්ධතියට සිදුවන වන විනාශයක තරම දේශපාලන බඩගෝස්aතරවාදයට රටේ ඝන වනාන්තර ගොදුරු වෙද්දී මෙරටේ වගකිව යුතු දේශපාලකයන් පමණක් නොව අන්තර්ජාතික පරිසර සංරක්‍ෂණ ප්‍රජාවද නිහඬය. විල්පත්තු උතුරේÊපමණක් නොව, පෙරියමඩු ඇතුළු උතුරු නැඟෙනහිර දෙපළාතේම වනාන්තර බහුතරය යුද්ධයෙන් පසු දැඩි විනාශයකට ලක්‌ව ඇත. මන්ද තම ඡන්ද පදනම පවත්වාගෙන යනු පිණිස ජාවාරම්කරුවෝ කුමක් කළද, එය ඉවසාගෙන සිටීමට මෙරටේ පාලකයන් පුරුදුව ඇති නිසාය. අප පරිසර සංරක්‍ෂණයක් ගැනද, තිරසාර සංවර්ධනය ගැනද, දේශගුණික විපර්යාස ගැනද කතා කරන්නේ මෙවන් පාලකයන් සමඟද?
ජගත් කණහැරආරච්චි